පිටරටවල්වල සල්ලි අදින්න නුවරඑළියට තුරඟ තරග

319

ආයෝජකයෝ ලැබුණු වහාම සංවර්ධන කටයුතු අරඹනවා

  • ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ

පිටරටවල්වල පැවැත්වෙන තුරඟ තරගවලට ඔට්ටු අල්ලා දිනකට අපේ මුදල් ලක්ෂ ගණනින් පිටරටටවල්වලට පූජා කරනවා වෙනුවට නුවරඑළියේ තුරඟ තරග පවත්වා පිටරට මුදල් කෝටි ගණනින් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම්කරණ බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නුවරඑළියේදී කියයි.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට අයත් නුවරඑළිය තුරඟ තරග පිටිය ඇතුළුව ක්‍රීඩා සංකීර්ණය, ක්‍රීඩා පුහුණු පාසල, සංචාරක ප්‍රවර්ධන හෝටලය යනාදිය ඉදිකිරීමට වෙන්කර ඇති අක්කර අටක භූමි ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවට ඉකුත් 16 දා එකතු වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුර අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා මෙසේද කීය.

‘මට කලින් පත්වුණු ක්‍රීඩා අමාත්‍යවරුන්

රැසක් මෙම ක්‍රීඩා සංකීර්ණය සෑදීම සඳහා මුල්ගල් තබා ඇති නමුත් මා මෙයට මුල්ගල් තබන්න සූදානම් නෑ. මොකද දැන්මම හැදෙන්නේ නැති, හදන්න බැරි වැඩකට මුල්ගල් තියෙන එකෙන් වැඩක් නෑ.

රට වැටිල තියෙන අර්බුදකාරී තත්ත්වයත් එක්ක සංවර්ධන කටයුතු කරන්න මෙවන් වූ විශාල ව්‍යාපෘතීන් දියත් කරන්න මුදල් නැහැ.

මට කලින් පත්වෙච්ච හැම අමාත්‍යවරයකුටම ක්‍රීඩා අමාත්‍යාංශය භාරදෙන විට අඩුම තරමින් බිලියන 500ක් වගේ විශාල මුදලකුත් එක්ක තමයි භාර දුන්නේ. ඒත් මම භාරගන්නා විට අර්බුදයකුත් එක්ක එම්ටි පොකට් තමයි භාරගත්තේ.

නුවරඑළියේ ක්‍රීඩා සංකීර්ණයකට අමතරව ක්‍රීඩා පුහුණු පාසලක් ආරම්භ කළ යුතු වෙනවා. ආසියාවටම හරි හැටි සියලුම ක්‍රීඩාවන් පුහුණු කිරීමට හැකි ක්‍රීඩා පුහුණු ආයතනයක් නැහැ. අපි ඒක හදන්න බලාපොරොත්තු වෙනවා නුවරඑළියේ.

මේ එක්කම සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න සංචාරක හෝටලයක් සහ සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මධ්‍යස්ථානයක්ද මේ තුළ ස්ථාපනය කරන්න බලාපොරොත්තු වෙනවා. අක්කර අටක භූමි ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අවශ්‍යයි. මේ සඳහා විශාල ආයෝජනයක් සිදු කිරීමට අවශ්‍ය බැවින් අපි ආයෝජකයන් කිහිප දෙනෙකුටම ආරාධනා කළා මේ වැඩ කටයුත්ත සඳහා දායකත්වය ලබා දෙන්න කියලා. පිටරට ආයෝජකයන්ට ආරාධනා කරන්න කලින් මුලින්ම අපි ආරාධනා කළේ ලාංකීය ආයෝජකයන්ට. මොකද අපේ සම්පත්වලින් සීයට සීයක් ප්‍රයෝජන ගත යුත්තේ අපේම අය නිසාවෙන්.

ආයෝජකයන් ලැබුණු වහාම අපි නිසි සැලසුමකට අනුව නුවරඑළියේ ක්‍රීඩා සංකීර්ණය හා අක්කර අටක භූමි ප්‍රදේශය සැලසුම්කර ඇති සියලුම සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment