නිවසක වාස්තු දෝෂ හිතුමතයට ඉවත් කරන්න යන්න එපා

149

නොයෙක් රෝග, ලෙඩදුක් සඳහා ප්‍රතිකාර වේදනානාශක පවතී. එකී රෝගමය ඉලක්ක කරගෙන ඖෂධ නිෂ්පාදනය කෙරේ. නමුත් යම්කිසි රෝගයක් සඳහා වෙළෙඳපළේ ඇති ඖෂධයක් වෛi නිර්දේශයකින් තොරව දැන්වීමක තිබූ පරිද්දෙන්, කවුරු හෝ කී පරිද්දෙන් එම ඖෂධය පාවිච්චි කිරීමෙන් ගුණයක් ලැබී සුව අතට පත්වුණ ද එයින් ඇතිවන්නා වූ අතුරු ආබාධයන් තිබූ රෝගයටත් වඩා උත්සන්නව පැවතීමට හැකිය. දිගින් දිගට පරිහරණය කිරීමෙන් ඇතිවන ව්‍යාකූල තත්ත්වය හමුවේ හොඳට සිටි අයකු මරණයට පත්වීමට පවා ඉඩකඩ ඇත. එම නිසයි සෑම ඖෂධ වර්ගයක් අඩංගු දෑ තුළ වෛi උපදෙස් මත පාවිච්චි කිරීමට උපදෙස් දී තිබෙන්නේ. ඒවගේ තමයි නිවසක පවතින වාස්තු දෝෂ නිදොස් කිරීමට යෑමේදීත් පොතක තිබුණ පමණින් පුවත්පතක තිබුණ පමණින් හෝ කවුරුන් හෝ කී පරිද්දෙන් විශේෂයෙන්ම මේසන් හා වඩු බාස්ලා, වාස්තු දෝෂ නිවැරැදි කරන්න යන්න එපා, තිබෙන දෝෂය පොඩි දෝෂයක් නම් වෙනස් කරද්දී ලොකු දෝෂ කීපයක් මතුවිය හැකිය. වාස්තු සම්බන්ධයෙන් තිබෙන පළවන ලිපි, වීඩියෝ බලන්න ඒවා බලලා වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් අවබෝධය ලබාගන්න. තමුන්ට වාහනයක් හදන්න නොහැකි නම් ගරාජ්වලට ගියාම ඒ අංග උපාංග සම්බන්ධයෙන් දැනුම ලබාගන්න ක්‍රියාකාරිත්වය දැනගන්න ඒවා දැනගන්නේ තමන්ට වාහනයේ එන්ජිම ගියර් බොක්ස් එක ගලවාගෙන හදන්න නොවේ. අවබෝධයක් තිබුණොත් තමයි කවුරු හරි වැඩක් කරනකොට ඒ හා සම්බන්ධ ප්‍රශ්න කරන්න පුළුවන් වන්නේ. තමන් කිසිදෙයක් නොදැන අන් අයගේ සේවයක් ලබාගන්නට යෑමේදී බොහෝ වංචනිකයන් අපව රවටන අවස්ථා එපමණයි කියලා කියන්න බෑ. වාස්තු විද්‍යාවත් එහෙමයි. පොඩ්ඩක් දැනගෙන ගෙවල් බලලා මිනිසුන්ව අමාරුවේ දමනවා. නමුත් මෙහෙම වෙන්නේ වාස්තු කියන්නේ මොනවද යන්නවත් දන්නේ නැති වුණාම. නමුත් වර්තමානයේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් නිවාස පරික්‍ෂාව සම්බන්ධයෙන් ජනමාධ්‍යවල නිතර පළවන නිසා බොහෝ අයට ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙනවා. ඒක එහෙම විය යුතුයි. එහෙම නොවුණොත් වංචාකාරයන්ට හසුවී නිවස කඩා බිඳ දමලා මේ ශාස්ත්‍රයට මනුෂ්‍යයන් වෛර කරන්න ගන්නවා. ඒ නිසා දැනුවත් වීම ඉතාම හොඳයි. දැනුවත් වෙලා වැරදි අඩුපාඩුවක් නිවසේ ඇති නම් එය නිවැරැදි කරගන්න වාස්තු උපදේශකයකුගේ සහය ලබාගන්න. මම මේ ගැන පොඩි කතාවක් කියන්නම්, මෙයට මාස 03කට පමණ පෙර එක්තරා මහත්මයෙක් මට දුරකථනයෙන් කතා කළා

“මහත්තයා පොඩි උපදෙසක් අහන්න කියන්න පුළුවන්ද?”

“අහන්න මං කියලා දෙන්නම්.”

“මම ගේ හදලා තවම පදිංචි නෑ. ඒත් මට පොඩි ගැටලුවක් ආවා බ්‍රහ්මපාදය සම්බන්ධයෙන්. ඉතිං මම කියවපු ලිපි වලින් බ්‍රහ්මපාදය තිබෙන තැන හරියටම හොයා ගත්තා..”

ඔහු බ්‍රහ්මපාදය සොයා ගත් ආකාරය මට පැහැදිලි කළ අතර එය නිවැරැදි විය.

“ඒ වුණාට මහත්තයා මම කොච්චර බැලුවත් මේක එන්නේම හරියට බිත්තිය උඩටමනේ. ඉතිං මේ බ්‍රහ්මපාදය මෙතැනින් එහාට පන්න ගන්න බිත්තිය කඩන්නේ නැතිව අත්තිවාරම ලොකු කරලා ගන්න පුළුවන් නේද?”

“ඔව් පුළුවන් ඒත් ජයසිරි (ඔහුගේ නියම නම නොවේ) මහත්තයා මේක ඔයා තනිව කරන්න යන්න එපා ඔය ළඟ වාස්තු උපදේශක කෙනෙකුට කියලා කරන්න. එයාගේ උපදෙස් අරන් මොකද අත්තිවාරම දික් හෝ පළල් කිරීම නිසා වර්ගඵලය ඇතුළු සියලු දේ වෙනස් වෙනවා.”

“හරි හරි චන්‍ද්‍රසිරි මහත්තයා, මට පුළුවන් හරියට වර්ග කර ගන්න. වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් මන් කියවලා තියෙන පොත් සංඛ්‍යාව මහත්තයාවත් කියවලා බලලා නැතිව ඇති. අනේ කිව්වට සමාවන්න එච්චරටම පොත් පත් මං ළඟත් තියෙනවා.

එයට වඩා කතාකිරීම අනවශ්‍ය නිසා මං ටෙලිෆෝන් එක විසන්ධි කළෙමි.

මේ මාසයේ මුල් සතියේ දිනක උදේ පාන්දරම මෝටර් රථයකින් පුද්ගලයකු මා මුණගැසීමට පැමිණියාය.

“මං දවසක් මහත්තයාට කෝල් කරලා අර බිත්තිය උඩ බ්‍රහ්මපාදය වැටිලා කීවේ මං ජයසිරි”

“ඉතිං ජයසිරි මහත්තයා මොකද වැඩේ කරගත්තාද?”

“ඔව් මහත්තයා ඒක කරලා ගෙයි පදිංචියටත් ආවා. ආපු දවසේ ඉඳන්ම පුදුම කරදර ගොඩයි. ගෙදරට සල්ලි ගේනවා විතරයි වාෂ්ප වෙනවා. මට දැන් එපා වෙලා.”

“ඔයා තිබුණ වෙනස්කම තනිවම නේද කරගත්තේ”

“ඔව් අනේ පුළුවන් ඉක්මනට ඇවිත් මොකද වෙලා තියෙන්නේ බලලා දෙනවාද?’

කෙසේ හෝ ජයසිරිගේ ඉල්ලීම පිට මා එම නිවස පරීක්‍ෂාවට ගියෙමි. නිවස පරීක්‍ෂා කිරීමේදී වෙලා ඇති දෙය හෙවත් ඔහුගේ පන්ඩිතකම නිසා සිදුවී ඇති හානිය විශාලය.

අත්තිවාරම එළියට අඩි 02’5”ක් පමණ පළල් කිරීම නිසා නිවසේ බිත්තිය මත වූ බ්‍රහ්මපාදය නිදහස් වී තිබිණි.

මඩ ගොඩින් අසූචි වළට වැටුනාසේ එසේ නිදහස්ව වැටුන බ්‍රහ්මපාදය ශුන්‍ය ලක්‍ෂය නිවසේ ප්‍රධාන ද්වාරයට හරි මැදින් ඡේදනය වීමෙන් ප්‍රධාන ද්වාරය බ්‍රහ්ම වේද දෝෂයට ලක්ව ඇත. එසේ බ්‍රහ්ම වේද දෝෂයට හසුවීම නිසා ධන හානිය, ලෙඩ රෝගවලට ගොදුරු වීමත් නොයෙක් කරදර පීඩා අනතුරුවලට හේතු වේ. බ්‍රහ්මපාද ලක්‍ෂය නිදහස් කිරීමට අඩි 01ක පමණ දුරක් ගෙන අත්තිවාරම පුළුල් කළා නම් මෙවැනි තත්ත්වයක් මතු නොවෙනු ඇත. මෙය අඩි 2’5”ක් පමණ අත්තිවාරම පුළුල් කිරීම නිසා නිවසේ ආය හෙවත් නිවාස වර්ගීකරණය මනුෂ්‍ය වාසයට නුසුදුසු ආය වර්ගයකට සුනඛ වර්ගයට පත්වීම අහිතකර වේ. සුනඛ ආය වර්ගයට පත්වූ නිවාසවල විශාල ධන හානි, රෝග පීඩා, සතුරු, සොරුන්ගෙන් උපද්‍රව වලට මුහුණ දීමට සිදු වේ. නිවසේ වර්ග ඵලය, වෙනස් වීමෙන් ගෘහ පොරොන්දම් සියල්ල දුර්වලව ඇත. අය – වැය යෝනි, නැකත, ආයුෂ වැනි අත්‍යවශ්‍යම පොරොන්දම් නොගැලපෙනු ඇත. නිවසේ පදිංචිවීමෙන් පසුව ඉතා හොඳ ආර්ථික තත්ත්වයක සිටි ජයසිරි විශාල ආර්ථික පරිහානියකට ලක්ව පැවතුනි. නියපොත්තෙන් කඩන්න තිබූ දේ පොරොවෙන් කපන තැනට වැඩ සිදුව පැවති අතර යළි ප්‍රකෘති තත්ත්වයට දින කීපයක් ඇතුළත පත් කරන ලදී. මේ කටයුත්ත සියලු දෙනාටම හොඳ පාඩමක් කියාදේ. වැදගත්ම දේ නම් වාස්තු පිළිබඳව දෝෂ සම්බන්ධව ජයසිරි මහතාට දැනුමක් තිබූ නිසා නිවසේ පදිංචියට ප්‍රථම ප්‍රධාන දෝෂය හඳුනා ගැනීමට තරම් ප්‍රඥාවන්ත වුණද එය නිවැරදි කර ගැනීමේදී ජයසිරි මහතා පටලවා ගැනීම නිසා මතුවුණ අතුරු ආබාධ ඉතා ප්‍රභල විය. මෙයට ගොඩක් බලපා තිබුණේ වහලයේ කොන්ක්‍රීට් බීම් එකට හසු නොවීමට අත්තිවාරම වැඩිපුර පුළුල් කිරීම නිසාවෙනි. වාස්තු පිළිබඳ දැනුමක් ඇති අයකුට නිවසක දෝෂයක් දුටු සැනින්ම අවබෝධ කරගත හැකි අතර එය නිදොස් කිරීම ආවාට ගියාට කිරීමට නොහැක. එය ඉවත් කිරීම සඳහා සෑම පැතිකඩමක් දෙසම ඉතාම සූක්‍ෂ්මව පරීක්‍ෂා කළ යුතු වේ. එළුවා නොමරා මුට්ටිය නොබිඳ එළුවාගේ බෙල්ලෙන් මුට්ටිය ඉවත් කරනවා සේ වාස්තු දෝෂයන් නිදොස් කරගත යුතුය. නිවාස කඩා බිඳ දමා වාස්තු දෝෂ ඉවත් කිරීම නොව වෙනත් විකල්ප මායිම්වලදී දෝෂ නිවාරණය කිරීමේදී සියලු දේ සම්බන්ධයෙන් එයින් ඇතිවෙන අතුරු ආබාධ ගැටලු මතු නොවීමට උත්සුක විය යුතුය.

නිවසක වාස්තු දෝෂ හිතුමතයට ඉවත් කරන්න යන්න එපා

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment