බංකොලොත්භාවය ප්‍රකාශ කළා ද?

295

මේ නිසා විශේෂයෙන් රට බංකොලොත්වීම වැනි කරුණක් ගැන පරීක්ෂා කිරීමට නම් එය ඉතා ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියා කරන පමණක් නොව එලෙස ක්‍රියාකරන බවට විශ්වාසය තැබිය හැකි කමිටුවක් ද විය යුතු වේ. මේ පසුබිම තුළ මේ කමිටුව සම්බන්ධයෙන් මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇතුළත මෙන්ම ජනමනසේ ද ඇතිව තිබේ. ඒ කෙසේ වෙතත් මේ කමිටුව රැස්වෙමින් සාක්ෂිකරුවන් කැඳවමින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට වගකිවයුත්තන් සෙවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කතා කරමින් ඉල්ලා සිටි බව අපට මතකය. මේ අනුව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී අවුරුදු දෙකහමාරක් ඇතුළත ආර්ථිකය විනාශ කළේ කවුදැයි සොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස පාර්ලිමේන්තුවේ කතා කරමින් යෝජනා කළ බව ද අපට මතකය. තවත් අය ඒ දවස්වල මේ ගැන අදහස් දක්වන්නට ඇත. ඒ සියල්ල අපට මතක නැත. කෙසේ හෝ අවසානයේ මේ සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ අතර එහි සභාපතිත්වයට පත් වූයේ පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් මහතාය. රටේ විදේශ ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වූයේ පොහොට්ටුවේ රජයක් යටතේය. රට පාලනය කළේ පොහොට්ටුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාය. මුදල් ඇමැතිකම් දැරුවේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ය. මේ බැසිල් රාජපක්ෂ මහතා පොහොට්ටු පක්ෂය ලෙස හඳුන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා ද වේ. ඒ දවස්වල ඔහු එම පක්ෂයේ ජාතික සංවිධායක ලෙස ද මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් විය. මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයාය. මේ වත්මන් ආර්ථික අර්බුදයට දිගුකාලීන හේතු සහ කෙටිකාලීන හේතු තිබිය හැකිය. එය වෙනම කතාවකි. එහෙත් මේ කියන පරිදි රට බංකොලොත් වූයේ මේ අය රට පාලනය කරමින් සිටින විටය.

බංකොලොත්භාවය ප්‍රකාශ කළා ද?

මේ සඳහන් කළ සියලු දෙනා නියෝජනය කරන දේශපාලන පක්ෂයේ මහ ලේකම්වරයා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂය බොහෝ විවේචන ඉදිරිපත් කර තිබේ. රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා සහභාගි වීම, විපක්ෂය සම්පූර්ණයෙන්ම වැළකී සිටින බවත් මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර ඇති අතර මේ පිළිබඳ මාධ්‍ය වාර්තා ද පළව ඇත. ඔහු සඳහන් කළේ මේ උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොළුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බවත් මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු පලක් නොවන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. එම විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීමේදී විපක්ෂයේ මන්ත්‍රිවරයකු ලෙස විජිත හේරත් මන්ත්‍රීවරයාගේ නම ද ඇතුළත්ව තිබිණි. එහෙත් මේ විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් මන්ත්‍රි විජිත හේරත් ඉල්ලා අස්වෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් එම මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ රටේ මූල්‍ය බංකොලොත්භාවය ඇතිවීමට හේතු කාරක වූ බහුතරයක් පිරිසගෙන් සමන්විත කමිටුවක් මඟින් ඊට අදාළ සැබෑ හේතු පරීක්ෂාවට ලක් කිරීමක් හෝ ඊට අදාළ යෝජනා නිර්දේශ ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කිරීම නිෂ්ඵල බවත් මේ තත්ත්වය තුළ එවැනි කමිටුවක් නියෝජනය කිරීම අර්ථ විරහිත වන බැවින් තමා එම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවයි. ඒ නිසා සාගරගේ මේ කමිටුව ගැන මේ රටේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කිසිදු නියෝජනයක් හෝ විශ්වාසයක් නැත. එසේම මේ කියන කාරණා නිසාම මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය ගැන මේ රටේ අතිමහත් බහුතර ජනයාට ද විශ්වාසයක් ඇතැයි අපට සිතිය නොහැකිය. වෙනත් පාර්ලිමේන්තු කමිටු රැස්වන විට ඒවාට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද එක් වෙයි. පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ගතහොත් එහි සභාපති ලෙස කටයුතු කරන්නේ විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය. මේ කමිටුවල සාක්ෂි විභාග කෙරෙන වීඩියෝ දෙස බලන විට ඒවායේ ගුණාත්මකභාවය ගැන අපට වැටහේ. මේ නිසා විශේෂයෙන් රට බංකොලොත්වීම වැනි කරුණක් ගැන පරීක්ෂා කිරීමට නම් එය ඉතා ස්වාධීනව සහ අපක්ෂපාතීව ක්‍රියා කරන පමණක් නොව එලෙස ක්‍රියාකරන බවට විශ්වාසය තැබිය හැකි කමිටුවක් ද විය යුතු වේ. මේ පසුබිම තුළ මේ කමිටුව සම්බන්ධයෙන් මෙවැනි මතභේදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තුවේ ඇතුළත මෙන්ම ජනමනසේ ද ඇතිව තිබේ. ඒ කෙසේ වෙතත් මේ කමිටුව රැස්වෙමින් සාක්ෂිකරුවන් කැඳවමින් ක්‍රියාත්මක වෙමින් තිබේ. මේ කමිටුව හමුවට පසුගිය දා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද කැඳවා තිබිණි. එසේම මේ කමිටුව හමුවට මීට පෙර හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලෙකම් එස්. ආර්. ආටිගල මහතා ද කැඳවා තිබිණි. මේ සාක්ෂි මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වූ අතරම ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ මාධ්‍ය අංශය මගින්ද නිවේදන නිකුත් කර තිබේ.

මේ පාර්ලිමේන්තු කමිටුවේ නමටම බංකොලොත් කියන වචනය තිබේ. එහි අර්ථය පාර්ලිමේන්තුව නිල වශයෙන්ම රටේ බංකොලොත්බව පිළිගෙන ඇති බව නොවේ ද? අනිත් අතට රටේ රාජ්‍ය නායකයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද රට බංකොලොත් වූ බවට විවිධ අවස්ථාවල ප්‍රකාශ කර තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා ගිය අවස්ථාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ අවස්ථාවේ ද ඔහු ”ශ්‍රී ලංකාව බංකොලොත් (bankrupt). ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි” යනුවෙන් සීඑන්එන් සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. එසේම පසුගිය ආණ්ඩුව මූල්‍ය අර්බුදය පිළිබඳ සත්‍ය කරුණු වසන් කරමින් සිටි බවට ද ඔහු සඳහන් කර ඇත. එසේම ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ ශ්‍රී ලංකාවට බංකොලොත්භාවයෙන් මිදීමට හැකි වනු ඇතැයි ද ජනාධිපතිවරයා පවසා ඇත. ඔහු වරක් කොළඹ පැවති ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) මහ සභා රැස්වීමට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ බවට මාධ්‍ය වාර්තා කර තිබිණි. එහිදී ජනාධිපතිවරයා එම තත්ත්වයෙන් මිදීමේ රජයේ එම ප්‍රයත්නයන්ට සහාය දැක්වීමට සාමූහිකව එක්වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව රජයේ ප්‍රධානියා ද රට බංකොලොත් වූ බවට ප්‍රකාශ කර ඇත. එසේම රටේ රාජ්‍ය නායකයාට අමතරව තවත් බොහෝ දෙනෙක් ද රට බංකොලොත් වූ බවට ප්‍රකාශ කර ඇති බව ද රහසක් නොවේ. මේ ගැන ජනමනසට ද කාවැදී ඇත. එසේම අපත් සිතන්නේ රටේ විදේශ ණය ගෙවා ගැනීමට නොහැකිව රට බංකොලොත් වූ බවයි. 2022 අප්‍රේල් 12 වැනිදා සිදු කළ ප්‍රකාශයේ දී රජය විසින් බංකොලොත් බව ප්‍රකාශ නොකළ බව වෙනම කතාවකි.

මේ අනුවම මූල්‍ය බංකොලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා මූල්‍ය බංකොලොත්භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ දී ප්‍රකාශ කර තිබේ. ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළේ තෝරාගත් ණය යම්කිසි කාලසීමාවකට ගෙවීම තාවකාලිකව අත්හිටුවීම පමණක් බව ද මහින්ද සිරිවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මූල්‍ය බංකොලොත්භාවය යන යෙදුම භාවිත කිරීම තාක්ෂණික වශයෙන් නිවැරදි නොවන බව ඔහු කාරක සභාවට පෙන්වා දී තිබේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය වසර ගණනක ප්‍රතිඵලයක් බව ද සිරිවර්ධන මහතා පවසා තිබේ. එහි සාක්ෂි දෙමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට එක්වන අවසන් අවස්ථාව මෙය විය යුතු බව අවධාරණය කර ඇති ඔහු ඒ සඳහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ වහාම සිදු කළයුතු බවත් මේ වන විටත් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් පවසා ඇත. එහෙත් අප මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට එක් වූ සෑම අවස්ථාවකටම වඩා මෙවර වෙනසක් තිබේ. එනම් මින් පෙර කිසිම අවස්ථාවක අප රට විදේශ ණය ගෙවීම අත්හිටුවීමක් සිදුකර නැත. මෙතෙක් ණය සේවාකරණය සම්බන්ධයෙන් අපට නිකැළැල් ඉතිහාසයක් තිබුණත් මෙවර අපට ඒ තත්ත්වය ආරක්ෂා කර ගැනීමට නොහැකි විය. එනම් අපගේ ණය තිරසාරත්වය (ණය ගෙවාගෙන යෑමේ හැකියාව) නොමැති තත්ත්වයට රට පත් විය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට යොමු වීමට අපට සිදු වූයේ ඒ නිසාය. කෙසේ වෙතත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද එම කමිටුව හමුවේ සාක්ෂි දෙමින් කියා ඇත්තේ ද රට බංකොලොත් වූ බවක් ප්‍රකාශයට පත් නොකළ බවයි. බංකොලොත් බව ප්‍රකාශයට පත් කිරීම සහ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීම අතර වෙනස ද මහ බැංකු අධිපතිවරයා විසින් එම පාර්ලිමේන්තු කමිටුව හමුවේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇත. 2022 අප්‍රේල් 12 වැනිදා තෝරාගත් විදේශ ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කළ මුදල් අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට මේ ලියුම්කරු ද සහභාගි වූ අතර එහිදී රජය විසින් ඇත්තවශයෙන්ම රට බංකොලොත් බවක් ප්‍රකාශ කළේ නැත. සිදු කළේ තෝරාගත් විදේශ ණය ගෙවීම අත්හිටුවන බවකි. මේ නිසා සාගරගේ කමිටුව හමුවේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රට බංකොලොත් වූ බවට ප්‍රකාශ නොකළ බවට ප්‍රකාශ කළ දේ තාක්ෂණිකව නිවැරදිය. එසේම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ද ‘බංකොලොත්’ යන වචනය සඳහන් නොවන බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ පාර්ලිමේන්තු කමිටුවට පෙන්වා දී ඇත. කරුණු මෙසේ වුවත් 2022 අප්‍රේල් 12 වැනිදා තෝරාගත් විදේශ ණය ගෙවීම අත්හිටුවීම රජය මගින් ප්‍රකාශයට පත් කිරීම බොහෝ දෙනෙක් අර්ථකථනය කළේ සහ ඒ බව පැතිර ගියේ රජය විසින් රට බංකොලොත් වූ බව ප්‍රකාශ කළ බවටය. එහෙත් එදින රජය විසින් එසේ රට බංකොලොත් බවක් ප්‍රකාශ නොකළ බව සත්‍යයකි.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ කමිටුව හමුවේ සාක්ෂි දෙමින් සාගරගේ පාර්ලිමේන්තු කමිටුවෙන් ද ප්‍රශ්නයක් ඇසුවේය. ඒ මෙසේයි.

‘මම කරුණු ඉදිරිපත් කළේ දත්ත මත, සංඛ්‍යාලේඛන සහ ඇත්ත කරුණු මතයි. මේ කමිටුවට මීට කලින් යම් යම් ප්‍රකාශ කරා. මේ කමිටුවට ඇවිත් කෙනෙක්ට පුළුවන් ද අසත්‍ය ප්‍රකාශ කරන්න? යම් කෙනෙක් තමන්ගේ මතය ප්‍රකාශ කරනව නම් මම ඒකට ගරු කරනවා. මතය ප්‍රකාශ කිරීම කිසිම ගැටලුවක් නෑ. ඒත් දැන දැන අසත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන් ද?

මෙයට ප්‍රතිචාර වශයෙන් එම කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් මහතා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව පැමිණිල්ලක් වශයෙන් ලිඛිතව තම කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසයි. මේ අනුව රටේ මූල්‍ය බංකොලොත් භාවයට හේතු පරීක්ෂා කිරීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට සාක්ෂි ලබාදුන් ඇතැම් සාක්ෂිකරුවන් ලබාදී ඇති අසත්‍ය (මහ බැංකු අධිපතිවරයා පවසා ඇති පරිදි) සාක්ෂි පිළිබඳව අනාවරණය කරමින් විශේෂ ලිඛිත වාර්තාවක් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම මේ කාරක සභාවට ලබා දීමට නියමිතව ඇත. පසුගිය දා සාක්ෂි දීමේ දී මේ අසත්‍ය යැයි කියන සාක්ෂි පිළිබඳ කරුණු කිහිපයක් ආචාර්ය වීරසිංහ මහතා විසින් වාචිකව ද ඉදිරිපත් කර ඇත. මේ අනුව රුපියල බේරා ගන්න ශතයක්වත් වෙළෙඳපොළට දැම්මේ නෑ කියන එක දත්ත වශයෙන් වැරදි බව මෙන්ම 2022 අප්‍රේල් 18 දින වන විට ගෙවන්නට තිබුණේ ඩොලර් මිලියන 78 ක් පමණයි යන්නත් වැරදි බව ද ආචාර්ය වීරසිංහ මහතා සඳහන් කර ඇත. එම දිනය වන විට ඩොලර් මිලියන 182 ක් ගෙවීමට තිබුණු බව ද මහ බැංකු අධිපතිවරයා කමිටුවට පෙන්වා දී ඇත. මෙසේ අදාළ අසත්‍ය යයි මහ බැංකු අධිපතිවරයා විසින් කියන කරුණු ලිඛිතව කරුණු ඉදිරිපත් කළහොත් ඒ ගැන කථානායකවරයාට යොමුකර අවශ්‍ය පියවර ගතහැකි බව ද එම විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් මහතා මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත. මෙම කාරක සභාව හමුවේ මීට පෙර සාක්ෂි ලබා දී ඇති හිටපු මහ බැංකු අධිපතිවරයකු සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයකු මෙසේ කරුණුමය වශයෙන් අසත්‍ය සාක්ෂි ලබාදී ඇති බවට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් එම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අනාවරණය කර ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment