ආසියානු කුසලාන තරග බිම ගැන තීරණය තවත් කල් යයි

194

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පවත්වන්නේ කුමන රටකද හෝ කුමන රටවලද හෝ යන්න පිළිබඳව අවසන් තීරණය ප්‍රකාශයට පත් කිරීම තවත් දින දෙකකින් පමණ ඈතට ගොස් ඇතැයි වාර්තා වේ.

පෙරේදා පැවැත්වීමට නියමිතව තිබූ අයිපීඑල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අතර තුර ඒ පිළිබඳව අවසන් තීරණය දැනුම් දෙන බව ඉන්දීය ක්‍රිකට් ලේකම් ජේ. ශා. මහතා ප්‍රකාශ කර තිබුණි.

ඒ වෙනුවෙන් බංග්ලාදේශ, ශ්‍රී ලංකා සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නියෝජනය කරන නියෝජිතයන් ද පෙරේදා ඉන්දියාවට කැඳවා තිබුණි.

එහි දී අදාළ රටවල ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කළද ඒ පිළිබඳව අවසන් තීරණය තව දින දෙක තුනක් ඇතුළත ආසියානු ක්‍රිකට් කවුන්සිලය රැස් වී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් මේ වනවිට තරගාවලියේ ඉතිරි තරග පැවැත්වීමේ වැඩි අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි වී ඇති බව වාර්තා වේ.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පාකිස්තානයේ පැවැත්වීමට නියමිත වුවත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයේ තරග වැදීම ප්‍රතික්ෂේප කර ඇති තත්ත්වයක් මත තරගාවලිය පවත්වන්නේ කුමන රටකද යන්න පිළිබඳව විවිධ මතවාද පළ විය.

එහිදී පකිස්ථානය විසින් දෙමුහුන් තරග සැලැස්මක් එනම් තරග කීපයක් පකිස්තානයේ සහ තවත් තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ හෝ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට ද යෝජනා කර තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment