රු. 37කට රට බිත්තර සතොස හා සුපිරි වෙළෙඳසල්වල විකිණීමට අවසර ඉල්ලුවා

169

රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා සභාපති

රට තුළ පවතින බිත්තර හිඟයට යම් විසඳුමක් ලබාදීම සඳහා සුපිරි වෙළෙඳසල් හා සතොස මගින් බිත්තරයක් රුපියල් 37ක් වැනි මිලකට අලෙවි කිරීමට අනුමැතිය ඉල්ලා ඇතැයි රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ‘දිවයින’ ට ඊයේ (17දා) පැවැසීය.

රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්‍ෂ 70 ක් බවත්, සතොස සහ සුපිරි වෙළෙඳසල්වලට දෛනිකව ආනයනික බිත්තර ලක්‍ෂ 15 ක් පමණ සැපයීමට අදහස් කරගෙන සිටින බවත් වලිසුන්දර මහතා කීය.

මේ වනවිට විවිධ හේතු නිසා රට තුළ සියයට 40 ක පමණ බිත්තර හිඟයක් මතුවී තිබෙන බවද ඒ මහතා කීය. සතියකට බිත්තර ලක්‍ෂ 80 ක් පමණ ගෙන්වා බෙදාහරින බවත්, එම බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසල් මගින් අලෙවි කිරීමට අවසර ලබාදෙන්නේ නම් එම ආයතන සමඟ සාකච්ඡා කර අවශ්‍ය බිත්තර ප්‍රමාණය ගෙන්වා දෙන බවත් ඒ මහතා කීය.

මේ සඳහා බොහෝදුරට ආහාර කමිටුවේ අවධානය කඩිනමින් යොමුවිය හැකි බවත්, ඉන් පසු සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇතුළු අනුමැතිය ලබාගත යුතු ආයතනවලින් අනුමැතිය ලැබිය යුතු බවත් ඒ මහතා කීය.

මේ වනවිට බේකරි, හෝටල් ඇතුළු කර්මාන්ත සඳහා සතියකට බිත්තර ලක්‍ෂ 80 ක් පමණ ආනයනය කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment