මත්ද්‍රව්‍ය බෝම්බය

861

පොල්ගහ යට වැටී තිබෙන කුරුම්බැට්ටි පහක් මෙන් ඉබ්බාගමුවේ පාසලක ගහක් යට වැටී සිටි සිසුන් සිව්දෙනකු අරභයා අද මේ කතාව කියනු ලැබේ. මේ සිසුන් සියලුම දෙනා ශිෂ්‍යත්ව පන්තියේ ඉගෙන ගන්නා අය වෙති. ඔවුන්ට සිහි නැති වුණේ මත්පෙති ගැසූ නිසාය. හොඳටම මත්වී සිහිනැතිව වාගේ ගස යට වැටී සිටි සිව් දෙනාගෙන් එක් දරුවකුගේ තත්ත්වය ඉතා බරපතළ වූ බැවින් ඔහු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කෙරිණ. සෙස්සන් මුලදී යාබද රම්බඩගල්ල රෝහලට ඇතුළත් කරන ලදුව වඩාත් අල වූ තත්ත්වයක සිටින බව පෙනුනු බැවින් වහාම කුරුණෑගල ශික්‍ෂණ රෝහලටම ගෙන එන ලදී. දරුවන් ගසන ලද්දේ කවර තරාතිරමක මත් පෙත්තක්ද යන්න සොයාගෙන නැත. සිද්ධියට පාත්‍ර වූ දරුවන් කියන පරිදි එම මත්පෙති ගසක් යට වැටී තිබියදී ඔවුන් විසින් අහුලාගෙන ගිල දමා ඇත. මෙය සම්පූර්ණ බොරුවකි. සාමාන්‍යයෙන් ගස්වල මත් පෙති හැදෙන්නේ නැත. එවැනි මත්පෙති හැදුනත් කුඩා දරුවන් බෙහෙත් බීමට මහත් සේ අකැමැති බැවින් එම මත්පෙති ගිලදමන්නේද නැත. මදුරාගොඩ පොලිසිය පවසන පරිදි සිද්ධියට බඳුන් වූ දරුවන් පස්දෙනාගෙන් එක් දරුවකුගේ පියා උපන්ගෙයි කුඩ්ඩෙකි. ළමයා මත්පෙති සොරා ගත්තේ ඔහු වෙතින් දැයි සැකයක් පවතී. මේ දවස්වල බාල තරුණ මහලු සියලු වැඩිදෙනා කුඩුවලට සහ වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. අප මේ කතා කරන්නේ අරක්කු සහ කසිප්පු අත්හැර දමාය. බොරැල්ලෙන් අත්අඩංගුවට ගත් බාල මහලු ඇන්ටිලා සහ අන්කල්ලා සහිත කුඩු නඩයක් මාංචු දමා උසාවි ගෙනියන හැටි අපි පෙරේදා රූපවාහිනියෙන් දුටුවෙමු. මේ නඩය දක්කාගෙන යන්නේ බොරැල්ල පොලිසියේ ඕ අයි සී ය. බොහෝ කලකට පසු බොරැල්ල පොලිසියට කොන්ද පණ ඇති ඕ අයි සී කෙනෙක් පැමිණීම ගැන අප තුළ මහත් සතුටක් පවතී. මීට කලකට පෙර කරටිය කැඩෙන්නට අරක්කු ගසා බොරැල්ල පොලිසියට ගොස් ඕ අයි සී ගේ පුටුවේ හිඳගත් වතුකරයේ දේශපාලනඥයකු ගැන අපට ආරංචි විය. ඔහු දැනට ජීවතුන් අතර නැති බැවින් නම සඳහන් නොකරමු. සමහර විට අද සිටින ඕ අයි සී එදත් බොරැල්ල පොලිසියේ සිටියා නම් දේශපාලනඥයාට සිදුවන්නේ වෙරිමරගාතේම ගුටි කෑමටය. ඒ කාරණය පසෙක තබමු. බොරැල්ලෙන් අල්ලා ගත් කුඩුකාරයන් අතර කොන්ඩේ ටින්ඩ් කළ සුදුම සුදු සහ ලස්සන ලස්සන තරුණියක්ද සිටියාය. ඇය කුඩු ග්‍රෑම් දහතුනයි දශම ගණනක් සිය රහස් ප්‍රදේශයේ සඟවාගෙන සිටි බව හෙළිවිය. එම කුඩු පැකට් එක නම් මළාට විකුණන්නට බැරි බව අපි දනිමු. ඒ විකිණීමට නම් පැරණි දවටන ඉවත්කර අලුතෙන්ම පැක් කළ යුතුය.

ලංකාවේ ජනතාවගෙන් හතළිස්පන් දාහක් දෙනා දිනපතාම කඩු ගසති. හය ලක්‍ෂයක් දෙනා දිනපතාම ගංජා ගසති. එසේම පාසල් දරුවන්ගෙන් 2.7% ක් අරක්කු හා කසිප්පු නොවන විවිධ මත්ද්‍රව්‍යවලට හුරුවී සිටිති. එසේම, දුම්කොළ යොදා බුලත් විට කන 40% ක ජනගහනයක් ලංකාවේ වෙසෙති. මෙයින් 28% ක් පිරිමින් වන අතර 10% ක් ගැහැනු වෙති. බුලත් සහ දුම්කොළ සලකන්නේ කිසියම් ආකාරයක මත්ද්‍රව්‍යයක් ලෙසය. එසේම බාබුල්, මදන මෝදක, කැස්සට බොන සිරප් වර්ග, පැණි පුවක් යනාදියද මත්ද්‍රව්‍ය ලෙස පාවිච්චි කරන යොවුන් දරුවෝ විශාල වශයෙන් සිටිති. පුවක්, දුම්කොළ, හුණු ආශ්‍රයෙන් ළමයින්ට හදා ගත හැකි වෙනම මත්ද්‍රව්‍යක්ද තිබේ. එහි නම තූල් ය. පැණි පුවක් යනු ඉතා භයානක මත්ද්‍රව්‍යයකි. වියළි පුවක් කැබලි, සීනි, අරක්කු, දුම්කොළ ඉස්ම යනාදියෙන් සාදන පැණි පුවක් අනුභව කිරීමෙන් විනාඩි පහක් තුළ මත්ලෝලියා අහසේ පාවෙන්නට පටන් ගනී. එවිට ඔහුට දෙවිවරු මුණගැසෙති. සමහර විට පිටසක්වලින් පැමිණි අය සමඟද ඔහු කතා කරති. හැබැයි මේ පැණි පුවක් ඩෝස් එක වැඩිවුණොත් පිටසක්වලට නොව කෙළින්ම එලොවට යෑමට සිදුවේ. සිගරට් සහ බීඩිද කිසියම් ආකාරයක මත්ද්‍රව්‍ය ලෙස සලකනු ලැබේ.

ගංජා නමැති මත්ද්‍රව්‍ය චිරාත් කාලයක පටන් ලංකාවේ තිබිණ. කේරල ගංජා තරම් දරුණු නැති කොලිටියෙන් බාල ලාංකික ගංජා සුරුට්ටුවකට යොදා දුම් ඉරීමෙන් සීමා සහිත ආතල් එකක් ලැබීමට ලංකාවේ ජනතාව පුරුදුව සිටියේය. එක්දහස්නවසිය හැත්තෑ ගණන් වලදී ලංකාවට හෙරොයින් නමැති මත්ද්‍රව්‍ය පැමිණීම නිසා මෙරට මත් කර්මාන්තය ඉතා ඉක්මනින් ප්‍රසාරණය විය. වැඩිදෙනා නොදන්නවාට ඩයිනමයිඩ්ද මත්ද්‍රව්‍යයකි. හැබැයි ඒ පාවිච්චි කරන පිළිවෙළ අනුභව කරන්නට ගියොත් හක්කපටස් අනුභව කළාක් මෙන් ඛේදනීය තත්ත්වයක් හටගනී. මේ රටේ ප්‍රසාරණය වෙමින් පවත්නා මත්ද්‍රව්‍ය බෝම්බය පුපුරා යෑමට ඉතා ආසන්නය. ඒ පිපිරූ දවසට අපට සිදුවන්නේ අවුරුදු 2500 ක අතීතකාමය පිළිබඳ ආතල් කතාත් සමඟ මිය යෑමටය.

advertistmentadvertistment
advertistmentadvertistment