දිළිඳුකම පිටුදැකීමට සහ දරුවන්ගේ පෝෂණය නැංවීමට ජනපතිගේ විශේෂ අවධානය – සාගල රත්නායක කියයි

24

මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම සහ දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අවධානයක් යොමුකර කටයුතු කරන බවත්, ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම ඇතිව මේ වන විට වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බවත් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

එසේම ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ආරම්භ කෙරුණු ‘අස්වැසුම’ වැඩසටහන මෙරට දිළිඳුකම පිටුදැකීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන බවත් එම වැඩසටහන කිසිසේත් දේශපාලනීකරණය වී නොමැති බවත් මෙරට ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ශක්තිමත් දායකත්වයක් ලබාදෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ 01 දා කොළඹ රාමඩා හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු සබලකෘත සහල් (Fortified Rice) පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලට එකතු කිරීමේ වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.

පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ලෝක ආහාර වැඩසටහන (World Food Programme), ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම (Bill & Melinda Gates Foundation) ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

එසේම දරුවන්ගේ රක්ත හීනතාවය, මතක දුර්වලතා සහ ශරීර වර්ධනය අඩාලවීම ඇතුළු ඒ ආශ්‍රිත රෝග සඳහා පිළියම් සෙවීම ද මෙමගින් අපේක්‍ෂා කෙරේ. යකඩ සහ ෆෝලික් අම්ල අඩංගුකර සකස් කරන ලද සබලකෘත සහල් අධ්‍යාපන අමාත්‍යාංශයට නිල වශයෙන් භාරදීම මෙහිදී සිදු කෙරිණි.

දිළිඳුකම පිටුදැකීමට සහ දරුවන්ගේ පෝෂණය නැංවීමට ජනපතිගේ විශේෂ අවධානය - සාගල රත්නායක කියයි

මෙහිදී අදහස් දැක්වූ සාගල රත්නායක මහතා වැඩිදුරටත් කීවේ අනාගත පරපුර නිරෝගී පරපුරක් ලෙස ගොඩනැගීම අත්‍යවශ්‍ය වන බවත් පෝෂණය යනු කුසගින්න නිවා දැමීම පමණක් නොව රටේ අනාගතය හැඩගැස්වීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබන සාධකයක් බවත් ය. මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා විවිධ පාර්ශ්ව වෙතින් ලැබෙන සහාය පිළිබඳ ස්තුතිය පළකළ ඒ මහතා විශේෂයෙන් බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් (Bill & Melinda Gates ) පදනම වෙතින් ලද සහයෝගය අගයන බව ද කීවේය.

පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට මෙතෙක් ක්‍රියාත්මක වූ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සිහිපත් කළ සාගල රත්නායක මහතා ලෝක ආහාර වැඩසටහනේ මැදිහත්වීමෙන් 2003 වර්ෂයේදී මෙම පෝෂණ වැඩසටහන සඳහා වූ මුලපිරීම සිදුකෙරුණු බව ද කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment