රාජාසන කතාව ගැන ෆොනීගෙන් රහසක්

2084

ජාතික වැදගත්කමක් සහිත විශේෂ සිද්ධීන් කීපයක්ම යෙදී තිබීම නිසා සුවිශේෂී සතියක් ලෙස පසුගිය දින කීපය ඉතිහාසයට එක් විය. ඉන් එක් කරුණක් වූයේ මේ රටේ 76 වැනි ජාතික නිදහස් දිනය මේ සතිය ආරම්භයේම යෙදී තිබීමයි. ඒ හැරුණු විට අනෙක් වැදගත් කාරණාව වූයේ පසුගිය ජනවාරි 26 වැනිදා වාරාවසාන කරන ලද පාර්ලිමේන්තු සැසිය යළි පෙබරවාරි 7 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යළි පටන් ගැනීමයි. එම කාරණා දෙක පසුබිමේ තිබියදී තවත් සුවිශේෂී සිදුවීම් රැසක්ම පසුගිය සතියේ සිදුව තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙවර අප රටේ 76 වන ජාතික නිදහස් සමරු දිනයට සහභාගි වන ලෙස තායිලන්ත අගමැතිවරයාට ආරාධනා කර තිබිණි. ආරාධනාව පිළිගන්නා විට නිරෝගීව සිටියත් අදාළ දිනය ආසන්න වන විට සෙම්ප්‍රතිෂ්‍යා තත්ත්වයෙන් පසුව තායිලන්ත අගමැතිවරයා ලංකාවට පැමිණියේ තරමක් අසීරුවෙනි. නිදහස් දිනයෙන් පසු දින කීපයක් ගත කරමින් ශ්‍රී ලංකාවේ ඇවිද සොබා සෞන්දර්යයෙන් අනූන සුවිශේෂී සංචාරක ප්‍රදේශවල සංචාරය කරන්නට කල් තියා සැලසුම් කර තිබුණත් හදිසි අසනීප තත්ත්වය නිසා ඔහුට එය අපහසු විය. නිදහස් දිනට පසු දින තායිලන්ත අගමැතිවරයා ගුවන්තොටුපළින් සමුගත්තේ ලංකාවේ ඇවිද බලන්නට නොහැකි වීම ගැන විදේශ ඇමැති අලි සබ්රිට තම කනගාටුව පළ කරමිනි.

මෙවර නිදහස් උත්සවය චාම් ලෙස පැවැත්වුණු එහෙත් ගරුගාම්භීර අභිමානවත් එකක් වූයේය. ජනතාව මේ සමයේ සිටින අසීරු ජීවන මට්ටම හා ඔවුන්ගේ නිදහස ගැන කවුරු කවර මොන තර්ක මතු කළත් දේශපාලනය මුසු ජාතික හැඟීමෙන් රට දෙස බලන බොහෝ දෙනා කීවේ වියදම් අවම කරගෙන වුවත් නිදහස් උත්සවය මේ මට්ටමෙන්වත් පැවැත්වීම රටේ අභිමානයට උත්තේජනයක් බවයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ බොහෝ තර්ක විතර්ක හා මතිමතාන්තර පසුගිය සතියේ සමාජයේ බහුලව දක්නට ලැබිණි.

දඹුල්ලේ වේදිකාවේ ගයන්තට හරසර…!

නිදහස් උත්සවයෙන් පසුව ජනපතිවරයාගේ අවධානය ඊළඟට යොමු වූ කාරණාව වූයේ ඉඩමක හෝ නිවසක හිමිකමක් නොමැති මේ රටේ පවුල් ලක්ෂ විස්සක් වෙනුවෙන් සින්නක්කර ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහන සාර්ථක කර ගැනීමයි. මේ වූ කලී රනිල් වික්‍රමසිංහ මහතාගේ සිතේ කලක පටන් අතු ඉති ලමින් වර්ධනය වෙමින් පැවැති සම්මා සංකල්පයකි. එය යථාර්ථයක් කර ගැනීමේ අවස්ථාව උදාවිය. “උරුමය” යනුවෙන් නම්කර තිබූ මෙම වැඩසටහනේ සමාරම්භක උළෙල රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.

උත්සවය සඳහා පැමිණි ජනාධිපතිවරයා දඹුල්ලේදී පිළිගනු ලැබුවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමැතිවරයා හා දඹුල්ල එක්සත් ජාතික පක්ෂ සංවිධායක ප්‍රියාන් විජේරත්න විසිනි. ජනාධිපතිවරයා සමගම ටිරාන් අලස්, සාගල රත්නායක, සමන් ඒකනායක හා වජිර අබේවර්ධන ද පැමිණ සිටියහ.

උත්සවයට පෙර ජනාධිපතිවරයා ඇතුළු පිරිස තේ පානය සඳහා ගොවිපළකට පැමිණියහ. එම ගොවිපොළ දිනුක් කොළඹගේ නම් එජාප පාක්ෂිකයකුට අයත් වූ අතර ඔහු එහි අනර්ඝ තේ මේසයක් සූදානම් කර තිබිණි.

තේ පානය කිරීමෙන් අනතුරුව පිරිස සුවසේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳ සතුටු සාමීචියක නිරතව සිටියේය. එක් රසවත් මාතෘකාවක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ ඉන්දියානු සංචාරයයි. ඒ කතා බස් අතරේ සාගල රත්නායක තමා අතවූ සෙලියුලරයේ වූ එක්තරා පින්තූරයක් ගෙන ජනාධිපතිවරයාට පෙන්වමින් මෙසේ කීවේය…

“මේ ඉන්නේ ඉන්දියාවේ අපේ තානාපතිනි ක්ෂණිකා. එක පාරක් නාමල් එක්ක මෙතුමිය ඩාන්ස් එකක් දාන පින්තූරයක් සමාජමාධ්‍යවල වෛරල් වුණා. දැන් මේ දවස්වල වෛරල් වෙලා තියෙන්නේ එතුමිය අනුර කුමාරත් එක්ක ඉන්න මෙන්න මේ පින්තූරය…” කෝ බලන්න කියමින් කීපදෙනෙක්ම එම පින්තූරය බලමින් සිටියහ.

“ඒක නෙමේ ජනාධිපතිතුමා අනුරලත් කාලෙකට ඉන්දියාවට දැඩි සේ විරුද්ධ දේශපාලන ස්ථාවරයක හිටියා. ඒත් දැන් මේ හිටි හැටියෙම එයා ඉන්දියාවට ගිහින්. ඔබතුමා මොකද හිතන්නේ එයාගේ මේ ගමන ගැන…” අලස් ලොකු කතාබහක් ආරම්භ කළේ එසේය.

“ඒවා ඒ තරම් හිතන්න එපා. ඒවා තමයි නව දේශපාලන ප්‍රවණතා. කොහොමටත් මැතිවරණයක් ළං වෙනකොට ඉන්දියාව ඒ වගේ දේවල් කරනවා. අපි ඒ ගැන කලබල වෙන්න නරකයි. හැබැයි ඉතින් ඒ ගැන දැන් මේ දවස්වල කලබල වෙලා ඉන්නේ නම් අනිත් ජනබලවේගය…” ජනාධිපතිවරයා එසේ කියන විට ඒ කියන්නේ කා ගැන දැයි සියල්ලෝම පාහේ තේරුම් ගෙන සිනාසෙන්නට වූහ.

“ගුජරාටය කියන්නෙම නව ලිබරල් ධනේශ්වර ක්‍රමයක් සහිතව පවත්වාගෙන යන ප්‍රාන්තයක්. අනුරලා ඉස්සර මේවට විරුද්ධව මොනවද නොකිව්වේ? දැන් ඉතින් එයාලට ඉන්දියානු ව්‍යාප්තවාදය කියන එකත් පන්ති පහෙන් අයින් කරන්න වෙනවා..” වජිර අබේවර්ධන පෙන්වා දුන්නේය.

තේ පානෙයෙන් පසු පිරිස ක්‍රීඩාංගණයේ උත්සව සභාවට එන විට අගමැති දිනේෂ් සහ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙක් වූ ගයන්ත ද උත්සවයට පැමිණ සිටියහ. උත්සව සභාවේදී ජනාධිපතිවරයා ගයන්තට විශේෂ ස්තුතියක් කළේය. ඒ පහුගිය ආණ්ඩු සමයක ගයන්ත කරුණාතිලක ඉඩම් ඇමැතිවරයකු ලෙස සිටිමින් ජනතාවට සින්නක්කර ඔප්පු ලබාදීමේ කටයුත්තට දක්වන ලද පුරෝගාමී මෙහෙවර නිසාය.

මේ සඳහා හිටපු ඉඩම් ඇමැතිවරයකු වූ එස්.එම්. චන්ද්‍රසේන ද සහභාගි විය. එහෙත් උත්සවයේ ප්‍රධාන වේදිකාවේ එස්. එම්. නොමැති විය.

“සර්.. එස්. එම්. ඇමැතිතුමා පහළ ඉන්නවා. එතුමාට වේදිකාවට එන්න කියල නැහැ” ඇමැති ප්‍රසන්න ජනාධිපතිවරයාට කීය. ඒ අනුව ජනාධිපතිවරයා එස්.එම්.ව වහාම වේදිකාවට කැඳවීය.

ගොවි ජනපදවාසී ජනතාවට සින්නක්කර ඔප්පු ලැබීමෙන් සිදුවූ මෙහෙවර සුළු පටු නොමැති බව බොහෝ දෙනකුගේ අදහස වූහ. ඔප්පු ප්‍රධානීන් පසුව ජනපතිවරයා අතින් දඹුලු ක්‍රීඩාංගණයේ විවෘත කිරීම් කිහිපයක්ද සිදුවිය. උත්සවය අවසන් වූයේ සංස්කෘතික සංදර්ශනයකින් අනතුරුවය.

ජනාධිපතිවරයා උත්සවය අවසානයේදී හරින් අමතමින්… දිවයින පුරා යමින් ජනතාවට ඔප්පු ලබාදීමේ කටයුත්තට නිරතුරුව තමන්ට සහභාගි වන්නට නොහැකි බැවින් ඒ වැඩකටයුත්ත අඩුවක් නැතුව කරගෙන යන්නට උපදෙස් දුන්නේය.

උත්සවය අවසන් වීමෙන් පසුව සංචාරයට සහභාගි වූ බොහෝ දෙනෙක් එදින රාත්‍රියේ නවාතැන් ගැනීමට අනුරාධපුරය බලා පිටත්ව යෑම විශේෂත්වයක් වූහ. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එදින මධ්‍යම රාත්‍රියේ රුවන්මැලි සෑය හා ජයසිරි මහා බෝධිය වැඳපුදා ගන්නට ගොස් සිටිනවා දැකගත හැකි විය.

ගේන්න දුන්න බේත හදන්න දුන්නේ කවුද..?

කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම හා රිමාන්ඩ් බන්ධනාගාරගත වීම පසුගිය සතියේ දේශපාලන කරලියේ කතාබහට ලක්වූ තවත් වැදගත් සිදුවීමක් විය. කැබිනට් අමාත්‍ය ධුරය දරමින් සිටියදී මෙම ඉරණමට ගොදුරු වූ ලංකාවේ මුල්ම කැබිනට් ඇමැතිවරයා ලෙස කෙහෙළියගේ නම ඉතිහාසයට එක්විය. එම සිදුවීම් දාමය සිදුවූයේ මෙසේය.

ප්‍රමිතියකින් තොරව බාල ඖෂධ ලංකාවට ගෙන්නන්නට ඇමැතිවරයා හැටියට කෙහෙළිය ඖෂධ ව්‍යාපාරිකයන්ට අවස්ථාව සලසා දුන්නේ යැයි චෝදනාව ඔහුට තිබුණේ කලක පටන්ය. මෙවර පරීක්ෂණයට තුඩු දුන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලින් අඩංගු ඖෂධයකි. එම ඖෂධය පිළිබඳ රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී ඒ වෙනුවෙන් කට උත්තර දෙන්නට ඇමැතිවරයා සීඅයිඩියට කැඳවා තිබුණත් වෙනත් නඩු කටයුත්තකට උසාවි ගොස් සිටි නිසා ඔහුට ඒ සඳහා යෑමට නොහැකි විය. එහෙත් ඒ වෙනුවෙන් නීතිඥයකු මගින් ලිපියක් යවන්නට ඔහු කටයුතු කර තිබිණි.

ඉන් පසුව එම පරීක්ෂණය මාලිගාකන්ද උසාවියේ විභාගයට ලක්වන අවස්ථාවේ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කරන්නට සීඅයිඩියට නියමිත විය.

ඒ අනුව පහුගිය දෙවැනි දා උදේ සීඅයිඩියට ගිය කෙහෙළියගෙන් හවස හත පමණ වනතුරු ප්‍රකාශ සටහන් කරගෙන ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි. ඔහුව උසාවියට ඉදිරිපත් කෙරුණේ ඊට පහුවදාය. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම සඳහා ව්‍යාපාරිකයන්ට නීතිමය ඉඩකඩ සැලසෙන සේ අසද්භාවයෙන් යුතුව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඇමැතිවරයාට විරුද්ධව චෝදනා ගොනු විය. ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිජීවකය ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව ගෙන්වීම සඳහා අමාත්‍යාංශයෙන් අවසර ලබාදී තිබුණත් අදාළ ව්‍යාපාරිකයා එම ඖෂධය ප්‍රමිතියකින් තොරව රට තුළ නිෂ්පාදනය කර වෛද්‍ය සැපයීම් අංශයට ලබා දී ඇතැයි යන චෝදනාව බරපතළ විය. ව්‍යාපාරිකයා, වෛද්‍ය සැපයීම් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන්, ඖෂධ නියාමනය භාර අතිරේක ලේකම්වරු, අමාත්‍යාංශයේ ලේකම් ආදීහු හත් දෙනෙක් නඩුවේ විත්තිකරුවන් වූහ. ඇමැතිවරයා එම නඩුවේ අටවෙනි විත්තිකරු විය.

කෙසේ වෙතත් ඇමැතිවරයාට එරෙහිව ගොඩනැගී ඇති අසද්භාවයෙන් යුතුව කටයුතු කළේ යැයි කියන කාරණාව සම්බන්ධයෙන් ඇමැතිවරු අතරද ලොකු කතාබහක් ඇති විය.

“මෙහෙම ගියොත් ඉතින් කාටවත් මීට පස්සේ කැබිනට් පත්‍රිකාවක් දාගන්න බෑ… අසත්භාවයෙන් යුතුව කටයුතු කළේ යැයි කියලා චෝදනාවක් ආවොත්…” ඇමැති නිමල් සිරිපාල, ඇමැති කංචන, ඇමැති අමරවීර මේ ගැන කරුණු දැක්වූහ.

ඇමැති කෙහෙළිය ලබන පහළොස්වැනිදා වන තෙක් රිමාන්ඩ් භාරයේ තබා ගන්නට නියමිත විය. ඉන් පසු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයටත් එතනින් පසුව බන්ධනාගාර රෝහලටත් ඇතුළත් කෙරිණි.

කෙසේ වෙතත් අසාධ්‍ය රෝගීන්ට බාල ඖෂධ ලබාදීමට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කෙහෙළියට එරෙහිව බරපතල සටනක් පසුගිය දිනවල ගෙන ගියේ සමගි ජන බලවේගයයි. කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන එන දින රාත්‍රියේදී කොළඹ සහ කොළඹ අවට ප්‍රදේශවල දැවැන්ත පෝස්ටර් ව්‍යාපාරයක් හා උද්ඝෝෂණ ව්‍යාපාර සංවිධාන කරන්නට සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණි. කෙහෙළියට මෙසේ දඬුවම් ලබා දෙන්නට ස ජ බෙ විරෝධය ද ප්‍රබල හේතුවක් වන්නට ඇත.

ජනපතිගේ කතාව සජබයට එපාලු

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දේ පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය විවෘත කිරීමට පැමිණීමේ දී රටට දැනෙන විරෝධයක් පෑ යුතු යයි සමගි ජන බලවේගයේ යෝජනාවක් විය.

“ජනාධිපති කතා කරාට වැඩක් නෑ. මේ රටේ තියෙන සැබෑ ජනතා ප්‍රශ්නවලට එයාට උත්තරයක් නෑ. රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට සාධාරණයක් ඉටු කරන්න බැරිනං ජනාධිපතිගේ හිස් කතාවකට අපි ඇහුම්කන් දෙන්නේ මොකටද…” ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා යෝජනා කළේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේ ජනාධිපති පාර්ලිමේන්තුවට පැමිණ එකම ප්‍රකාශය විවිධ මුහුණුවරින් ඉදිරිපත් කරමින් රටේ ප්‍රශ්න යටපත් කරනු විනා ඒවාට විසඳුම් ඉදිරිපත් නොකරන බවයි. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ මේ තත්ත්වය මත ජනාධිපතිවරයාගේ විසඳුම් නැති කතාවට විරෝධය පළ කළ යුතු බවයි.

“එහෙම නම් අපි රාජාසන කතාව වෙලාවේදී ඒකට විරෝධය පාලා සභා ගැබින් නැගිටලා යමු…” විපක්ෂ නායක සජිත් යෝජනා කළේය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල තමා කාර්යාලයේ කාර්ය මණ්ඩලය මගින් එම තීරණය සෙසු මන්ත්‍රීවරුන් වෙත දැනුම් දෙන්නට කටයුතු කළේය.

කොපමණ දැනුම් දුන්නත් සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගම, රාජිත සේනාරත්න, කබීර් හෂීම් පමණක් නොව සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සරත් ෆොන්සේකා ද ජනාධිපතිගේ කතාව වෙලාවේ සභාගැබේ රැඳී සිටියේය. කෙසේ වෙතත් පසුගිය දිනවල ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සිටියේ තරමක් පශ්චාත්තාපයක ය. තමන්ගේ කැමැත්තකින් තොරව පක්ෂ නායකයා පහුගිය දිනවල රණවිරුවන් කීප දෙනෙක් පක්ෂයේ වැඩවලට සම්බන්ධ කර ගැනීම කෙරෙහි ඔහුගේ මනාපයක් තිබුණේ නැත. විශේෂයෙන්ම හිටපු හමුදාපතිවරයකු වූ දයා රත්නායක සම්බන්ධයෙන් ෆොන්සේකා තුළ දැඩි විරෝධයක් පැවතින. සජබේට ආ දයාලා කෙළවරක් නැත. ඊළඟට දයා සඳගිරි ද පැමිණ සිටියේය.

කොහොම වෙතත් ඉවක් බවක් නැතිව මෙසේ රණවිරුවන් ගෙන්වා ගැනීමේදී තමන්ගේ මතය ගැන නොවිමසීම ඔහුගේ නොසන්සුන්භාවයට හේතුවක් විය.’

රාජාසන කතාව ගැන ෆොනී කිව්ව රහසක්

පසුගිය 7 වැනි බදාදා නවවන පාර්ලිමේන්තුවේ පස්වන සැසිවාරය ආරම්භ විය. අනවශ්‍ය වියදම් හා අනවශ්‍ය ගෞරව සමාචාර පිළිගැනීම් කිසිවක් නොමැතිව මේ අවස්ථාව සූදානම් කරන්නයි ජනාධිපතිවරයා කල්තියා දැනුම් දී තිබිණ. එපමණක් නොව රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් පවත්වන තේ පැන් සංග්‍රහයේ වියදම තමන් පුද්ගලික වියදමින් දරන බව ජනාධිපතිවරයා අදාළ අංශය වෙත දැනුම් දී තිබිණ.

තේපැන් සංග්‍රහය රසබර කතාවලින් පිරී ගියේය… නායකයා ඉන්න එපා කියද්දී රාජිතලා, සරත් ෆොන්සේකා සභා ගැබේ රැඳී සිටීම ගැන අගමැති දිනේෂ් ජනාධිපතිගෙන් යමක් විමසා සිටියේය.

“තව ඉස්සරහටත් තව හොඳ හොඳ දේවල් වේවි. බලා ඉන්නකෝ… කියා රනිල් දිනේෂ්ට කියද්දි මහින්ද රාජපක්ෂ ද හයියෙන් හිනාවෙමින් කතාවට එකතු වීය.

මේ අතර අනුර කුමාරට ඉන්දියාවෙන් ලද ආරාධනය ගැන ද මෙහිදී කතාබහක් ඇති විය.

“සාමාන්‍යයෙන් ඔය චාන්ස් එක රටක විපක්ෂ නායකට තමයි ලැබෙන්නේ. හැබැයි මේ ඉන්න විපක්ෂ නායක කෙරෙහි ඉන්දියාවේ නායකයන් තුළ විශ්වාසයක් නැහැ කියන එක තමයි ඒ ආරාධනය අනුරට ලැබීමෙන් අපිට පේන්නේ…” රනිල් තර්කය ගොඩනගද්දී සමහරුන්ට එය මුලදී වැටහී ගියේ නැත.

ඒ අතරතුර සරත් ෆොන්සේකා පැමිණ ජනාධිපතිවරයා හා හෙමිහින් මොනවාදෝ කතා කරමින් සිට ආපසු ගියේය. සරත් ෆොන්සේකා කියුවේ මොනවාදැයි අසාගන්නට එතන සිටි ආණ්ඩුවේ මන්ත්‍රීවරු කීපදෙනෙක් උත්සාහ ගත්තත් ජනාධිපති රනිල් සිනාසුනා මිස වචනයක් ඒ ගැන නොකියන්නට වගබලා ගත්තේය.

නව සන්ධානයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුද එහි එක මේසයකට වී ආගිය තොරතුරු මෙන්ම වත්මන් දේශපාලන කරුණු කාරණා ගැනද කතාබහ කරමින් සිටියහ.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, පියංකර ජයරත්න, නිමල් ලන්සා ඇතුළු පිරිසක් ඒ අතර වූහ.

“අපේ නව සන්ධානය ගැන නම් හැමෝම කතාවෙනවා. හොඳ ප්‍රවණතාවක් තියනව ජනතාව අතර” ජෝන් පිරිස දෙස බලමින් කිවේය.

“ඔව් අපි මිනිස්සුන්ට ඇත්ත කියන්න ඕනා. බොරු කියල අවුරුදු ගණනක් මිනිස්සු රැවටුණා පුද්ගලයෝ දිනවන්න ගිහිල්ල” අලගියවන්න කීවේය.

“යහපාලන කාලේ ජේ.වී.පී. එක එක්ක සමීපව වැඩ කළා කියල ජනාධිපතිතුමා කිව්ව එක හොඳයි. ඇත්ත තත්වේ මිනිස්සු දැනගන්න ඕනනේ. මිනිස්සු හිතාගෙන ඉන්නේ මුන් හරිම සුදු චරිත කියල” ලන්සා විස්තර කළේය.

“ඔව් ඒකනම් ඇත්ත… මේ ළඟදි හම්බන්තොට ගිහිල්ලත් බොරු කයිවාරු ගොඩක් කියල තිබුණා. තිබ්බ එකම ප්‍රාදේශීය සභාවේ වැඩ කරපු හැටි අපිනේ දන්නේ?” අමරවීර සිනාසෙමින් කිවේය.

“කොළඹ වැඩෙත් යනවා නේද?” ඒ අසලට පැමිණි පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ලන්සා දෙස බලමින් කීවේය.

“ඔව් ඔව් වැඩේ යනවා, මෙච්චර කල් මාලිමාව තනියම පිට්ටනියේ සෙල්ලන් කරපු නිසා ඒ අයගේ සෙනඟ විතරයි පෙනුණේ. දැන් ඒ පිට්ටනියේම අපි සෙල්ලන් කරනකොට මාලිමාවේ සෙනග අඩුයි වගේ පේනවා” ලන්සා සිනාසෙමින් කිවේය.

රාජිතට කුමාරට ෆොනීට වැඩ වරදින ලකුණු…!

පෙර සාකච්ඡා කරපු අන්දමට සමගි ජනබලවේගයයේ මන්ත්‍රීවරු සභාගැබෙන් ඉවත් වුවද ෆොන්සේකා, රාජිත ඇතුළු මන්ත්‍රිවරු කිහිපදෙනෙකු සභා ගැබේ රැඳී සිටීම ගැන සජබයේ ලොකු කතාබහක් ඇතිවිය.

මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමාට කීවේ පක්ෂ තීරණයට පටහැනිව කටයුතු කළ පිරිස වෙනුවෙන් ඊළඟ විවාදයේදී යම් දැඩි පියවරක් ගත යුතු බවයි.

සමහරුන්ගේ අදහස වුණේ පක්ෂයක් ලෙස බහුතර තීරණයක් ගත්විට ඊට එකඟව කටයුතු කිරීම වැදගත් බවයි. ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කීවේ පෞද්ගලික මත සාමූහික තීන්දුවලදි ක්‍රියාත්මක කිරීම නොකළ යුතු දෙයක් බවකි. ඒ අනුව පක්ෂයේ තීරණයට එකඟ නොවූ මන්ත්‍රීවරුන්ට විවාදයේදී කාලය වෙන් නොකරන්නට සජබය තීන්දු කළේය.

මේ සාකච්ඡාව අතරතුර හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා ඔන්ලයින් පනත සම්මත කර ගැනීමේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ නොසලකා හැරීම ඉතා බරපතල වරදක් බව පෙන්වා දුන්නේය.

ඒ ගැන පාර්ලිමේන්තුවේදී මතු කිරීම සිදුකළ යුතු බව නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කීවේය. ඒ ගැන බ්‍රහස්පතින්දා විපක්ෂ නායකතුමා සහ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අධිකරණ ඇමැතිවරයාගෙන් විමසීමට තීරණය විය.

“මේ පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලිස් ඇමැතිවරයාට පැවැරීම පැහැදිලිවම මර්දනයේ හස්තය ආණ්ඩුවේ අවියක් බවට පත් කර ගැනීමේ පූර්වාදර්ශයක්.

හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කීවේය.

“හරි නම් මෙම පනත ක්‍රියාත්මක කළ යුත්තේ ජනමාධ්‍ය ඇමැතිවරයා. එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.

අනතුරුව මන්ත්‍රීවරු අනුර කුමාර දිසානායකගේ ඉන්දියානු සංචාර ගැන කතා කළහ. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේ ඉන්දියාවට එරෙහිව ඉන්දියානු ව්‍යාප්තවාදය උඩරට සෝදාපාලුව නම් පළමු ජනතා විමුක්ති පෙරමුණේ පළමු පන්තිය පැවැත්වූවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර බවයි. ඉන්දියානු විරෝධය 88-89 කාලයේ ඉන්දියානු භාණ්ඩ වර්ජනය දක්වා ක්‍රියාත්මක කළ දේශප්‍රේමීන් යැයි කියාගත් පිරිසක් මොනරාගල උක්වගාවක් සඳහා පැමිණි ඉන්දියානු ආයෝජකයන් තිදෙනෙක් ද මරා දැමූ බව මහ ලේකම් රංජිත් පෙන්වා දුන්නේය.

“ඉන්දියානු විරෝධය නිසා පළාත් සභා වර්ජනය කළ ජනතා විමුක්ති පෙරමුණ පළාත් සභාවලට තරග කළා පමණක් නොවෙයි, පළාත් සභා නොපවත්වන්නේ මන්දැයි කියලත් විමසනවා.”

කාවින්ද ජයවර්ධන කීවේය.

“එදා ඉන්දියානු විරෝධය මුවාවෙන් භික්ෂූන් වහන්සේලා, ආගමික පූජකවරු, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, දේශපාලන ක්‍රියාකාරීන් පමණක් නොව ඔවුන් සමග කටයුතු කළ ඔවුන්ගෙන් ඉවත් වූ ස්වාධීන ශිෂ්‍ය සංගමයේ දයා පතිරණ පවා ඝාතනය කළා. රෝහිණි කවිරත්න කීවාය.

“මෑත කාලයේදී ලංකාවේ සිදුකළ ඉන්දියානු ආයෝජන, ඉන්දු ශ්‍රී ලංකා වෙළෙඳ ගිවිසුමට එරෙහි උද්ඝෝෂණ වැඩවර්ජන මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඉන්දියාවට කැඳවීම තුළ තිබෙන දේශපාලනය තේරුම්ගත යුතුයි…” ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේය.

“අනුර ඉන්දියාවට ඇන්දුවාද – ඉන්දියාව අනුරව ඇන්දුවාද දන්නෑ. මට නම් පේන්නේ රනිල් අදානිට අම්බානිට ලංකාව තුළ නිදහසේ කටයුතු කරන්න ඉඩ දෙන්න ඉන්දියාව ලවා අනුරට පාඩමක් කියලා දෙන්නට රනිල් වික්‍රමසිංහ දැමූ ඩිල් එකක් මේක…” මහා හඬින් සිනාසෙමින් කීවේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රිවරයාය.

“හරි හරි… අපි කලබල නොවී අපි අපේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමු. ඉදිරියේදී දේශපාලන ඩීල්කාරයින්ගේ ඩීල් අපට දැකගන්න ලැබේවි විපක්ෂ නායක සජිත් කීවේය.

බාප්පගෙයි දුවගෙයි නැටුමක් ගිය දුරක්

ඇමැති ප්‍රසන්න රණතුංග සුරූපී තරුණියක සමඟ නර්තනයේ යෙදෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ඒ මේ අත සැරිසරන්නට විය. සමහරුන්ගේ අවශ්‍යතාව ප්‍රසන්නට මඩ ගහන්නට වුවද එයට ධනාත්මකව ඉහළ ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තේය. ඉකුත් සතියේදී පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරුන් ද මේ ගැන තැන තැන කසුකුසු ගාන්නටද පටන්ගෙන තිබිණි.

“ඔන්න එනව ප්‍රසන්න ඇමැතිතුමා. අපි එයාගෙන්ම අහමු මොකක්ද මේ කියලා…”

“සර්… නැටුම ලස්සනයි” මන්ත්‍රී සහන් ප්‍රදීප් කීය.

“ඒක තමයි. සර් අපේ පාටිවලට ඇවිල්ල නටන්නෙ නෝන එක්ක. හැබැයි මෙතන ඉන්නෙ වෙන කවුද? කවුද සර් ඒ ලස්සන කෙල්ල.” කෝකිලා හර්ෂනී කීවේ සිය දුරකථනයෙන් නැටුම බලන ගමන්මය.

“සර්… මෙහෙම ලස්සන ගෑනු ළමයි එක්ක නටනකොට අපි පවුනේ සර්. අපිට අපි ගැනම දුක හිතෙනවා” තවත් මන්ත්‍රීවරයකු කී කතාවට ඇමැති ප්‍රසන්නට ද සිනා පහළ විය.

“ඔය නිශාන්ත අයියගේ දුව. සෙනුරි” ඇමැති ප්‍රසන්න කීය.

“බොරු කියන්නෙපා සර්” කෝකිලා යළි කීය.

“ඕක වීරවිල හිල්ටන් එකේ තිබුණු වෙඩින් එකක දී ගත්ත වීඩියෝ එකක්. වෙඩින් එක හිල්ටන් එක අයිති කෙනාගේ පුතාගේ. දැන් මාසෙකට වැඩියි. නිශාන්ත අයියගේ දුව එයාගේ ඉන්ස්ට්‍රග්‍රෑම් එකේ දාල තිබුණා. අර මෝඩ මඩ බලකාය ඕක එයාලාගේ පේජස්වල ගහල වයිරල් කළේ ඒ ඉන්ස්ටග්‍රෑම් එකෙන් අරන්.” ඇමැතිවරයා පැහැදිලි කළේය.

“එයාලා ඔය වගේ වැඩ තමයි කරන්නෙ. අනුන්ට මඩ ගහන්න ට්‍රයි කරන එක එයාලගේ සතුට” සහන් කීය.

“හරියට හරි… අපේ පවුලෙ අය හමුවුණාම කාල බීලා සතුටු වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඔය අකුරු තුනේ පක්ෂෙ එව්වොන්ට පවුල් ජීවිතයක් නැතිවුණාට මම මොකක් කරන්න ද? මේ වීඩියෝව දාලා ඒ අය බැලුවේ මට මඩක් ගහන්න. පවුලේ හිතවතෙක්ගේ මඟුල් ගෙදරක දී බාප්පාටයි, දුවටයි නටන්න බැරි ද?” ඇමැතිවරයා යළි කීය.

දසබල සේනා පුලතිසිපුර ගිහින්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආරම්භ කළ සද් ජන රළ වැඩසටහනේ සමාරම්භක උත්සවය පොලොන්නරුව කේන්ද්‍ර කර

ගනිමින් ගිරිතලේ ඩියර් පාක් හෝටලයේ පැවැත්විනි. මෙහි දසබල සේනා යටතේ ප්‍රාදේශීය නායකයින්ගේ හමුවක් ද සංවිධානය කර තිබිණි. මේ සඳහා නාමල් රාජපක්ෂ, සිරිපාල ගම්ලත්, ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, සාගර කාරියවසම්, තිස්සකුට්ටි ආරච්චි, තේනුක විදානගමගේ, ජගත් සමරවික්‍රම ඇතුළු බොහෝ මැති ඇමැතිවරු සහභාගි වී සිටියහ.

තේ බොන අතරවාරයේ ඔවුන්ගේත් මාතෘකාව වූයේ අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරය ගැනය.

“ඇත්තටම ජවිපෙ පන්ති පහේ කතා කරපු එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. දැන් ඉතින් එහෙම එකක් ජවිපෙට නෑ වගේ” නාමල් කීවේ සිනාසෙමින්ය.

“මටනම් ආරංචිය ජයශංකර් මහත්තයා අනුරට ඉන්දියන් ව්‍යාප්තවාදය ගැන පන්තියක් කළා කියලා. මෙසේ මන්ත්‍රීවරයෙක් විහිළුවට කී කතාවට සියල්ලන්ටම සිනහව නවතාගත නොහැකි විය.

“ඉන්දියන් ව්‍යාප්තවාදය විතරක් නෙවෙයි. පහුගිය කාලෙ කීයක් නම් ඉන්දියන් ආයෝජන ජනතා විමුක්ති පෙරමුණ නිසා නැති වුණාද” නාමල් පැවසීය.

“ඔව් ඉතින් සාම්පූර් බලාගාරය නැති වුණෙත් ඒගොල්ලන්ගේ වැඩ නිසානෙ මෙහෙම කිවුවේ ඩී.වී. චානකය.

“ඔව් අදානිට එරෙහිව කොච්චර කතා කළාද දැන් ගිහින් ඇවිත් අදානි සහෝදරයා හොඳයි කියයි. සාගර කාරියවසම් පැවසීය.

“හැබැයි අපේ මිතුරෙක් ඉන්දියාව කියන්නෙ. ඉතින් ඉන්දියන් ආයෝජනවලට ආයෙ බාල්දි දාන එකක් නෑ. මෙසේ කීවේ නාමල් රාජපක්ෂය. මොනදේ උනත් අපට අමාරු වෙලාවල්වල උදව් කළේ ඉන්දියාව කියන එකත් අමතක කරන්න හොඳ නෑ නාමල් තවදුරටත් පැවසීය.

“කොහොම හරි අන්තිමට පන්ති පහත් වෙනස් උනා එහෙනම්…” තේනුක විදානගේ පැවසීය.

“ඔව් අපි හිතමු ඉදිරියේ ඉන්දියන් ආයෝජනවලට ජවිපෙ විරුද්ධව නොවේවා කියා නාමල් කතාව අවසන් කළේය.

ඉන් අන්තුරුව නාමල් කෙළින්ම ගියේ පසුගිය අරගල කාලයේදී මියගිය අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ නිවසටය. එහිදී අමරකීර්ති අතුකෝරල මහතාගේ පවුලේ අය සහ නෑදෑයින් සමග වත්මන් තත්ත්වය පිළිබඳ කතාකොට ඔවුන්ගේ සුවදුක් විමසීමට ද නාමල් අමතක නොකළේය. ඉන් අනතුරුව ගල්විහාරය වැඳපුදාගත් නාමල් දිඹුලාගලට පැමිණියේය. මෙහිදී දිඹුලාගල පන්සලේ විදුලි බිල ගෙවීමට උපකාර කිරීමට ද නාමල් පොරොන්දු විය.

බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment