මන්ත්‍රී අමරකීර්ති සහ  ආරක්‍ෂකයා ඝාතනයට  නිට්ටඹුවේ දෙදෙනෙක්  අත්අඩංගුවට

355

ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියෙන් අනතුරුව ඉකුත් 09 වැනිදා දිවයින පුරා පැවති කළහකාරී තත්ත්වය තුළදී නිට්ටඹුව නගරයේදී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ගමන් ගත් මෝටර් රථය නිට්ටඹුව නගරයේදී නවතා නගරයට එක්ව සිටි ආණ්ඩු විරෝධී ජනතාව විසින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මන්ත්‍රීවරයා විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසින් මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කර තිබුණි.

වෙඩි තැබීමෙන් පසුව මන්ත්‍රීවරයා සිය ආරක්ෂකයා ද සමග මෝටර් රථයෙන් බැස ප්‍රසිද්ධ වෙළෙඳ සලක් වෙත දිව ගිය අවස්ථාවේ ඔවුන් පසුපස හඹා ගිය විරෝධතාකරුවන් එම වෙළෙඳ සලේ තුන්වන මහලේදී මෙලෙස මන්ත්‍රීවරයා සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම ඝාතනය සිදු වූ ස්ථානයේ වෙළෙඳ සලේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් සහ ලබාගත් සාක්ෂි මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාර්ගයෙන් අද (16දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහතාගේ උපදෙස් අනුව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

වේයන්ගොඩ – ඉන්දික තුෂාර
 

advertistmentadvertistment
advertistmentadvertistment