ගුරු අධ්‍යාපනඥ සේවයට හොර පාරෙන් එපා – ගුරු අධ්‍යාපනඥ වෘත්තීය සමිති සංගමය

240

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගැනීම සඳහා විවෘත හා සීමිත විභාගවලින් තෝරාගත් පිරිස හැර කැබිනට් පත්‍රිකාවක් මගින් වෙනත් පුද්ගලයන් බඳවා ගැනීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග මෙන්ම නීතිමය ක්‍රියාමාර්ගද ගන්නා බව ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමය අධ්‍යාපන ඇමැතිවරයාට දැනුම් දී ඇත.

ජාතික අධ්‍යාපන විද්‍ය පීඨ, ගුරු විද්‍යල සහ ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවලට අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා ගුරු සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්, ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට අන්තර්ග්‍රහණය කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමුකරන බවට වාර්තා වන බවත් එවැනි ක්‍රියාවක් සිදුකිරීම ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවද ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය සංගමයේ ලේකම් එම්. පී. එච්. සවනතිලක මහතා කියා සිටී.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගැනීම සඳහා පැවැත්වූ විවෘත හා සීමිත විභාගයට පෙනී සිටි තෝරාගෙන ඇති නිලධාරීන් සම්මුඛ පරීක්‍ෂණ පවත්වා තනතුරුවලට පත්කරන ලෙස අවස්ථා කිහිපයකදී අධ්‍යාපන ඇමැතිවරයා දැනුවත් කළ බවද ඒ මහතා කියා සිටී.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගැනීමේ විවෘත විභාගය 2021 අප්‍රේල් 25 වැනිදා පත්වා සුදුසුකම් ලැබූවන්ගේ නාමලේඛනය සම්මුඛ පරීක්‍ෂණ සඳහා 2022 මාර්තු 04 වැනිදා නිකුත් කර තිබේ. මෙහි සීමිත විභාගය 2021 නොවැම්බර් 28 වැනිදා පවත්වා එහි ප්‍රතිඵල 2023 ජුනි 20 නිකුත් කර තිබේ. මෙහි සම්මුඛ පරීක්‍ෂණ ලබන ජුලි 20 පැවැත්වීමට නියමිතය.

මෙම පිරිස සම්මුඛ පරීක්‍ෂණවලට කැඳවීම් නොකර ගුරු හා විදුහල්පතිවරුන්ගේ විවිධ ඇඳුනුම්කම් හරහා හොර පාරෙන් ස්ථිර කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇති බව දැන ගන්නට ඇති බවත් එවැනි දෙයක් සිදුකිරීමට අධ්‍යාපන බලධාරීන් උත්සාහ දැරුවොත් වෘත්තීය ක්‍රියාමාර්ගත්, නීතිය හමුවට යෑමටත් තීරණය කර තිබෙන බවත් සවනතිලක මහතා වැඩිදුරටත් කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment