මාතර මහ රෝහලේ නව සීටී ස්කැනරය ප්‍රතිකාර සඳහා යොදා ගනී

171

මාතර මහ රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 200 ක පමණ වටිනාකමකින් යුතු CT Scanner යන්ත්‍රය ප්‍රතිකාර සේවාවන් සඳහා යොදාගැනීම, සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

අති නවීන තාක්ෂණයෙන් යුත් මෙම CT Scanner යන්ත්‍රය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලට ලබාදීමට පියවර ගෙන ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙසේ කීය.

සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වීමෙන් පසුව රෝහල් 40කට පමණ ගොස් ලබාදෙන ප්‍රතිකාර සේවාවන් නිරීක්ෂණය කළා. 2024 වසරේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ සුළු සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 35 ක් ලබා දුන්නා. තවත් රුපියල් මිලියන 20 ක මුදලක් රෝහලට ලබා දීමට කටයුතු කරනවා. මාතර රෝහලේ ඉදිරි කටයුතු සඳහා ලබන වසරේදී රුපියල් බිලියනයක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරනවා. මෙම ලබාදෙන මුදල්වලින් සිදුකරන සංවර්ධන කටයුතු නිතර අධීක්ෂණයට ලක්කරමින්, රෝහලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ වැනි භෞතික සම්පත් ද, විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද මානව සම්පත් හිඟයට ද කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මාතර මහ රෝහල අක්කර 08 ක භූමිභාගයක පිහිටා ඇති අතර ඇඳන් ධාරිතාව 851 කි. වාට්ටු හා රෝගී ඒකක 32කින් යුක්ත වේ.

මෙම නව CT Scan යන්ත්‍රය මගින් දිනකට CT Scan පරීක්ෂණ 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් සිදු කිරිමට අපේක්ෂා කරනු ලබන අතර, ඉදිරියේ දී එම සීමාව ඉක්මවා පරීක්ෂණ සිදු කිරිමට හැකියාව ලැබෙන අතර, එමගින් දැනට CT Scanner පරීක්ෂණ කටයුතු සඳහා වන පොරොත්තු ලේඛන අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත.

පැරණි CT Scanner යන්ත්‍රය වසර 17 ක් පමණ පරණ CT Scanner යන්ත්‍රයක් වන අතර, මඩකලපුව සහ අනුරාධපුර රෝහල්වල භාවිතයෙන් ඉවත් කරන ලද යන්ත්‍ර කොටස් උපයෝගි කරගෙන වසර දෙකක් වැනි කාලයක් තිස්සේ ඉතා අපහසුවෙන් පරීක්ෂණ සිදුකර තිබූ බව සඳහන් විය.

මෙම අවස්ථාවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ ඒ. ඩී. යූ. කරුණාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය) ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරු මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසක් සහභාගි වී සිටියහ.

සමන් උපුල් පිනිදිය, අතුරලිය – ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment