ගල් ගුහාවේ චින්තකයා…

39

ඉතින් මානව ඉතිහාසය ගැන වඩාත් ඉගෙන ගන්නට ඔබටත් වුවමනා නම් අප කළ පරිදි කරන්න. මානව සංහතියේ සංවර්ධනයත්, මිහිමත ජීවිතයත් ගැන අධ්‍යයනය කළ විද්‍යාඥයින් විසින් ලියා ඇති ඥාන සම්භාරය පිළිබඳ මූලාශ්‍රයන් වෙතට යන්න. අපේ ඉලක්කය වූයේ ඔබ ඥාන සම්භාරය නමැති මහා මන්දිරයේ එළිපත්ත වෙතට ගෙනවුත් මෙසේ කියන්නටයි: පිවිසෙන්න!”

ඉලීන් සහ සෙගාල් ගේ “මිනිසා යෝධයකු වූයේ කෙසේ ද” (M. Ilyn) Y.Segal – How man become a Giant@) කෘතියේ සඳහනකින් මේ ලිපිය අරඹන්නේ මොවුන් මේ කරන සඳහන මානව ගමන් මගේ මං සලකුණු ගැන යමක් කියන්නට නම් කොපමණ තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය දැයි කියන්නට හොඳම නිදර්ශනයක් නිසාවෙනි. පෙර අප මතු කළ ප්‍රශ්නයක් වූයේ නූතන මානවයා එසේත් නැතිනම් “අපි” මේ ලෝකයේ බලය පැතිර වූයේ කෙසේද යන්නයි. මේ පිළිබඳව විවිධ මතවාද මේ පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් විසින් ඉදිරිපත් කොට තිබේ.

ඝාතක වානර න්‍යාය (The killer ape theory) නැතිනම් ඝාතක මානව උපන්‍යාසය මේ සම්බන්ධයෙන් තිබෙන්නේ එක් ප්‍රධාන පැහැදිලි කිරීමකි. එයින් කියවෙන්නේ යුද්ධ හා අන්තර් පුද්ගල ආක්‍රමණ මානව පරිණාමයේ ගාමක බලවේගය වූ බවයි. මෙම මතය සනාථ කරන්නට බොහෝ පාර්ශ්වයන් විවිධ සාක්ෂි ඉදිරිපත් කරයි. ඇතැමෙක් මිනිසාට ළඟම නෑ කමක් තිබෙන චිම්පන්සි වැනි සතුන්ගේ හැසිරීම් අධ්‍යයනය කරමින් මෙම මතය සනාථ කරන්න උත්සාහ කරන අතර මෙම මතයට එකඟ නොවන විද්වතුන් කියන්නේ සාමකාමී බව, සහයෝගීතාව, විවේකය හා වින්දන ශක්තිය දියුණුවීම, තාක්ෂණික දියුණුව ආදී කාරණා ප්‍රචණ්ඩත්වයට හා ආක්‍රමණශීලීතාවට වඩා මානව පරිණාමයට හේතු වූ බවයි.

කෙසේ නමුත් මානව පරිණාමය පිළිබඳව සියුම්ව අධ්‍යයනය කරන විට මෙම මත දෙකම තහවුරු කළ හැකි සාක්ෂි සාධක හමු වෙයි. එම නිසා මානව ඉතිහාසය යන්න පැහැදිලිව කළු සුදු ලෙස වෙන් කර හඳුනා ගත නොහැකි සංකීර්ණ දෙයක් බව වටහා ගැනීම වඩා වැදගත් ය.

අදින් වසර 10,000-50,000 අතර එනම් ප්ලයිස්ටොසීනය (The Pleistocene) අවසානයේ උතුරු ඇමරිකානු කලාපයේ ජීවත් වූ විශාල සතුන් (Megafauna), සාමුද්‍රික සහ ගොඩබිම් පසු කර එම කලාපවලට පිවිසි නූතන මානවයන් විසින් සමූල ඝාතනය කරන්නට ඇති බවට ඇතැම් විද්‍යාඥයන් අදහස් පළ කොට තිබේ. නූතන මානවයන් විසින්’ මෙම සතුන්ව මරා දමන්නට ඇත්තේ ආහාරයට ගැනීමේ අවශ්‍යතාවයටම පමණක් නොවන බව ඔවුන් පවසයි. තියුණු ගල් ආයුධවලින් සන්නද්ධව මේ ප්‍රදේශවලට කඩා වැදුණු මානවයා කිසිදු වග විභාගයක් නොමැතිව උතුරු ඇමරිකානු බිම්වල සිටි මැමත් (Mammoths) වැනි විශාල සතුන් දඩයම් කරන සැටි ඔබ මොහොතකට සිතේ මවා ගතහොත් විද්‍යාඥයන් විසින් මේ කරන පැහැදිලි කිරීම අවබෝධ කර ගැනීමට ඔබට එතරම් අපහසු නොවනු ඇත.

එනමුත් මෙම අදහස විද්වතුන් සෑම දෙනෙකුම පොදුවේ පිළිගන්නා අදහසක් නොවේ. මෑත කාලීන අධ්‍යයන තුළින් දේශගුණයේ සිදු වූ තියුණු වෙනස්කම් නිසා මේ සතුන් වඳ වී ගිය බව පිළිගැනෙනවා. බොහෝ පිරිසකගේ අදහස වන්නේ ඉහත සාධක ද්විත්වයමත්, තවත් අවශේෂ සාධකවල බලපෑමත් නිසා මේ සතුන් වඳ වී ගිය බවයි.

මෙම සාකච්ඡාවේ දී ප්‍රධාන කාරණා දෙකක් ඉස්මතු කිරීමට අවශ්‍ය වෙයි. එහි පළමු වැන්න නම් දේශගුණික විපර්යාස මිහි මත ජීවයේ පැවැත්ම කෙරෙහි තීරණාත්මක බලපෑමක් කරන බව සහ ඒ බලපෑම මානවයන් වන අපට ද සෘජුවම පවතින බවයි. දෙවැනි කාරණාව වන්නේ, මානව විකාශනයත් සමග සෙසු ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් නූතන මානවයා වන අප තීරණාත්මක සාධකයක් වී තිබෙන බවයි.

අපි අප අවට ලෝකය තේරුම් ගැනීම සඳහා අරගල කරන අතරම අප අපවම තේරුම් ගැනීම සඳහාත් වන අරගලයක එසේත් නැතිනම් අධ්‍යයනයක ද එක විට නිරත වෙමින් සිටින බවත් එහෙයින් මිනිසාට මේ වෙනස් වන පරිසරයට අනුව කටයුතු කරන්නටත්, ඒවාට හැඩ ගැහෙන්නටත් හැකියාවක් තිබෙන බවත් මෙයින් පැහැදිලි වේ. පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ද මිනිසාගේ මෙම අපූර්ව හැකියාව පෙරට ගත හැකිය. එයට උදාහරණයක් විදියට මිනිසාගේ බලපෑම නිසා වඳවී යෑමේ අවදානමට ලක් වූ සත්ත්ව විශේෂ විද්‍යාවේ හා තාක්ෂණයේ අනුහසින් සහ සංරක්ෂණවේදීන්ගේ කැපවීමෙන් ආරක්ෂා කරගැනීම දක්වන්න පුළුවනි. ස්වභාවික උපද්‍රව සම්බන්ධයෙන් ද පවතින්නේ ඒ හා සමාන මැදිහත් වීමකි.

මීට වසර දහස් ගණනකට පෙර ගල් ගුහාවක අඳුරු කෙළවරක දඩයම්කරුවාත්, රසවතාත්, ගොවියාත්, චින්තකයාන්, විද්‍යාඥයන්, ගුරුවරයාත් ජීවත් වන්නට ඇත. ඔවුන් තමා අවට ඇති ගස් කොලන්, සතා සීපාවන්, ගින්දර, කඳු වැටි – ගංගා, සුළඟ, වැස්ස, අකුණු ගැන සිතන්නට ඇත. ඇතැම් විට බියට සහ විස්මයට පත්වන්නටත් ඇත. ඒවා තේරුම් ගන්නටත්, ජය ගන්නටත් සිය දහස් වරක් වැරදි දේ කරමින් ජීවිතය ද, තම පැවැත්ම ද අවදානමේ හෙළමින් වඩාත් නිවැරදි දේ සොයන්නට ඇත. ඒ සොයාගත් දැනුම පසු පරම්පරා වෙත සම්ප්‍රේෂණය කරන්නට ද ඇත.

නූතනයේ අප විද්‍යාගාරයක, සාකච්ඡා මේසයක, කලාගාරයක, ආගමික ස්ථානයක, ගොවි බිමක හෝ දේශන ශාලාවක ද කරමින් සිටින්නේ මේ ක්‍රියාවලියෙහිම දිගුවක් නොවේ ද?

මේ ලිවීම අවසන් කරන්නට ඉලීන් සහ සෙගාල්ගේ ප්‍රකාශය මදක් වෙනස් කොට පවසන්නට මට අවසර දෙන්න.

“අපේ ඉලක්කය වන්නේ කුතුහලය සහ ප්‍රශ්න නමැති ඥාන සම්භාරය සොයා යෑමේ යතුරු ඔබ අතට පත් කර ඥාන සම්භාරය නමැති මහා මන්දිරයේ එළිපත්ත වෙතට ඔබ කැඳවා ගෙනවුත් මෙසේ කියන්නට යි. පිවිසෙන්න!”

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment