මාතෘ භූමියට ගෞරවය ගෙනදුන් නායකත්වය ඩී. ඇස්.

113

”උඹලට නිදහස දුන්නොත් උඹලා මිනී මරා ගනීවි. ඇනකොටා ගනීවි. පළමුව එකතුවෙයල්ලා.”

මේ අධිරාජ්‍යවාදී පාලකයන් නිදහස පිළිබඳ අරගලයේ අවසන් අදියරට නායකත්වය දෙමින් සිටි අපේ ජාතික වීරවරයන් ඉදිරියේ තැබූ අභියෝගයයි.

ලොව පුරා යටත්විජිත සම්බන්ධයෙන් අධිරාජ්‍යවාදී පාලකයන් අනුගමනය කළ ”බෙදීම් ඇතිකර පාලනය පහසුකර ගැන්මේ න්‍යාය” අනුව, අපේ සමාජය තුළද ජාති, ආගම්, කුල සහ පළාත් මට්ටමින් භේද භින්නවීම් වලට මගපාදන අතරතුර, මතුපිටින් මේ අභියෝගය එල්ල කර සිටියහ. මෙම බෙදා වෙන්කර පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී ප‍්‍රතිපත්තියේ ප‍්‍රතිඵල ලෙසින් ලෝක සිතියමේ කෘතිම ලෙසින් ඇතිවූ වෙනස්වීම් රැසක් අපි මැදපෙරදිග, අප‍්‍රිකාව, ආසියාව ඇතුළු ලෝකය පුරා දකිමින් සිටිමු. ඒවායේ විපාකයන්ට අද දවසේත් ලෝකයා මුහුණ දී සිටී. භාරතය අවසානයේදී නිදහස ලබාගත්තේ භාරතය දෙපලූ කර ගනිමිනි. එදා යුගයේ ශ‍්‍රී ලංකාවේ සිටි විලියම් මැනිං වැනි ආණ්ඩුකාරවරු, නිදහස පිළිබඳ ඉලක්කය වෙනුවෙන් එක්ව සිටි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් නායකයන් අතර බෙදීම් ඇති කිරීම සඳහා උපායශීලී ක‍්‍රියාමාර්ගයන් ගැනීම සිදු කළහ. මේ වාතාවරණය තුළ ජාතික සංගමය යටතේ ඇතිව තිබූ පුළුල් සමගිය ක‍්‍රමයෙන් කැඞී බිඳී යෑම සිදුවිණ. උඩරට ප‍්‍රදේශවාසීන් ”උඩරට ජාතික සංගමය” පිහිටුවා ගැන්මද, පොන්නම්බලම් අරුණාචලම් ප‍්‍රමුඛ ද්‍රවිඩ නායකයන් කොටසක් ‘‘දමිළ ජන සබෙයි” පිහිටුවා ගැන්මද, බණ්ඩාරනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ”සිංහල මහා සභාව” පිහිටුවා ගැන්මද, මෙයට අමතරව ”යුරෝපීයයන්ගේ සංගමය”, මුස්ලිම් ලීගය, මැලේ සංගමය, යෝනක සංගමය ආදී වශයෙන් බෙදී වෙන්වී, ශ‍්‍රී ලාංකික සමාජයේ එකමුතුව පලූදුවී යෑම පෙනෙන්නට තිබුණි. විවිධ මට්ටම්වලදී ජාති, ආගම්, පළාත් සහ කුල ආදී වශයෙන් නියෝජනත්වය, වරප‍්‍රසාද ලබාදීම් ආදිය තුළින්ද බෙදුම්වාදී අදහස් වර්ධනයට අධිරාජ්‍යවාදී පාලකයන් කටයුතු කළහ. අධිරාජ්‍යවාදී පාලකයන්ගේ මෙම ” දිරච්ච ලණු” ගිලගත් ඇතැම් සුළු ජනකොටස්වල නායකයන් තීරණාත්මක අවස්ථාවක නිදහසට පක්ෂවීමට ” පනහට පනහේ ” කොන්දේසි ඉදිරියට දැමීමද සිදුවිණ. නිදහස් රටක් තුළ සුළු ජනකොටස්වල අනාගත ආරක්ෂාව, ගරුත්වය සහ සමානත්වය ආදිය පිළිබඳ පවතින අවිශ්වාසයන්, සැක සංකාවන්ද මේ තත්ත්වයට තල්ලූවීමට හේතු කාරකයන්වීමද අවබෝධයට ගත යුතුය.

නිදහස පිළිබඳ සිහිනය සැබෑ කරගැන්ම සඳහා දුර දැක්ම සහ ඉවසීම ඇතිව ඞී. ඇස්. සේනානායකයන් කටයුතු කළ අන්දම ගැන අපේ ඉතිහාසයේ කෙතෙකුත් නිදසුන් අපට දැකිය හැකිව තිබේ. දෙවන ලෝක යුද්ධයේදී ඞී. ඇස්. ප‍්‍රමුඛ අපේ නායකයන් ගත් ස්ථාවරය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාවෙන් කටයුතු කිරීම පිළිබඳව දැක්වූ ධනාත්මක ස්ථාවරය වැනි, ගැටුම් සහිත තත්ත්වයන් මගහරවා ගනිමින් අන්‍යොන්‍ය අවබෝධයෙන් තම ඉලක්කය කරා යෑමට ඔහු හැම අතින්ම දුන් බුද්ධිමත් නායකත්වය වෙතින් අද යුගයේ අපේ දේශපාලනඥයන්ටද බොහෝ දෑ උගත හැකිව තිබේ. එදා යුගයේ ශ‍්‍රී ලංකාවේ සිටි සුප‍්‍රසිද්ධ කාටූන් ශිල්පියෙක් වූ කොලට් ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව නිදහස ලබාගත් අයුරු ගැන, මෙරට ජාතික පුවත්පතකට ඇඳි කාටූනයක් මේ මොහොතේ මගේ සිහියට නැගේ. භාරතයට නිදහස ලැබුණේ ඉන්දියාව සහ පාකිස්ථානය වශයෙන් භාරතය දෙපළු කරමිනි. එහෙත් ශ‍්‍රී ලංකාව නිදහස උදාකර ගත්තේ එක් රටක් වශයෙනි. කොලට් තම කාටූනයේ එක් පැත්තක, කුඩා දරුවන් ගෙන යන කරත්තයක අත දරුවෙකු ලෙසින් වාඩිවී සිටින ජින්නා වඩා ගැන්ම සඳහා දෙඅත් දිගු කරන ජවහර්ලාල් නේරු සහ ඒ ඇරයුම මුරණ්ඩු ලෙස ප‍්‍රතික්ෂේප කරමින් හ`ඩනා ජින්නාව පින්තූරයට නගා ඇත. අනෙක් පැත්තෙන්, කුඩා කරත්තයක අත දරුවෙකු ලෙස වාඩිවී සිටින ටී. බී. ජයා වෙත ඞී. ඇස්. සේනානායකයන් දෑත් දිගුකරන විට ආදරයෙන් ඔහු වැළඳගැන්මට ජයා පෙළඹෙන අයුරුද පින්තූරයට නගා ඇත. මේ කාටූනය තුළින් කොලට් පෙන්නුම් කරනුයේ එදා ජවහර්ලාල් නේරු ප‍්‍රමුඛ හින්දු නායකයන්ට ඉන්දියානු සුළු ජනකොටස්වල විශ්වාසය දිනා ගැන්මට අපොහොසත් වීම සහ ශ‍්‍රී ලංකාවේ ඞී. ඇස්. ප‍්‍රමුඛ සිංහල නායකයන් මෙරට සුළු ජන කොටස්වල විශ්වාසය දිනා ගැන්මට සමත්වූ ආකාරයයි. නිදහසට පෙර යුගයේ අධිරාජ්‍යවාදීන්ට පාවඩ එලමින් වරප‍්‍රසාද අපේක්ෂා කර සිටි ප‍්‍රභූ පැලැන්තියක පැවැත්ම දකින්නට තිබුණද, ඞී. ඇස්. තම වැඩිමල් සොයුරු එෆ්. ආර්. සේනානායකයන් සමගින් තම පරපුරේ දේපල කැප කරමින්, සිරබත් කමින්, අමද්‍යප ව්‍යාපාරය සහ ජාතික සංගමය තුළින් මව්බිමේ නිදහසේ සිහිනය සැබෑ කරගන්නටත්, ශ‍්‍රී ලාංකික සමාජයට ආත්මගරුත්වය ඇතිව ජීවත්විය හැකි සමෘද්ධිමත් හෙට දවසක් ලබා දෙන්නටත් අනෙකුත් ජාතික වීරවරයන් සමගින් එක්ව කළ කැපවීම් සහ දායකත්වයන් අප සැමදා කෘතවේදීව සිහිපත් කළ යුතුවෙමු.

රජ දවසින් පසු වල් වැදුණු රට බත බුලතින් පිරුණු සමෘද්ධිමත් රටක් කරන්නට ඔහුට පැහැදිලි දැක්මක් තිබිණ. මැලේරියා වසංගතය මධ්‍යයේ ඈත දුෂ්කර ගම් දනව්වල සැරිසරමින්, මදුරුවන් තලමින්, ගොවීන් සමග එක්ව ගොවිබිම්වලට බැස සී සාමින්, ගොවියන් අතර ගොවියෙකු ලෙසින් ඔහු කටයුතු කළේ ර`ගපෑම් කරන්නට නොවේ. ඔහු යුරෝපීය ඇඳුම අඳිමින් ලොව නායකයන් අතර සම තත්ත්වයෙන් ඔවුන්ගේ ගෞරවය දිනාගනිමින් කටයුතු කරන අතරතුර, රට තුළ උතුරට, නැගෙනහිරට, උතුරුමැදට, දකුණට යමින් සරල මිනිසෙකු ලෙසින් විටෙක අමුඩයද සමගින් ගොවිතැන් කටයුතු වලට සම්බන්ධ වූයේ ”මඩ සෝදා ගත් කල ගොවියා රජකමටද සුදුසුය” යන කියමන සනාථ කරමිනි.

අපේ මාතෘ භූමියේ නායකයාණන් ලෙස සිටි ඞී. ඇස්. සේනානායකයන් එදා සමකාලීන ලොව පිළිගත් නායකයන් අතර ලබා තිබූ ගෞරවනීය පිළිගැන්මේ තරම මේ ප‍්‍රකාශය මෙන්ම, එදා ඔහුගේ අවසන් සමුගැන්මේ අවස්ථාවට සමකාලීන බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඇට්ලි සාමිවරයා ඇතුළු ලොව පිළිගත් රාජ්‍ය නායකයන් බොහෝ දෙනා නිකුත් කළ ප‍්‍රකාශයන් තුළින් වටහාගත හැක. රටක් ලෙසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකය ඉදිරියේ අප පත්ව ඇති ඛේදජනක තත්ත්වය තුළ, අද යුගයේ දේශපාලනඥයන් ඞී. ඇස්. චරිතය අත්පොතක් කර ගැන්ම වැදගත්යයි සිතමි.

advertistmentadvertistment
advertistmentadvertistment