ඩොලර් රට පුරා…ආයෙත් රුපියලට හෙනහුරා

18605

● රුපියලේ පිරිහීම

ඇමෙරිකානු ඩොලරය සහ ශ්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය බොහෝ කලක් රු. 203 ක ස්ථාවර අගයක පවත්වා ගැනීමෙන් පසු අපේ විදේශ සංචිත හොඳටම හිඳී ගොස්, ගිය වසරේ (2023) අප්‍රේල් මස මුල දී රුපියල පාවීමට ඉඩ හැරි බව අපට මතකය. ඉන්පසු එය නූල කැඩුණු සරුංගලයක් මෙන් පාවී ගොස් ඩොලරයක අගය රු. 380 ක් පමණ දක්වා ඉහළ ගිය බවත් ඒ නිසා ඇති වූ අහිතකර ආර්ථික ප්‍රතිවිපාකත් අපට අමතක නැත. තෙල් මිල, ගෑස් මිල කිහිප විටක් වැඩි වී සමස්ත බඩු මිල විශාල ලෙස වැඩි වීමට මේ තත්ත්වය හේතු විය. කෙසේ හෝ මහා බැංකු අධිපති ධුරයට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පත් වීමෙන් පසු රුපියල කිසියම් දුරකට ස්ථාවර කර ගැනීමට සමත් විය. ඉන්පසු රුපියල ක්‍රමයෙන් ශක්තිමත් වීම ද සිදු විය. ඒ අනුව ගිය වසරේ (2022) ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල හොඳටම පිරිහී මේ වසරේ (2023) මැයි අග දක්වා කාලයේ දී නැවත රුපියල සියයට 20 කින් පමණ සැලකිය යුතු ලෙස ශක්තිමත් විය. එසේ ශක්තිමත් වී ගිය සතියට පෙර සතියේ දී ඇමෙරිකානු ඩොලරයක අගය රු. 300 ටත් වඩා අඩු විය. මේ ගැන බොහෝ දෙනෙක් සතුටට පත් වූ අතර බොහෝ දෙනෙක් ප්‍රශ්න කළේ රුපියල ශක්තිමත් වුවත් ඊට සාපේක්ෂව බඩු මිල අඩු නොවන්නේ මන් ද යන්නයි.

ඩොලර් රට පුරා…ආයෙත් රුපියලට හෙනහුරා

මේ අනුව පසුගිය සතියේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නැවත බලවත් ලෙස පිරිහීමකට ලක් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඉකුත් ජුනි 15 වැනිදා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 311.60 ක් සහ විකුණුම් මිල රු. 328.92 ක් ලෙසින් වාර්තාගත ලෙස ඉහළ ගියේය. එනම් ඊට පෙර දිනයේ එනම් ජුනි 14 දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 303.19 ක් හා විකුණුම් මිල රු. 318.99 ක් විය. මේ අනුව ජුනි 15 වැනිදා ඇමෙරිකානු ඩොලරය රු. 9.93 කින් ශක්තිමත් වී ඇත. එසේම ඇමෙරිකානු ඩොලරයක ගැනුම් අගය ජුනි 14 දා වාර්තා වූ රු. 303.19 සිට ජුනි 15 දිනයේදී රු. 311.60 දක්වා ඉහළ ගොස් ඇත. එසේම ඊට පෙර දින එනම් ජුනි 14 වැනිදා ද ඊට පෙර දිනයට (13) දිනයට සාපේක්ෂව රුපියල බලවත් ලෙස දුර්වල විය. වාණිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම විනිමය අනුපාත අගයන්ට අනුව ජුනි 15 වැනිදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල බොහෝ බැංකුවල රු. 330 ක් පමණ දක්වා විශාල ලෙස ඉහළ ගියේය. එක් රාජ්‍ය බැංකුවක ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 335 ක් දක්වාද ඉහළ ගොස් තිබුණි. මෙසේ ශ්‍රී ලංකා රුපියල පිරිහී ඇමෙරිකානු ඩොලරයේ අගය දිගින් දිගටම යළි ඉහළ ගියහොත් එහි අහිතකර ප්‍රතිවිපාකවලට යළි අපට මුහුණදීමට ද සිදුවනු ඇත.

● තාවකාලික තත්ත්වයක්

රු. 300 ටත් වඩා අඩු මට්ටමකට පහත වැටී තිබූ තිබූ ඇමෙරිකානු ඩොලරයේ අගය ගිය සතියේ දින කිහිපයක් තුළ නැවත රු. 330 ක් පමණ දක්වා නැවත වැඩි වූයේ ඇයි? සාමාන්‍යයෙන් ඩොලරයේ අගය තීරණය වන්නේ දෛනිකව දේශීය විදේශීය වෙළෙඳපොලේ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම අනුවය. මේ අනුව සැපයුමේ වෙනසක් නැතුව ඩොලරයේ ඉල්ලුම වැඩි වූ විට එම තත්ත්වය ඩොලරයේ අගය වැඩි වීමට හේතු වේ. එසේ නම් ගිය සතියේ ඩොලරයේ ඉල්ලුම වැඩි වීමට හේතු වූ කරුණ කුමක් ද? එනම් ගිය සතියට පෙර සතියේ එනම් ජුනි 09 දින ආනයන පාලනයේ ලිහිල් කිරීමක් සිදු කරන ලදී. මේ අනුව ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකන් අපට ප්‍රකාශ කළේ භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා පසුගිය සතියේ ඉවත් කළ නිසා ඇමරිකානු ඩොලරයට තිබූ ඉල්ලුම සැලකිය යුතු ලෙස ඉහළ යෑම මේ දිනවල ඩොලරය ශක්තිමත් වීමට ප්‍රධාන හේතුව බවයි.

ඉකුත් ජුනි 09 දින සිට බලපැවැත්වෙන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් භාණ්ඩ 286 ක ආනයන සීමා ලිහිල් කළ අතර මේ නිසා එම භාණ්ඩ ආනයනය සඳහා කෙටි කාලයක් තුළ ඉහළ ඉල්ලුමක් ඇති වූ බවට අනුමාන කළ හැකිය. මෙසේ එම භාණ්ඩවල ආනයන පාලනය ලිහිල් කිරීම මෙන්ම ඇමරිකානු ඩොලරය තවදුරටත් ඉහළ යනු ඇති බවට ඇතිවූ අපේක්ෂාද මේ තත්ත්වයට හේතු වන්නට ඇති බව ද එම විශ්ලේෂකයෝ පෙන්වා දෙති. දිගු කලක් ආනයන පාලනයකට යටත් කර තිබූ භාණ්ඩවල ආනයන පාලනය සෑහෙන කලකට පසු ඉවත් කිරීමෙන් එම භාණ්ඩ සඳහා ඇති ආනයන ඉල්ලුම ක්ෂණිකව ඉහළ යෑමට වැඩි ඉඩකඩක් ඇති බවත් එය සාමාන්‍ය දෙයක් බවත් ඔවුහු සඳහන් කරති. කවරක් නමුත් රුපියලට සාපේක්ෂව ඩොලරය දිනපතා ඉහළ යන මේ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ සමනය වී ස්ථාවර වනු ඇති බව ද එම ආර්ථික මූල්‍ය විශ්ලේෂකයෝ තවදුරටත් පවසති. මෙසේ ඩොලරයේ අගය දින කිහිපයකින් සැලකිය යුතු ලෙස වැඩි වූ නිසා වෙනත් ආනයනකරුවන් එම විනිමය අනුපාතයේ හැසිරීම නිරීක්ෂණය කරමින් ආනයන ඉල්ලුම අඩු කිරීමට ද ඉඩ තිබේ. මේ තත්ත්වය ද විනිමය අනුපාතයේ මෙම හැසිරීම සමනය වීමට හේතුවනු ඇත. ඩොලරය ශක්තිමත් වී රුපියල පිරිහීමට බලපාන තවත් කරුණක් ගැන ද ආර්ථික හා මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකන් අපට පෙන්වා දුණි. එනම් පසුගිය කාලයේ භාණ්ඩාගාර බිල්පත් පොලිය විශාල වශයෙන් වැඩි වූ නිසා ඒවායේ ආයෝජනය කළ විදේශ ආයෝජකයන් මේ වන විට භාණ්ඩාගාර බිල්පත් පොලිය අඩු වීම හමුවේ එම මුදල් නැවත අපේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය නොකර අදාළ පොලිය රැගෙන ඉවත් වීමයි. මේ තත්ත්වය ද අපේ රුපියලේ අගය පිරිහීමේ තත්ත්වයට බලපෑමක් ඇති කර ඇති බව අපට සිතිය හැකිය.

● රුපියලට කුමක් වෙයි ද ?

බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නයක් වන්නේ ඉදිරි දිනවල රුපියල මොනවා වෙයි ද යන්නයි. ඇත්ත වශයෙන්ම විනිමය අනුපාතයේ හැසිරීම ගැන කිසිවෙකුටත් හරියට පුරෝකථනය කළ නොහැකිය. එය තීරණය වන්නේ දෛනිකව දේශීය විදේශීය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුම අනුවය. මේ තත්ත්වයට මහ බැංකුවට ද විදේශ විනිමය විකිණීම සහ මිල දී ගැනීම හරහා මැදිහත් විය හැකිය. පසුගිය කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශීය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් විශාල වශයෙන් මිල දී ගෙන විදේශ සංචිත තත්ත්වය ශක්තිමත් කරගෙන තිබේ. ඒ තත්ත්වය පසුගිය කාලයේ රුපියල අධික ලෙස ශක්තිමත් වීම ද කිසියම් දුරකට පාලනය වීමට හේතුවක් විය. මේ නිසා ඉදිරි කාලයේ රුපියල තවත් පිරිහෙයි ද සහ ඩොලරය තවත් ශක්තිමත් වෙයි ද යන්න නිශ්චිතව කිව හැකි දෙයක් නොවේ. ඒ සඳහා බලපානු ඇත්තේ දෛනිකව දේශීය විදේශීය වෙළෙඳපොළේ ඇමෙරිකානු ඩොලරයට ඇති ඉල්ලුම හා සැපයුමයි. කෙසේ වෙතත් ඉදිරියේ දී තවත් ආනයන පාලනය කළ භාණ්ඩ ආනයනය කිරීමට ඉඩ ලබා දුන්නොත්, එම නිසා එම භාණ්ඩ ආනයනය කිරීම සඳහා විදේශ විනිමය ඉල්ලුමක් අලුතින් ජනිත වෙයි. එම තත්ත්වය අපේ විනිමය අනුපාතයට බලපෑම හරහා රුපියල පිරිහීමේ ඉඩ කඩක් තිබේ. එහෙත් අපේ ඩොලර් සැපයුම වැඩි වුවහොත් එනම් රටට ගලාගෙන එන ඩොලර් ආදායම් වල වැඩි වීමක් වුවහොත් මේ තත්ත්වය අපට පාලනය කරගත හැකි වේ. විදේශ විනිමය ප්‍රේෂණ, සංචාරක ඉපයුම් සහ අපනයන හරහා අප වැඩි ආදායමක් උපයා ගැනීමට ඉදිරි කාලයේ දී සමත් වන්නේ නම් එම තත්ත්වය රුපියල පිරිහීමේ තත්ත්වය සමනය කර ගැනීමට හේතුවනු ඇත.

කෙසේ වෙතත් විනිමය අනුපාත අස්ථාවරත්වය එතරම් සුදුසු නැත. මෙසේ විශාල ලෙස විනිමය අනුපාතය කෙටි කාලයක් තුළ වෙනස් වීම එතරම් සුදුසු නැත. ඒ තුළින් විනිමය අනුපාත ස්ථාවරත්වයට බාධා ඇති වේ. මේ නිසා වඩාත් සුදුසු වන්නේ විනිමය අනුපාතය ඉහළ සහ පහළ යෑම ක්‍රමානුකුලව සිදු වන්නේ නම්ය. එසේ නැතහොත් එය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු කෙරෙහි මෙන්ම විදෙස් ආයෝජකයන් කෙරෙහි අහිතකර ලෙස බලපානු ලබයි. මේ නිසා අපට ඉදිරි සතියේ දී රුපියලට කුමක් වනු ඇති ද යන්න නිරීක්ෂණය කළ හැකිය. මහ බැංකුවට අවශ්‍ය නම් සිය සංචිතයේ ඇති ඩොලර් විකිණීම සහ මිලදී ගැනීම හරහා විනිමය අනුපාතය විශාල ලෙස වෙනස්වන තත්ත්වය පාලනය කිරීමේ හැකියාවක් ද තිබේ.

● ආර්ථික පසුබෑම

මේ වසරේ (2023) පළමුවන කාර්තුවේ ආර්ථික වර්ධනය පිළිබඳ දත්ත ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (15) නිකුත් කරන ලදී. ඒ අනුව මේ වසරේ (2023) පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 11.5 ක විශාල පසුබෑමක් වාර්තා කර ඇත. 2023 වර්ෂයේ පළමුවන කාර්තුව සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන පරිදි 2022 වසරේ පළමු පළමුවන කාර්තුවේ දී රු. මිලියන 3519400 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ (2023) පළමුවන කාර්තුවේ දී රු. මිලියන 3114187 ක් දක්වා පහත වැටී ඇත. මෙම ආර්ථික පසුබෑම නියෝජනය කරමින් 2023 පළමුවන කාර්තුවේ දී කෘෂිකාර්මික කටයුතු සියයට 0.8 ක සුළු වර්ධනයක් වාර්තා කර ඇති නමුත් කර්මාන්ත ආර්ථික කටයුතු සියයට 23.4 ක් සහ සේවා ආර්ථික කටයුතු සියයට 5.0 ක් වශයෙන් සැලකිය යුතු පසුබැසීම් වාර්තා කර ඇත.

● වාහන ආනයනයට ඉඩ දීම

වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් අයවැයෙන් අපේක්ෂා කරන ආදායමට ළඟාවීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බවට පසුගිය ද පාර්ලිමේන්තුවේ දී රැස් වූ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන් පවසා ඇත. මෙහිදී කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා ඇත්තේ වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගන්නා බවයි. එහෙත් අප නම් සිතන්නේ මෙය ඉතා කල්පනාවෙන් ක්‍රමානුකූලව ගත යුතු තීරණයක් බවයි.

පසුගිය දා රජය විසින් භාණ්ඩ ප්‍රමාණයක ආනයන පාලනය ලිහිල් කිරීමෙන් රුපියලට ඇති වූ බලපෑම දෙස බලන විට වාහන ආනයනයට ඉඩ දීම නම් දැන්ම ගත යුතු තීරණයක් ලෙස අපට සැලකිය හැකි එකක් නොවේ. තවම අප විදේශ ණය ගෙවීම් ද ආරම්භ කර නැත. තවත් භාණ්ඩ රැසක ආනයන පාලනයන් ද ක්‍රියාත්මක වේ. මේ නිසා වාහන ආනයනය සඳහා ඉඩ දීම සුදුසු වනු ඇත්තේ අනෙත් සියලු ආනයන පාලනයන් ක්‍රමානුකූලව ලිහිල් කිරීමෙන් පසුව පමණක් බව අපට සඳහන් කළ හැකිය.

මේ කාරක සභා රැස්වීමේ දී අවධානයට ලක්ව ඇති තවත් ප්‍රධාන කරුණු කිහිපයකි. එනම් කොපමණ මැණික් ප්‍රමාණයක් වුවද රේගුවෙන් නිදහස් කිරීමට අවශ්‍ය වන්නේ ඩොලර් 200 ක් පමණක් බව, රේගු නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ, බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්, ගුවන්තොටුපළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම සම්බන්ධයෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර සම්බන්ධතාව වැඩි කිරීම, වාහන ආනයනය නැවතීම ඇතුළු භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් හේතුවෙන් මෙම වසරේ (2023) අයවැයෙන් අපේක්ෂා කරන ආදායම ළඟා වීමට ශ්‍රී ලංකා රේගුවට නොහැකි බව යන කරුණුය. ශ්‍රී ලංකා රේගු නිලධාරීන් මේ බව පැවසුවේ රාජ්‍ය ආදායම වැඩිකරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජුනි 08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. මෙහිදී කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ මේ වසරේ අයවැයෙන් ශ්‍රී ලංකා රේගුවේ ආදායම ලෙස රුපියල් බිලියන 1226ක් බලාපෙරොත්තු වන බවත් මෙම මාස 5 තුළ තවමත් ලබාගෙන ඇත්තේ රුපියල් බිලියන 330 පමණක් බවත්ය. මේ නිසා මෙම අයවැයෙන් බලාපොරොත්තු වන ආදායමට ළඟාවීමේ ගැටලුවක් පවතින බව ද ඔහු සඳහන් කළේය. මේ අනුව කාරක සභාවට පැමිණ සිටි නිලධාරීන් පැවසුවේ වාහන ආනයනය ඇතුළු ආනයන සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළඟා විය නොහැකි බවයි. මේ තත්ත්වය යටතේ මෙම වසර (2023) තුළ ලබා ගතහැකි ආදායම ලෙස ඔවුන් පුරෝකථනය කරන්නේ රුපියල් බිලියන 783 ක ආදායමක් පමණක් බව ද මෙහිදී ප්‍රකාශ විණි. මේ පිළිබඳ මුදල් අමාත්‍යාංශයද දැනුවත් කොට ඇති බව එම නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

● රේගු බදු ආදායම

එසේම රේගුවෙට ලැබෙන ආදායමෙන් සියයට 20 ක් පමණ ලැබෙන්නේ වාහන ආනයනයේදී පනවන බදු නිසාවෙන් බවත් වාහන ආනයනය සම්බන්ධයෙන් ඇති සීමා පවතින තෙක් මෙම බලාපොරොත්තු වන ආදායමට ළඟාවිය නොහැකි බවත් ඔවුහු දත්ත සහිතව පෙන්වා දුන්හ. එසේම 2014 වර්ෂයේ සිට 2022 කාලසීමාව ආශ්‍රිතව වැඩිම බදු ආදායම් ලබාගෙන ඇත්තේ 2018 වර්ෂයේදී බවත් එම බදු මුදල රුපියල් බිලියන 923ක් බවත් මෙහිදී නිලධාරීහු පැවසූහ. මේ අනුව මෙම ආදායමෙන් රුපියල් බිලියන 194ක් ලැබී ඇත්තේ වාහන ආනයනයේදී පනවා ඇති බදු වලින් බවද මෙහිදී සඳහන් විය. මේ නිසා වසර 3 පමණ කාලසීමාවක සිට වාහන ආනයනය සීමාවී ඇති බැවින් රේගුවේ ආදායම අඩු වී ඇති බවත් මේ මස සිට වාහන ආනයනයට අවසර දෙන්නේ නම් ඉදිරි මාස 6 ඇතුළත රුපියල් බිලියන 150ක් වාහන ආනයනයේදී බදු ලෙස ලබාගත හැකි බවත් ඔවුහු පෙන්වා දී ඇත. මේ නිසා ණය ආධාර ක්‍රමයක් යටතේ (Credit line) වෙනත් රටක් සමග සම්බන්ධ වී වාහන ආනයනය කිරීමේ හැකියාව පිළිබඳවත් එය මෙරට පවතින විදේශ මුදල් විදෙස්ගත නොවී රේගු ආදායම වැඩි කරගැනීමට හොඳම ක්‍රමය බවත් රේගු නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත. විශේෂයෙන්ම රේගුවේ යෝජනා ඉටු වුවහොත් රුපියල් බිලියන 1100 පමණ ආදායමකට ළඟා විය හැකි බවද මෙහිදී රේගු නිලධාරීන් සඳහන් කර ඇත.

මේ අනුව කාරක සභාවේ සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳ දැනටමත් සාකච්ඡා ආරම්භ වී ඇති බැවින් වාහන ආනයනය සම්බන්ධයෙන් ආණ්ඩුව කඩිනම් තීරණයක් ගැනීමට කටයුතු කරන බවයි. එසේම මැණික් සහ රත්‍රන් ආනයනයේදී සහ අපනයනයේදී ලබාගන්නා බදු මුදල් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ 2012 වර්ෂයේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව කොපමණ මැණික් ප්‍රමාණයක් වුවද රේගුවෙන් නිදහස් කර ගැනීමට අයකළ හැක්කේ ඩොලර් 200 ක් පමණක් බවයි. මේ නිසා 2012 වර්ෂයට පෙර පැවති තක්සේරු මුදල මත බදු අයකරගැනීමේ ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙස නිලධාරීහු ඉල්ලා සිටියහ.

තවද රේගුව විසින් පනවන නඩුවක් අවසන් කිරීමට නිශ්චිත කාලසීමාවක් නොමැතිවීම පිළිබඳ අවධානය යොමු වූ අතර කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ අධිකරණ ඇමැතිවරයා සමග හැකි ඉක්මනින් සාකච්ඡා කොට මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරන බවයි. මෙහිදී අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය පර්යන්තයේ බහාලුම් 1200 ක් පමණ වසර කිහිපයක සිට රඳවා ඇති බවද සඳහන් විය. එසේම බහාලුම් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර මෙහිදී සඳහන් වූයේ ආනයනික භාණ්ඩ වලින් සියයට 60 පමණ පිටතට ගෙනයන්නේ ග්‍රීන් ඒරියා කොටසෙන් බවයි. මෙහිදී මේවා පරීක්ෂාවීමක් සිදු නොවන බවත් සීනි, පොහොර, හාල් වැනි දේ මෙසේ ගෙන්වන බවත් සඳහන් විය. නමුත් මෙහිදී මෙම භාණ්ඩ අතර සඟවමින් සිගරට්, මත් පැන් වැනි දේ ගෙන්වීම සිදු වන බවද නිලධාරීන් පෙන්වා දී ඇත.

ගුවන්තොටුපළ සේවයේ නියුතු රේගු නිලධාරීන් පරීක්ෂාවන්ට යටත් නොකිරීම නිසා විශාල වංචා සිදු වන බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය. මේ අනුව මේ පිළිබඳ පරීක්ෂා කර බලා රේගු නිලධාරීන් පරීක්ෂා කිරීමට අවසර ලබාදෙමින් නියෝගයක් නිකුත් කිරීමට රේගුව කටයුතු කරන බව නිලධාරීන් පැවසීය. තවද රේගුවේ ආදායම වැඩිකරගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව අතර සම්බන්ධතාව වැඩි කිරීමට තාක්ෂණික ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී රේගු නිලධාරීන් පෙන්වා දී ඇත. මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, අශෝක් අබේසිංහ, ගුණතිලක රාජපක්ෂ, නිපුන රණවක සහ සුදත් මංජු යන මහත්වරු සහභාගි වූහ. රේගු නිලධාරීන් සඳහන් කරන මේ යෝජනා ගැන රජය සලකා බැලීම සුදුසුය. එහෙත් රේගු බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා වාහන ආනයනයට ඉඩ දීමෙන් රටේ විදේශ විනිමය පිටතට ගලාගෙන ගොස් අපගේ විනිමය අනුපාතයට ඇතිවිය හැකි අහිතකර තත්ත්වය ගැන ද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඒ නිසා මේ සියලු වෙනස්කම් කළ යුතු වන්නේ දැනට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට හානියක් නොවන පරිදි බව නම් කිව යුතුමය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment