සුන්දර හේතුඵල ධර්මය

397

පිංවත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ නිහඬ වුණොත්, ඔබේ නිදහසට විලංගු වැටෙනවා. පිංවත සමාජ අසාධාරණය ඉදිරියේ ඔබ ආවේගශීලී වුණොත්, ඔබ තුළ වැඩෙන දශ අකුසල් නිසාම, ඔබගේ කුසල් යටපත්වී, තිබෙන නිදහසත් අහිමිකොට ගන්නවා. පිංවත ආවේගශීලී භාවයමයි, නැවතත් ඔබේ නිදහසට විලංගු වැටෙන නිහඬභාවයකට අත්පැන් වත්කරන්නේ. පිංවත අවිද්‍යාවේ ජවයෙන් ලෝකය, ලෝකයට සුපුරුදු ගමනක් යන්නේ. පිංවත ලෝකය වෙනස් කරන්න නම්, මේ සුපුරුදු අකුසල් ගමන ඔබ වෙනස් කරන්න ඕනේ. පිංවත සමාජගතවෙන සමාජ අසාධාරණයන් ඉදිරියේ විදීමේ කාසියේ දෙපැත්ත වන නිහඬභාවයත්,

ආවේගශීලීභාවයත් වෙනුවට ඔබ මධ්‍යස්ථ ප්‍රතිපදාවට එන්න ඕනේ. ජාති ආගම් භේදයකින් තොරව මධ්‍යස්ථ ප්‍රතිපදාව යැයි කියන්නේ, මෛත්‍රියෙන් සහ ශීලයෙන් පෝෂණය වූ සිහි නුවණින්, හේතුඵල ධර්මයන් නුවණින් දකිමින්, සමාජගතවෙන අසාධාරණයන්ට විසඳුම් සෙවීමයි. අපි හැමදාමත් ප්‍රශ්න ඉදිරියේ හැසිරුනේ එක්කො නිහඬවෙලා, එක්කො ආවේගශීලී වෙලා. පිංවත යළි යළිත් ප්‍රශ්න ගොඩගැසෙද්දී, ආයෙමත් අපි අසිහියෙන්ම යොමුවෙන්නේ ආවේගශීභාවයෙන් යළිත් නිහඬභාවයටමයි. පිංවත ප්‍රශ්න ඉතිරි කර ලෝකය අකුසලයෙන් දුවනවා. පිංවත සමාජ සාධාරණත්වයේ වර්තමානයක් නැති අපිට, සමාජ සාධාරණත්වයේ හෙටක් හෝ තිබෙන්න ඕනේ. සියලු සංස්කාරයෝ අනිත්‍ය වූ ලෝකයක බලාපොරොත්තු අකුසල් සුළඟේ ගසාගෙන යන බව ඇත්ත. පිංවත සමාජගත අසාධාරණයට හේතුඵල ධර්මයන් නුවණින් දකිමින්, කුසලයෙන් නැගිසිටින්න. මධ්‍යස්ථ ප්‍රතිපදාවට යළි ජීවයදෙන්න.

පිංවත දැන් වෙලාව රාත්‍රී දහයත් පසුවෙලා, උදෑසන පටන් තාමත් මේ ප්‍රදේශයට වහිනවා. අද දවස ආපෝ ධාතුවට අයිති දවසක්. වැස්ස නිසාම මේ දවස්වල තේජෝ ධාතුවට පුංචි විවේකයක් ලැබිලා තිබෙනවා. මේ වැසිබර රාත්‍රියේ ඔබ නින්දට සූදානම් වෙනවා ඇති. පිංවත ශීතල මැද්දේ උණුසුම සොයන යෞවන රාත්‍රියක, පංචනීවරණයෝ ඔබව ඉක්මවා යන්න පුළුවන්. පිංවත මේ වැසිබර රාත්‍රියේ සප්තබොජ්ජංගයෝ තුරුළුකොට ගන්න, එවිට විදර්ශනාමය නින්දකට ඔබේ නිවුනු දෑස් පියවේවි. දැන් සිහින නොදැක සුවසේ නිදාගන්න. පිංවත් ඔබට යහපත් රාත්‍රියක්. පිංවත අතීත භව ගමනේ කොතෙක් නම් අපි නිදාගෙන ඇතිද. පිංවත නිදාගත් කාලය ගැන සිතන්න සිතට ඉඩදෙන්න එපා. ඒ සිත චිත්තානුපස්සනාවෙන් දකින්න. එවිට අතීතයම තාවකාලිකව මැකිලා යනවා. පිංවත නින්ද නැති රැයක, සිතට නොමැකුණු මතකයන් අවදි කොටදෙන මනෝවිඤ්ඤාණය, රූපය මුල්කොටගෙනයි සක්‍රීයවෙන්නේ. රූපය කෙරෙහි තෘෂ්ණාව තිබෙන තාක්කල්, මනෝවිඤ්ඤාණය අතීත මතකයන් මතකයට ගෙනෙනවා. පිංවත දවසින් දවස දින ගැලවෙන කැලැන්ඩරයේ අතීත, වර්තමාන සහ අනාගතය අයිති ධම්මානුපස්සනාවට. ගෙවීයන සහ උදාවෙන කාලය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. අතීත මතකයන්ට වර්තමාන විතර්ක තුළින් ඔබ සුදු සහ කලු තීන්ත තවරද්දී, මනෝවිඤ්ඤාණය උපකාර කරන්නේ නාමරූප ධර්මයන්ගේ පෝෂණය උදෙසාමයි.

සුන්දර හේතුඵල ධර්මය

පිංවත ඔබ ධනවතෙක් වෙන්න, ඉහළ වෘත්තිකයෙක් වෙන්න, ඔබේ ලෞකික ජීවිතය ජයගන්න, ඔබ මොනතරම් නම් කැපවීමක් වීර්යයක් කරනවාද. ලෞකික ජීවිතය ධනයෙන් ජයගන්න හුඟාක් දෙනෙක්ගේ ජීවිත, අතීතයේ කඳුළින් ලියවිලා තිබෙන්නේ. පිංවත ලෞකික ජීවිතයේ ජයග්‍රහණය උදෙසා ඔබ ගන්නා වූ වීර්යය අයිතිවෙන්නේ මිච්චා වීර්යයටයි. සම්මා වීර්යය කියලා කියන්නේ භව නිරෝධය උදෙසා ගන්නා වීර්යයට. සම්මා වීර්යය උතුම් සති සම්බොජ්ජංගයෙන් සහ ධම්මවිජය බොජ්ජංගයෙන් පෝෂණය වෙන්න ඕනේ. අද උදෑසන බොහෝම වීර්යයෙන් අධ්‍යාපනය හදාරලා වෛද්‍ය උපාධිය ලබාගත් තරුණ මහත්මයෙක් භික්ෂුව හමුවෙන්න පැමිණියා. භික්ෂුව එම මහත්මයාට කිව්වේ, ඔබ වෛද්‍ය උපාධිය වෙනුවෙන් වසර පහක් කරපු කැපවීම සහ වීර්යය, උතුම් සෝවාන්ඵල අවබෝධය උදෙසා සිදුකළා නම් ඔබ වර්තමානයේ සතර අපායෙන් නිදහස් වූ කෙනෙක් වෙන්න තිබුණාය කියලා. පිංවත සම්මා වීර්යයත්, මිච්චා වීර්යයත් අතර පරතරය අවුරුදු කල්ප ගණනක් වෙන්න පුළුවන්. පිංවත සෝවාන්ඵලය උදෙසා හැදෙන ජීවිතය දෙපැත්තෙන්ම දැනෙනව. එක පැත්තකින් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ නිවැරදි අර්ථයත්, ජීවිතයේ අනිත් පැත්තෙන් අල්පේච්ච ජීවිතයත්, ලද දෙයින් සතුටුවෙන ජීවිතයත් ප්‍රකටවෙනවා. වර්තමානයේ සෝවාන්ඵල අවබෝධය උදෙසා චන්දය ඇතිකොටගත් සමහර පිංවතුන්ගේ ජීවිත ශීලයෙන් සහ දානයෙන් පිරීගියත්, පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවේ ප්‍රවේගය නම් අසීමාන්තිකයි. තෘෂ්ණාවේ තරගකාරී ජවයෙන් උපදින මිච්චා වීර්යය පංචනීවරණයන්ට අයිතිවෙද්දී, සම්මා වීර්යය සප්තබොජ්ජංගයන් තුළින්මයි පෝෂණය වෙන්නේ.

පිංවත හුඟ කාලයකට පස්සේ ගෝනි කරත්තයක් පාරේ යනවා දැක්කා. වී මලු ගොඩාක් පුරවලා තිබුන කරත්තය ඇදගෙන යන ගොනා බොහෝම වෙහෙසකර ගමනකයි යෙදිලා සිටියේ. මේ බර අදින අහිංසක සතා දකිද්දී භික්ෂුවට අනුවණ සත්ව කරුණාව නම් නොවේ සිහියට නැගෙන්න. කර්මය කර්මඵල විශ්වාසය ගැන අල්ප මාත්‍රයක්වත් නොදන්නා නූතන සත්ව හිංසාව වෙනුවෙන් කථාකරන නෝනා මහත්වරුන්ට මේ සිදුවීම් තම විඳීම් වලට රසවත් කටගැස්මක් වුවද, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට නම් බර අදින සතෙක් කියන්නේ සුන්දර හේතුඵල ධර්මයක්මයි. පිංවත සත්තකින්ම කවුද මේ බර අදින සතා කියන්නේ. පිංවත මේ බර අදින සතා පෙර ජීවිතයක ජනතාවගේ පොරොන්දු ඉටුනොකළ දේශපාලන පිංවතෙක් වෙන්න පුළුවන්. දේශපාලන පිංවතුන් බලයට පැමිණීමට පෙර ජනතාවට මොන තරම් නම් පොරොන්දු දෙනවාද. කාටද මේ පොරොන්දු දෙන්නේ, මහා සංඝරත්නයට, අන්‍ය ආගමික පූජක තුමන්ලාට, රටේ ජීවත්වෙන වැඩිහිටියන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, ශිල්වතුන්ට, ගුණවතුන්ට, පිංවත මෙවන් ගුණාත්මක පිරිසකට යම් පිංවතෙක් බොරු කළොත්, වංචා කළොත්, ඔහුට සංසාරයේ ගොනෙක් වෙලා බර ඇදලා, එළදෙනෙක් වෙලා කිරිටික දීලා, කිකිළියෙක් වෙලා බිත්තර දමලා, මෙහෙකරුවෙක් වෙලා මෙහෙකාරකම් කරලා, නාටාමි කෙනෙක් වෙලා බර ඇදලා, මේ ණය ගෙවන්න සිද්ධවෙන්න පුළුවන්. පිංවත ඇත්ත තිත්ත වුවත්, ඒ ඇත්ත පටිච්චසමුප්පන්නව අපිව සොයාගෙන එනවාමයි. එදාට යමෙක් සත්ව හිංසනය වෙනුවෙන් කෑමොර දෙනවා නම්, එය අසුන්දර මිථ්‍යා දෘෂ්ඨියේ ලක්ෂණයක්මයි. පිංවත උතුම් සංඝ සමාජයේ අපිත් දක්ෂවෙන්න ඕනේ පිංවත් ශ්‍රද්ධාවන්ත ජනතාවගෙන් ලැබෙන සිව්පසයට, අපි ආරක්ෂාකොට ගන්නා උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන් පෙරලා කළගුණ දක්වන්න. අපේ ප්‍රාතිමෝක්ෂ ශීලය දුර්වල වුණොත් අපිත් ශ්‍රද්ධාවන්ත ජනතාවට සාංසාරිකව ණයකාරයෝ වෙන්න පුළුවන්. මෙය සටහන් තබන භික්ෂුව දෑස් පියාගෙන අතීත පංචඋපාදානස්කන්ධ දුක නුවණින් දකිනවා. භික්ෂුව අතීත සංසාරයේ කරත්තේ බඳින ගොනෙක්ව ඉපදිලා හපුතලේ කන්ද ගුටි කකා කොච්චර නම් අදින්නට ඇතිද. අතීතයේ භික්ෂුව එළදෙනෙක් වෙලා ඔබලාට කිරි ටික දීලා මොනතරම් නම් ණයගෙවන්නට ඇතිද. ධනවත් නෝනා මහත්තයලාගෙන් ගුටි කකා, අතපය පුච්චාගෙන මොනතරම් මෙහෙකාරකම් කරන්නට ඇතිද. භික්ෂුව අතීතයේ සුනඛයෙක් වෙලා මොනතරම් නම් ඔබේ ගෙදර මුරකරන්න ඇතිද. පිංවත මේ අතීත ණයකාර ඉතිහාසය ආයෙමත් පටිච්චසමුප්පන්න අනාගතය නම් භික්ෂුවට එපා. භික්ෂුව නැවත ලෝකයාට ණයකාරයෙක් නම් වෙන්නේ නැහැ. භික්ෂුව වළඳන සෑම බත් කටකටම භික්ෂුව උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලයෙන්, උජුපටිපන්න ගුණයෙන් මිල ගෙවනවා. පිංවත අපි වළඳන දානේ වේලක් අපිව දෙවියෙක් බ්‍රහ්මයෙක් කරන්න පුළුවන් වගේම, බර අදින ගොනෙක් කරන්නත් පුළුවන්. පිංවත වියරු සංස්කාර ලෝකයක් මැද පෙර පිනට අපිට ලැබෙන සිව්පසය හේතුවෙන් අපි දුශිල්වත්භාවයට, ප්‍රමාදිභාවයට පත් වුණොත්, පටිච්චසමුප්පන්න ලෝකයේ මුල වෙන අවිද්‍යාවත්, ලෝකයේ අග වන ජාති, ජරා, ව්‍යාධි, මරණත් අතර සරණක් නොමැති අසරණයෙක් වෙන්න පුළුවන්.

පිංවත සමාජයේ මොන දිශාව බැලුවත් අපි දකින්නේ පිරිහීමක්මයි. පිංවත සිංහල බෞද්ධකම පිරිහීමට පත්වෙද්දී සියලු යහපත් ධර්මයෝ පිරිහීමට පත්වෙනවා. සිංහල බෞද්ධකමත්, ආර්ය අශ්ඨාංගික මාර්ගයත් කියන්නේ එකම අර්ථයයි. පිංවත අපි මොනතරම් පිංකම් සිදුකළත් අපේ ආර්ය අශ්ඨාංගික මාර්ගය තෘෂ්ණාව විසින් ගිලගෙනයි තිබෙන්නේ. අපේ සංස්කාර කෙරෙහි ලෝභ සිත්, නෙක්ඛම්මය අමතක කරලා සක්කාය දිට්ඨියයි කළගුණ සලකන්නේ. පිංවත අපි ආර්ය අශ්ඨාංගික මාර්ගය සතුටින් පිළිඅරගෙන, අපි ආර්ය අශ්ඨාංගික මාර්ගයටම බොරු කරනවා. පිංවත බිඳවැටෙන සිංහල බෞද්ධකම ඉදිරියේ අනුනගේ වැරදි දකින්න එපා. එවිට අපි කර්මය කර්මඵල විශ්වාසයට පිටුපෑවා වෙනවා. පිංවත වරදකරුවා ඔබ නොවේ, වරදකරුවා දුක සහ සැප පටලවා පෙන්වන අවිද්‍යාවයි. පිංවත අවිද්‍යාව කියන්නේ ලෝකයයි. අවිද්‍යාවෙන් තොරව අපිට ලෝකය දකින්නට බැහැ. අපි තවමත් අවිද්‍යාවේ යාවජීව සාමාජිකයෝ. පිංවත අවිද්‍යාව ශක්තිමත් වෙද්දී සිංහල බෞද්ධකම පිරිහිලා යනවා. මේ උතුම් සිංහල බෞද්ධකම පිංවත් ඔබටවත්, භික්ෂුවටවත් අයිති දෙයක් නොවේ. මේ සිංහල බෞද්ධකම අයිතිවෙන්නේ අපි සියල්ලන්ගේම යහපත් සංස්කාර ධර්මයන්ටයි. අපි සියල්ලන්ගේම අයහපත් සංස්කාර වැඩිවෙද්දී සිංහල බෞද්ධකම පිරිහිලා යනවා. පිංවත මේ උතුම් සිංහල බෞද්ධකම කියන්නේ පිනෙන් උපන් ධර්මථාවයක්. උතුම් සම්මා දිට්ඨියෙන් පණ ලබන ධර්මථාවයක්. පිංවත මේ සිංහල බෞද්ධකම වෛරකරලා, සණ්ඩුකරලා, ආවේගශීලී වෙලා, අරගල කරලා රැකගන්න බැහැ. මේ අකුසල් ධර්මයෝ සිංහල බෞද්ධකමේ විනාශය උදෙසාමයි.

පිංවත අපි සියල්ලන්ම පටිච්චසමුප්පන්නව එකම අම්මාගේ දරුවෝ. අවිද්‍යාවේ දම්වැල මත දිගහැරෙන අපේ පටිච්චසමුප්පන්න ඥාතිත්වය, අපිට බලකරන්නේ තවදුරටත් අසිහියෙන් භේදබින්න වෙන්න නොවේ, සමගියෙන් අවිද්‍යාව ජයගන්නයි. පිංවත තෘෂ්ණාවේ අසිහියෙන් සිංහල බෞද්ධකම විනාශකොට දමලා අපි ලබන ජය මිථ්‍යාදෘෂ්ඨියේ ජයක්මයි. මේ උතුම් සිංහල බෞද්ධකම රැකගන්න ඇමරිකාව, චීනය, ඉන්දියාව, රුසියාව, අපිට උදව් කරන්නේ නැහැ. පිංවත අපේ පිනට උපන් සිංහල බෞද්ධකම අපිමයි රැකගත යුත්තේ. පිංවත කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ප්‍රතික්‍රියාවන් මත කැඩෙන බිඳෙන විසිරෙන මේ සංස්කාර ලෝකය තුළ, ඇත්ත ඇති සැටියෙන් අපිට කියලා දෙන සිංහල බෞද්ධකම රැකුනොත් පමණක්මයි, සියලු යහපත් ධර්මයෝ රැකුණා වෙන්නේ. පිංවත ඔබේ ජීවිත තුළින් අසීමිත තෘෂ්ණාවට පුංචි විවේකයක් දීලා, උතුම් නෙක්ඛම්ම සංකප්පයට පුංචි ඉඩක් දෙන්න. පිංවත මේ උතුම් සිංහල බෞද්ධකම ආරක්ෂා කොටගත්ත පරපුරේ අන්තිමයා ඔබ වෙන්න එපා. සිංහල බෞද්ධකමේ යශ්ඨිය ඔබේ අතින් ගිලිහෙන්න දෙන්න එපා. පිංවත පුරුෂ ධෛර්යයෙන් නැගීසිටින්න. ඔබේ යශ්ඨිය සුරැකිව ඊළඟ පරපුරට භාරදෙන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment