ශ්‍රී ලංකාව බංග්ලාදේශය පරදවා – පූර්ණ තරගාවලි ජයක් ලබයි

267

දෙවැනි තරගයෙන් ලකුණු 192 ක ජයක්
තරගයේ සහ තරගාවලියේ වීරයා කමිඳු මෙන්ඩිස්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ චැතග්‍රොං ක්‍රීඩාංගණයේදී පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 192කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (03 වැනිදා) සමත් විය.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම තරගයේ පස්වන දිනය වූ ඊයේ දිනයේ දී ලකුණු 318කට සියලු දෙනා දැවී ගියහ.

ඊයේ (03 වැනිදා) තරගය ආරම්භ වන විට බංග්ලාදේශ කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු හතකට ලකුණු 268ක් ලබා සිටි අතර ඔවුනගේ ඉතිරි පිතිකරුවන් තිදෙනා ඊයේ උදෑසන යවන ලද ඕවර 18ක් තුළ දැවී ගිය අතර තවත් එක් කළේ ලකුණු 50ක් පමණකි. ඒ අනුව තරග දෙකකින් සමන්විත වූ තරගාවලිය තරග 2 – 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණු අතර මෙම ජයග්‍රහණයත් සමග ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු තිහක් ලබමින් හයවන ස්ථානයේ සිට සිව්වන ස්ථානය තෙක් පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. මෙම තරගාවලිය ආරම්භයට පෙර ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීම්වල 09 වැනි ස්ථානයේ රැඳී සිටි අතර පළමු තරගයේ ජයග්‍රහණයත් සමග එහි 06 වැනි ස්ථානයට පැමිණියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙම තරගයේ දෙවෙනි ඉනිමේ පන්දු යැවීමේදී, ලහිරු කුමාර ලකුණු 50කට කඩුලු 4ක් දවාගත් අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 32කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඊයේ දිනයේ දැවී ගිය පළමු කඩුල්ල කමිඳු මෙන්ඩිස් හිමිකර ගත් අතර අනතුරුව දෙවැනි නව පන්දුව භාරගත් ලහිරු කුමාර ශ්‍රී ලංකා ජයග්‍රහණය සනිටුහන් කරමින් බංග්ලාදේශයේ 09 වැනි සහ 10 වැනි කඩුලු දෙක දවා ගත්තේය.

බංග්ලාදේශ දෙවැනි ඉනිම වෙනුවෙන් මෙහෙදි හසන් මිරාස් නොදැවී ලකුණු 81ක් රැස් කළ අතර මොමිනුල් හක් ලකුණු 50 ක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම වෙනුවෙන් නොදැවී ලකුණු 92ක් රැස් කර ගත් සහ බංග්ලාදේශ දෙවන ඉනිමේ කඩුලු තුනක් බිඳ හෙලූ කමිඳු මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තේය.

එසේම තරගාවලිය තුළ පිතිකරුවන් අතුරින් වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ලෙස ලකුණු 367ක් ලැබූ කමිඳු මෙන්ඩිස්ට තරගාවලියේ වීරයා සම්මානය ද හිමිවිය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිම සියල්ල දැවී 531 (ඕවර 159යි)

(කුසල් මෙන්ඩිස් 93, කමිඳු මෙන්ඩිස් නොදැවී 92, දිමුත් කරුණාරත්න 86, ධනංජය ද සිල්වා 70, දිනේෂ් චන්දිමාල් 59, නිශාන් මධුෂ්ක 57, ප්‍රභාත් ජයසූරිය 28, ඇන්ජලෝ මැතිව්ස් 23, ෂකිබ් අල් හසන් 110/3, හසන් මහ්මුඩ් 92/2යි)

බංග්ලාදේශය ප්‍රථම ඉනිම සියල්ල දැවී 178 (ඕවර 68.4යි)

(සකීර් හසන් 54, මොමිනුල් හක් 33, ටයිජුල් ඉස්ලාම් 22, එම්. හසන් ජෝයි 21, ෂකිබ් අල් හසන් 15, අසිත ප්‍රනාන්දු 34/4, ලහිරු කුමාර 19/2, විශ්ව ප්‍රනාන්දු 38/2, ප්‍රභාත් ජයසූරිය 63/2යි)

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු 7ට 157 (ඕවර 40)

(ඇන්ජලෝ මැතිව්ස් 56, නිශාන් මධුෂ්ක 34, ප්‍රභාත් ජයසූරිය නොදැවී 28, දිනේෂ් චන්දිමාල් 09, කමිඳු මෙන්ඩිස් 09, හසන් මහ්මුඩ් 65/4, කලිඩ් අහ්මඩ් 34/2)

බංග්ලාදේශය දෙවන ඉනිම සියල්ල දැවී 318

(මෙහෙදි හසන් මිරාස් නොදැවී 81, මොමිනුල් හක් 50, ලිට්න් දාස් 38, ෂකිබ් අල් හසන් 36, එම්. හසන් ජෝයි 24, නජ්මුල් හොසේන් ෂැන්ටෝ 20, ලහිරු කුමාර 50/4, කමිඳු මෙන්ඩිස් 32/3, ප්‍රභාත් ජයසූරිය 99/2)

advertistmentadvertistment
advertistmentadvertistment