භාව දොළහයි ග්‍රහයො නවයයි පස්වැන්න හඳුනා ගනිමු

1291

ත්‍රිකෝණ ස්ථානයක් ලෙසින් හඳුන්වන පස්වැන්න, පුත්‍ර ස්ථානය බුද්ධි ස්ථානය ලෙසින් ද හඳුන්වයි. දරුවන් ලැබීම මෙන්ම නොලැබීම ද ඔවුන්ගේ වාසනා අවාසනා තත්ත්වයන් ද, ආගම් හා දර්ශන පිළිබඳ ඥානය, නාට්‍ය, ගීත රචනාදියේ හැකියාව නීති විනිශ්චය, ඉවසීම හා අවවාද අනුශාසනාවට සමත්වීම මෙන්ම පහළ පපු ප්‍රදේශයේ හෘදය ද ඇතුළුව නාභිය දක්වා ශරීරාංගයන් ද මෙම භවයට අයත් වේ.

  1. රවි – බල සහිත රවි පස් වැන්නේ නම් රාජ්‍ය සේවයේ යෙදීම විනිසුරුවන් වීම ගෞරව උපාධි ලැබීම, නීතිය පිළිබඳ අවබෝධය ඇත්තකු වී සාම විනිසුරුවරයකු හෝ සමථ විනිසුරුවරයකු වීම, නීතිගරුක වීම. තේජස ඇති අයවීම, සියුම් නුවන ඇත්තන් වීම, මන්ත්‍ර ශාස්ත්‍රයේ නිපුණයකු වීම වස්තු රැස්කිරීමේ දැඩි ආශාව සහිත පුද්ගලයකු බිහි වේ. මෙවැනි පිහිටීම් ඇති අය භාෂා කිහිපයක නිපුණතාවය ද ලබයි.

රවි දුර්වල වූවන්ට රාජ බය. රාජ ද්‍රෝහීන් වීම බඩේ රෝග, කුසේ පිළිකා හටගැනීම, නපුරු වචන කතා කිරීම මිනිසුන් මුලා කරන්නන් වීම ඉක්මන් කෝපය පියා සමග විරුද්ධ වීම, පුත්‍රයන්ට විපත් හා රෝග හේතුවෙන් ශෝක වන්නකු වේ.

  1. චන්ද්‍ර – බලවත් සඳු පස්වැන්නේ නම් සතුටින් පිරි ජීවිතයකි. දිවට රස ප්‍රණීත ආහාරපාන ලැබේ. මවට ඉතා ආදරේ මිනිසුන්ගේ ප්‍රසාදයට ලක්වන ළගන්නා සුළු වාග් විලාසයක් ඇත්තෙකි. ඥාණ ශක්තියෙන් පොහොසතෙකි. උපන් ගෞරව සම්මාන ලැබේ.

පස්වැන්නේ සඳු නීචව දුර්වල වූ විට සිය සහෝදරියන් කිලිටි කරන පවිටෙකු වේ. පාපකාරී පුද්ගලයෙකි. මවට මෙන්ම මව්පස ඥාතීන්ට අපහාස කරයි. නිතර කලකිරුණ සිතකි. බඩ පිපීම හීදන් අමාරු වැනි රෝග ඇති වේ. ඇසීමට අපහසු චපල කතා ඇති අයෙකි. සිතේ ව්‍යාකූල බව, උමතු රෝග සෙම් රෝග, බඩ නෙරා ඒම, ආහාරපාන පිළිබඳ අරුචිය ඇති වේ. ඔහු තුළ ඇත්තේ අශුභවාදී සිතිවිලිය. අනුන් නැසීමට විනාශ කිරිමට මෙවැන්නන් අණවින හදි හූනියම් කිරීමට පෙළඹේ. සර්පයන් ඇසුරු කිරීම මෙවැන්නන් ඇසුරු කිරීමට වඩා යහපත් වේ.

  1. කුජ – පස්වැන්න මකර මේෂ වෘශ්චික රාශිවලින් එකක්ව රාත්‍රී කාලයේ උපත ලබා ඇති නම් ඉතා හොඳින් කුජ බලවත් වේ. මෙසේ උපන් අය විනිසුරුවන්, නීතිවේදීන්, ගුවන් නියමුවන්, නැව් කප්පිත්තන්, හමුදාපතියන්, ශල්‍ය වෛද්‍යවරු, ආයුධ ගිනි යන්ත්‍ර, සූත්‍ර සාදන්නන් හා ඒ පිළිබඳ අවබෝධය ඇත්තන් උපදී. ඉතා නිර්භීත අයෙකි.

පස්වැන්නේ කුජ දුර්වලව තැන්පත් වූවන් අකීකරු හිතුවක්කාර අය වෙති. කොඩිවින වස විෂ ආදිය මගින් අනුන්ට විපත් පැමිණ වීමට සිතන දූෂිත සිත් ඇත්තන් වේ. ප්‍රකෝපකාරී භාෂා විලාශයක් ඇත. බඩේ තුවාල, විෂ ගෙඩි අර්ශස් රෝග වැනි රෝග සඳහා ශල්‍යකර්ම කිරීමට සිදු වේ. සහෝදර සහෝදරියන් අමනාප වේ. සතුන්ට මර උගුල් අටවා දඩයම් කිරීමට දක්ෂයන් වේ. පවට රුචිය.

  1. බුධ – පස්වැන්නේ බුධ බලවත්ව පිහිටියේ නම් ඔවුන් අධ්‍යාපනයේ මනා ප්‍රතිලාභ ලැබූවන් වේ. ආචාර්ය මහාචාර්ය තනතුරු ලබති. දක්ෂ කථිකයන් වේ. වෙදකම පිළිබඳ මනා දැනීමක් ඇත. පොත්පත් කතුවරුන්, දක්ෂ ගුරුවරුන්, ක්‍රියාශීලී ලිපිකරුවන් බිහි වේ. හොඳ හික්මීමක් ඇති, මිනිසුන් සිනහවෙන් පිනවන අයෙකු මෙම ග්‍රහ තත්ත්වයෙන් උපත ලබයි.

බුධ මෙම ස්ථානයේ දුර්වල වීමෙන් කතාවේදී ගොත ගසයි. බොරු කියයි. උගතෙකු සේ පෙනී සිට වංචාවෙන් නුගතුන් මුලා කරයි. මෙවැන්නන් පොත් කතුවරුන් වුවහොත් පළ කරන්නේ අසැබි පොත පතයි. දරුවන්ට ශිෂ්‍යයන්ට විපත් පමුණුවයි. කොඩිවින අණවින වැනි වස්දොස් ඇති කරන ශාස්ත්‍රයන්ට ප්‍රිය කරයි. එසේම කූට මන්ත්‍රකාරයන් ද වේ.

  1. ගුරු – බලවත්ව පස්වැන්නේ නම්, ප්‍රඥාවන්තයෙකි. ඇසූ පිරූ තැන් ඇති අයෙකි. ලෝක ප්‍රසිද්ධ පණ්ඩිතයන් බිහි වේ. බලවත් පුතුන් ලබයි. උගත්කම මෙන්ම උගතුන් ආශ්‍රය ද ලැබේ. ආචාර්යවරු අධිනීතිඥයන් නඩුකාරවරු මෙවැන්නන් වේ. ධාන්‍යාගාර හිමියන් වන අතර බහු විවාහ සැපතට ද හිමිකම ඇත.

ගුරු දුර්වල නම් උමතු රෝගීන්, බොරු පණ්ඩිතයන් දරු ශිෂ්‍යාදීන් සමග දබර වීමෙන් වියවුල් සාදා ගන්නන්, උගතුන්ට විරුද්ධ වන්නන් බිහි වේ. මෙවැන්නන් නූගතුන් ඉදිරියේ උගතෙකු ලෙස කැපී පෙනීමට ගොස් අවමානයට පත් වේ. අපහාස ලබයි. පරාජය ඉවසිය නොහැකිව පරාජයේදී කෝලාහල කරගෙන විපත් පමුණුවා ගනී. ප්‍රඥාව නොමැති බැවින් මස් මාංශ සුරාවට ගිජු පස්පව් කරන නීච ක්‍රියා ඇත්තෙකි.

  1. ශුක්‍ර – සිකුරු බලවත්ව සිටින්නන් ගුරුවරුන් වේ. උගතුන් පණ්ඩිතයන් වේ. යමක් ඉතා පහසුවෙන් අවබෝධ වන ආකාරයට අන්‍යයන්ට පැහැදිලි කරදීමේ දක්ෂයින් වේ. හිටිවන කවියට දක්ෂ වේ. නිවේදන කටයුතු කරන්නන් ද මේ ග්‍රහ තත්ත්වයෙන් උපත ලබයි. බොහෝ දූ දරුවන් ලැබේ. රංගන ශිල්පීන් නාට්‍ය ශිල්පීන් ද වේ. යන්ත්‍ර මන්ත්‍ර ශිල්පය පිහිටන අතර ස්ත්‍රීන්ට අධික ඇල්මක් හා ප්‍රේමයක් ඇත.

මෙම ස්ථානයේ දුබල සිකුරු තැන්පත් වූ විට කාමය අධික සල්ලාලයෙකි. ස්වප්න මෝචනය, ස්ත්‍රීන් ගැනම රහසිගත සිතුවිලි හා කූට ක්‍රියාකාරකම් කරන්නෙකි. අවරගණයේ මන්ත්‍ර ශාස්ත්‍රඥයින් ද මෙවැන්නන් වේ. වීදි ගායකයන්, විරිඳු කරුවන් වීදි නැටුම්කරුවන් උපත ලබයි. මොවුන්ට තම දූවරුන් චිත්ත පීඩා ගෙන දේ.

  1. ශනි – බලවත් ශනි පස්වැන්නේ නම්, පතල්, කර්මාන්ත, කම්හල් යකඩ ඊයම් ආදිය පිළිබඳව උපදෙස් දෙන ඉංජිනේරුවන් හෝ උපදේශකයන් වේ. එවන් කර්මාන්තවල නිරත වේ. මෙහෙකරුවන්ගේ නායකයකු වේ. මෙම පිහිටීම ඇති පියවරු ස්වකීය දරුවන් පැවිදි කිරීමට ද පෙළඹේ. ආගමික සිතිවිලිවලින් යුතු පුණ්‍යවන්තයෙකි.

සෙනසුරු දුර්වලව පස්වැන්නේ පිහිටියේ නම් ආහාරපාන දුර්ලභ වීම, පතල් කර්මාන්තවල නියැලීම දරුවන් මෙහෙකාර සේවයට යෙදවීමට සිදුවීම, හිඟමනට යොමු වීම ද සිදු වේ.

  1. රාහු – කේතු මොවුන්ට නියමිත රාශි දක්වා නොමැති බැවින් ශනිගේ පිහිටීම අනුව රාහුට ද කුජගේ පිහිටීම අනුව කේතුට ද පලාඵල ප්‍රකාශ කළ යුතුය.
භාව දොළහයි ග්‍රහයො නවයයි පස්වැන්න හඳුනා ගනිමු

ජ්‍යොතිෂවේදී, එස්.ඩී.ජේ. පතිරණගේ
තිසර ජ්‍යොතිෂ සේවය.
ලේනමඩුව -කඹුරුපිටිය.
දුරකතන අංකය 0714396119

advertistmentadvertistment
advertistmentadvertistment