නරියාගේ ගෙට උරුලෑවෙක් රිංගලා !

59

එක්තරා වනාන්තරයෙක් මධ්‍යයෙහි වූ සුළඟට ඇද වැටුන විශාල ගසක බෙනයක් වාසභවනය කොට ගෙන තනිකඩ, තරුණ, හැන්ඩි, උරුලෑ පොරක් වාසය කළා. දවසක් හිමිදිරි උදයේ පින්නෙන් බේරෙන්නට ‘බීනි’ කැප් එකකුත් හිස දමා ගෙන ජර්කින් එකකින් බොඩිය කවර් කරගෙන මේ උරුලෑ තෙමේ ටවුමට යන්නට පිටත්වුණා. ! ලඳු පඳුරු අතරින් මඳ දුරක් මෙසේ ගමන් ගනිද්දි හෙතෙමේට තඩි වලස් පොරක් මීට් වුණා ! මීටර් දෙකක් තරම් දුර සිට වලස් පොර උරුලෑවාට කතා කළා !

‘හායි උරු ! කොහෙද බං මේ අර්ලි මෝනිං ඈස් යූ ගෙටප් !’

‘මං යනවා ෂෝ වලස් එකට’ !

‘ෂෝ වලස් එකට කිව්වා ! ඒ මක්කටෙයි මේ පාන්දරම…. ෂොප් එක අරින කොට කොහොමටත් නමය දහය වෙනවානේ….’

‘බලපං මචං මේ ෂෝ වලස් එකේ උන් මට ජරා වැඩක් කළා නේ !’

‘ඒ කිව්වේ !’

නරියාගේ ගෙට උරුලෑවෙක් රිංගලා !

‘නෑ මචං… ඊයේ මං උන්ගෙන් පර්ෆියුම් එකක් ගත්තා. පල් වතුර බං… මං ඉල්ලුවේ චාලි ස්ප්‍රේ එකක්. උන් කිව්වා දැන් කවුද චාලි ගාන්නේ පැරිස් වලින් ඉම්පෝර්ට් කරපු නියම භාණ්ඩයක් තියෙනවා ඒන්ජල් කියලා ඒක ගන්න කියලා. පැරිසියේ ඉඳන් මේක ගෑවා නං ජර්මනියටත් සුවඳ එනවා කියලා ! මාත් මුගේ ලනුව ගිලලා ස්ප්‍රේ එක ගත්තා ! පට්ට වතුර මචං පට්ට වතුර !! ජර්මනියටත් සුවඳ එනවා කියලා භාණ්ඩෙ වික්කාට ඇඟේ ගාපුවාම මටවත් සුවඳ දැනෙන්නේ නෑ බං ! මූ මට කිව්වේ එඩින්බරෝ අධිරාජයා ගෑවේත් මේවා කියලා’

‘කොහොමටත් උඹලෑ වරිගෙට නෝමල් පර්ෆියුම් හරියන්නේ නෑ නේ බං අහන්න එපායැ ඩබල් ස්ටේ‍රන්ත් නැද්ද කියලා’

‘බම්බුව! ඩබල් ස්ටේ‍රන්ත් වුණත් වතුර නං කොහෙද බං සුවඳක් ! මං මේ යන්නේ මාව අන්දපු එකාගේ දත් දෙකක් ගලවලා එන්න’

උදේ පාන්දරම ගිනියම් වී සිටි උරූලෑ පොර දත් මිටි කමින් කිව්වා

‘හැබැයි උරු උන් නම් එහෙම අන්දලා බඩු විකුණන එවුන් නෙමේ. ෂොප් එකේ ඕනර් මහවලස් මං හොඳට අඳුනනවා ! කවුද… උඹට ඕක දුන්නේ !’

‘මගේ හිතේ උගේ පුතා වෙන්නැති… කවුද ටෙඩි බෙයාර්ද කොහෙද කියනවා ඇහුනා’

‘හරි… හරි… හිටපංකෝ’ මං ටවුමට ගියාම අහලා බලන්නං… මොකද මෙහෙම මිනිස්සුන්ව අන්දන්නේ කියලා…’

‘ඔය කාට සෙල්ලං දැම්මත් ඒවා මා එක්ක හරි යන්නේ නෑ… අද මං ඕකගේ දත් දෙකක් ගලවලා එන්නේ යි කිවු තරුණ උරුලෑවා වලස්පොරට ටටාබායි කියා ටවුමට ඇදුනා !’

මේ උරුලෑ පොර ශ්‍රෝත විඤ්ඤාණය හිරවෙන සයිස් එකේ පර්ෆියුම් එකක් හොයන්නේ වෙන මොකටවත් නෙමෙයි. තමන්ගේ ගජ මිත්‍රයා වූ කබල්ලෑ පොරගේ වෙඩිං එකට යන්න. කබල්ලෑ පොර කියන්නේ උරුලෑවාගේ මැන්ගෝ ෆ්‍රෙඩා හෝඩියේ ඉඳලා කැම්පස් යනතුරුත් එකම කෙහෙල් කොළේ සයිවර් ෂාපාටුව දාපු ගජයෝ !.

කොහොම හරි ඉතිං ඔන්න වෙන ෂොප් එකකින් ශ්‍රෝතය ගැලවිලා යන සයිස් එකේ පර්ෆියුම් එකකුත් අරගෙන නියපොත්තේ ඉඳලා හෙඩ් එක දක්වාම ස්ප්‍රේ එක ගහගෙන උරුලෑවා කබල්ලෑවාගේ වෙඩිමට ගියා ! වෙඩිමට ආපු එවුන් මඤ්ඤං වෙලා වටපිට බැලුවා කොහොන්ද මේ ස්මෙල් එක එන්නේ කියලා. උරුලෑවාගේ බොඩි ස්මෙල් එකට මේ පර්ෆියුම් එකත් වැටුනාම කොහොමද දන්නවද නියම ඌරල් ගන්ධයක් වහනය වුණා. වෙඩිමට ආපු සමහර එවුන් වීදුරුවට දාගත්තු ෂොට් එකත් මේසය මත තියලා හෙමිහිට මාරු වෙලා ගියා !

කබල්ලෑ වෙඩිම කොම්පඤ්ඤ වීදියේ වෙඩිමකටත් වඩා ඉහළින් නැගලා යනවා !! එහෙන් ගෲප් එකක් සෙල්ලං කරනවා. තව කට්ටියක් බැටිං පටන් අරං. එක එක ගෲප් තැන් තැන් වල බයිට් එක්ක බෝතල් සෙල්ලං කරනවා. ලේඩිස්ලා ෆින්ගර්ස් වලින් ඩාන්ස් පටන් අරං. !ආසික් ! හැමෝම නියම ආතල් එකක් ගන්නවා !

ටික වේලාවක් යනකොට උරුලෑ පොරටත් කනේ වැලි ගෑවෙන සයිස්. තවත් තත්පරයක් හරි මෙතන ලැග්ගොත් වැඩේ වර්චස් වෙයි කියලා හිතුන හින්දා උරුලෑවා සිග්නල් නැතුවම සිග් සැග් ගමන් විලාසයෙන් ගෙදරට පෑගුවා !

කට්ට කරුවලේ එහෙන් මෙහෙන් බඩ ගා ගෙන ගෙදරට රිංගපු උරුලෑවා පැත්ත වැටෙන්න හදන කොටම ‘හේයි තෝ මොකද බොල මෙතන පත බෑවිලා ! කියලා නරියෙක් මහ හයියෙන් ගිනි පිම්බා. රතු කට්ට හිරවෙන තරමට වැදිලා හිටිය උරුලෑවා අමාරුවෙන් ඔළුව කෙලිං කරලා ඇස් දෙක ඇරලා බැලුවා ! මල ජූලියයි ! වැඩි වුන තරම කොච්චරද කිව්වොත් අඳුරේ අමාරුවෙන් බඩගාගෙන ඇවිත් තමන්ගේ ගෙදර කියලා රිංගලා තියෙන්නේ නරිනිඳුගේ බංගලෝ එකට. මේ වෙලාවේ නරිනිඳු ඉස්සරහ ගාඩ්න් එකේ ඩිනර් එකට කලින් ගන්න ෂොට් එක සිප් කරමින් හිටියේ !

‘අනේ… සමාවෙන්න ඕනේ… සර් මං කබල්ලෑවාගේ වෙඩිං එකට ගියා… පොඩ්ඩක් වැඩිවුනා ! මං මේ වැරදිලා ඇවිත් තියෙන්නේ !! අනේ සර් සියයට දහස් වාරයක් මට සමාවෙන්න මං මේ කරුවලේ වැරදිලා ඇවිත් තියෙන්නේ… මං යන්නං සර්’ උරුලෑවා බැගෑපත් වුණා. !!

‘හෙහ් හෙහ් හෙහ් ! ඕක ගණන් ගන්න දෙයක් නෙමේ බං හ්ම්… ආ මදිනං දාගනිං මේකෙන් ෂොට් එකක් !’ නරියා බෝතලයත් වීදුරුවත් උරුලෑවාට දුන්නා.

‘කමක් නැද්ද සර්’

‘ආයේ තවත් අහනවා… දාගනිං දාගනිං උඹ විතරක් නෙවෙයි මේ වනාන්තරයේ ඉන්න එවුන් හැම එකෙක්ම වගේ වැරදි විදිහට වැරදි තැන්වලට වැරදිලා ආපු එවුන් තමා !! කැමති නං ඔහොම නිදා ගනිං නැත්තං ටිකක් අඩුවුනාම පලයං’

‘වැරදිලා ආපු එවුන් විතරක් නෙමෙයි නරිනිඳුතුමා ! අපි වැරදිලා ගෙන්න ගත්ත එවුනුත් කොච්චර ඉන්නවද මේ වනාන්තරයේ !’ පස්සේ ගත්තු ෂොට් එක වැඩිවී තවත් යමක් කියා ගත නොහැකි වූ උරුලෑවා නරිනිඳුගේ ඉස්තෝප්පුවේම පැත්ත වැටුනා !!

ආදර්ශය : වැරදිලා ආපු එවුන් හැමවිටම වැරදිලා ගෙන්නාගත්ත එවුන් පාවා දෙති.

සරත්චන්ද්‍ර පත්තඩුවන

advertistmentadvertistment
advertistmentadvertistment