‘රාම ට්‍රේල්’ ගැන වහා අවධානය යොමුකර නිසි පියවර ගන්න – ඕමල්පේ හිමිගෙන් මහ නාහිමිවරුන්ට ලිපියක්

39

ඉන්දියානු හින්දු පූජකවරයකු විසින් මෙරට ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇති ‘රාම ට්‍රේල්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කර ඒ පිළිබඳව ගත යුතු නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් මහනායක හිමිවරුන් වෙත ලිපියක් යොමු කර ඇත.

එම පූජකවරයා මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහ නායක මාහිමිපාණන් වහන්සේලා මුණගැසී එම ව්‍යාපෘතියට ආශිර්වාද ලබාගෙන ඇති බවද ඒ සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ අදහස කුමක් දැයි පැහැදිලි නැතැයි ද සිය ලිපියෙහි සඳහන් කර ඇති ඕමල්පේ හිමියෝ මේ පිළිබඳව කිසිදු පාර්ශ්වයක් සෙසු මහනායක හිමිවරුන් දෙනම දැනුවත් කොට ඇතැයි දැනගන්නට නොමැති බවද පවසති.

මෙම ප්‍රශ්න සහගත ව්‍යාපෘතිය මීට පෙරද ඉදිරිපත් වුවත් මෙරට වියතුන්ගේ අදහස වූයේ කිසිදු ඓතිහාසික පදනමක් නොමැති සංකල්පය පමණක් පදනම් කරගත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉතිහාසයටත්, අනන්‍යතාවයටත් හානිකර බව යැයිද උන්වහන්සේ සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එබැවින් මෙම ව්‍යාපෘතිය කාගේ කුමන අවශ්‍යතාවක්ද? මෙහෙයවනු ලබන්නේ කවුරුන් විසින්ද? මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ වගකීමක් තිබේද? මෙයට සක්‍යතා අධ්‍යනයක් සිදුකර තිබේද? පුරාවිද්‍යාත්මක සහ පාරිසරික වාර්තා ලබාගෙන තිබේද සහ මෙහි ආගමික පදනමක් ඇති බැවින් මෙරට ප්‍රධාන ආගම ලෙස එහි භාරධාරී මහා සංඝයා වෙතින් විමසීමක් සිදුකර තිබේදැයි දැඩි ලෙස අවධානය යොමු කරන ලෙසද ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් සිය ලිපිය මගින් මහ නාහිමිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment