ඔබත් ගමනක් යෑමට පෙර පෙරනිමිති බලනවාද?

104

අනාදිමත් කාලයක සිටම මිනිසුන් ගමන් බිමන් යෑමට ප්‍රථමව පෙරනිමිති බැලූ බවට බොහෝ නිදසුන් පුරාණ පොත පතේ සඳහන් වේ. බෝසතාණන් වහන්සේ මෙලොව ජනිත වීමට පෙර ද, එදා විසූ ජනයා පෙරනිමිති බැලු බවට පන්සිය පනස් ජාතක කථා වස්තූන් අතර කොතෙකුත් නිදසුන් දැකගත හැක. ගමනක් බිමනක් යෑමේදී මුලින්ම හමුවන පෙරනිමිත්ත එම ගමනේ සුභ අශුභතාවය පෙන්වන බව ද මතයයි. ගමනක් පටන් ගත් විට පෙරනිමිති තුනක් පිළිබඳ සැලකිලිමත් වේ. ඒ පළමු පෙරනිමිත්ත, දෙවන පෙරනිමිත්ත හා තුන්වන පෙරනිමිත්ත ලෙසය. පළමු පෙරනිමිත්ත අශුභ වුවහොත්, දෙවන පෙරනිමිත්ත ගැන සැලකිලිමත් වේ. එය ද අශුභ වුවහොත් තුන්වන පෙරනිමිත්ත ගැන සැලකිලිමත් වීම සිදු කරයි. ගමනකදී පළමු පෙරනිමිත්ත සුබ වුවහොත් ගමන 100% ක් සාර්ථක වන බවත්, පළමු නිමිත්ත අසුබ වී දෙවන පෙරනිමිත්ත සුබ වූයේ නම් ගමන 50% ක් සාර්ථක වන බවත්, මුල් පෙරනිමිති දෙකම අසාර්ථක වී තුන්වන පෙරනිමිත්ත සුබ වුවහොත් ගමන මුළුමනින්ම පාහේ අසාර්ථක වී සුළු වශයෙන් සුබ පල ලැබෙන බවත් පිළිගැනේ.

පෙරනිමිත්ත 100% ක් පිරිසිදු කල නැකතකට වඩා වටින බව ද සඳහන් වේ. එය මැනවින් සඳහන් වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හාමුදුරුවන්ගේ සැලළිහිණි සංදේශයේය. “බල සුබ නිමිති පෙරමග නැකතටත් වැඩී” ලෙස උන්වහන්සේ සඳහන් කළේ එබැවිනි. පුද්ගලයකුට සාදා දුන් නැකතක් එම පුද්ගලයාට ප්‍රබල ලෙස සුබ පල අත්වේදැයි එම කාර්යය කිරීමට යෑමේදී ලැබෙන පෙරනිමිතිවලින් තීරණය කරගත හැක.

පෙරනිමිති ගැනීමේදි සුබ පෙරනිමිති මෙන්ම අසුබ පෙරනිමිති ද දැකිය හැක. මෙලෙස පෙරනිමිති පැවසීමේදී කොටස් කිහිපයකට වර්ග කර පැවසීම සිරිතයි. ඒවා අතර පුද්ගලයන්ගෙන් ඇතිවන පෙරනිමිති, තිරිසන් සතුන් මුල්කරගෙන ඇතිවන පෙරනිමිති, භාණ්ඩ සම්බන්ධ කර ගනිමින් ඇතිවන පෙරනිමිති මෙන්ම විවිධ හඬ සම්බන්ධ වී ඇති වන පෙරනිමිති ලෙසය.

පුද්ගලයන් සම්බන්ධ කර ගනිමින් ඇති වන පෙරනිමිති අතර අවි ආයුධ රැගෙන එන ස්ත්‍රීන් හෝ පුරුෂයන්, යාචකයන්, දරුවන් නොමැති ස්ත්‍රීන්, හිස මුඩු කළ මහණ බමුණන්, පපුවේ රෝම රහිත පිරිමින්, කෙස් කඩා දමා යන ස්ත්‍රියක්, ආබාධිතයින්, දරමිටි හිසින් ගත් කාන්තාවන්, හිස් භාජන, හිස් කළගෙඩි ආදිය අතින් ගත් කාන්තාවන්, තම සැමියා මියගිය කාන්තාවන්, උමතු හෝ රෝගී ස්ත්‍රීන් හෝ පුරුෂයන්, සුරාපානය කර මත්වී යන පුරුෂයන්, ආරක්ෂක නිලධාරීන්, මරණයක ආරංචියක් ගෙන එන අයකු, මරණ ගෙදරක යන අය, කට දෙකොනේ කෙල ඇත්තවුන්, නීති විරෝධී වැඩවල නියැළෙන්නන් ආදී දේ අසුබ නිමිති ලෙස සලකති. ගමනාරම්භයේදී මෙවැනි අසුබ නිමිත්තක් ආ විට ගමන නවත්වා ආපසු හැරී ගෙට ගොස් වතුර උගුරක් බී නැවත ගමන ආරම්භ කිරීම එදා සිට අද දක්වාම සිදුවන්නකි.

පුද්ගලයන් සම්බන්ධ කර ඇතිවන පෙරනිමිති අතර සුරූපී කාන්තාවන්, බොහෝ ප්‍රිය වදන් තෙපලන්නන්, ඉදුනු පලතුරු ගෙන එන ස්ත්‍රීන් හෝ පුරුෂයින්, අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන්, මඟුල් ඇඳුමින් සැරසුණු අය, කිරි දෙන මවුවරුන්, ප්‍රභූ පැළැන්තියේ අය, උසස් කුලවන්තයින්, තම පවුලේ අය, ජ්‍යොතිෂවේදීන්, පාන්, පත්තර, ලියුම් ආදිය බෙදන්නන්, පොල් මල්, පුවක් මල් ඇතින් ගත් අය, බොහෝ සතුටින් සිනහ මුසු මුහුණින් එන පුද්ගලයන්, කිරි රැගෙන එන්නවුන්, මල් වට්ටියක් අතින් ගෙන එන්නවුන්, වතුර පිරුණු කලයක් රැගෙන එන්නවුන්, බරටම ආහාර පාන ආදිය රැගෙන එන්නවුන් සුබ නිමිති ලෙස සලකති.

මීට අමතරව බඩගාගෙන යන ගැරඬි, නයි වැනි සතුන් පාර හරහා මාරුවීම, කළු බළලෙක් ගමනාරම්භයේදී ඉස්සරහින් දිවීම හෝ හරහා දිවීම, බළලුන් පොරකෑම, බල්ලන් පොරකෑම, කබරයන් පොරකෑම, ගැරඬින් පොරකෑම මෙන්ම මෙම සතුන් සංසර්ගයේ යෙදීම ද ගමනට බොහෝ බාධා ඇති කරන අශුභ පෙරනිමිති වේ.

ගමනාරම්භයේදී එළදෙනුන්, වසු පැටවුන්. හිතවත් සුනඛයන්, අශ්ව, පෝනි ආදී සතුන්, සුදු පැහැති කුකුළකු, මුගටීන්, එළුවන් ආදී සතුන් ඉදිරියට පැමිණීම ඉතා සුබ පෙරනිමිති ලෙස ගණන් ගැනේ.

තවද මළමිනී රැගෙන එන පිරිස්, සෙම්, සොටු, වමනය, අසූචි ගොඩවල්, කැඩුණු වාහන, කළු, රතු, නිල් රෙදි ආදිය ද පෙරමගට තබා ගමන් නොයා යුතුයි.

ගමනක් යෑමට සැරසීමේදී මළබෙර හඬක් ඇසීම, බල්ලන් උඩුබිරීම, බල්ලන් කනපට ගැසීම, කිවිසුමක් යෑම, කෑරලා නාද කිරීම, නරියකු හූ කීම, හූනකු හැඬීම, පොල්කිච්චකු නාද කිරීම, කලහකාරී වචන, ශබ්ද, විලාප හඬ ආදිය ඇසීම ගමන සුබපල නොදෙන බවට පෙරනිමිත්තකි. මෙවැනි අවස්ථාවක ගැමියෝ එම ගමන ප්‍රමාද කර හෝ එදින නොගොස් වෙන දිනයක හෝ යෑමට පුරුදු වූහ.

එමෙන්ම ගමනක් යෑමට සැරසීමේදී කුකුළකු හැඬලීම, ලේනුන් කෑගැසීම, කුඩා දරුවකුගේ මුවින් සුරතල් වචන පිටවීම, සාදු නාදය, පිරිත් හඬ, මිහිරි ගීත නාද, කාන්තාවන්ගේ ප්‍රීති සිනහ හඬ, බොහෝ සුකුමාල මිහිරි වදන් ආදිය ඇසීම එම ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන බවට පෙරනිමිත්තකි.

ඔබත් අසුබ නිමිත්තක් දුටු විට එය මඟහැර ගමනේ යෙදෙන්න. එවිට ඔබේ ගමන සාර්ථක වනු ඇත. සෑම කාර්යයක්ම කිරීමේදී මුලින්ම සතුටු විය යුත්තේ සිතයි. සිත සතුටින් කරන සෑම දෙයක්ම හරියනු ඇත. සිතේ සතුට ඇතිවීමට පෙරනිමිති ද හේතුපාදක වේ.

ඔබත් ගමනක් යෑමට පෙර පෙරනිමිති බලනවාද?

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment