දොළවත්තගේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම

170

දරු පරපුරේ සුරක්ෂිතභාවයට පනවා ඇති නීති අබමල් රේණුවක් ලිහිල් කිරීමත් ජාතික අපරාධයක්
උතුම් සංස්කෘතිය විනාශ කර සමලිංගික ක්‍රියාවන්ට අවසර ගැනීමට අවශ්‍ය වෙලා – නීතිඥ කනිෂ්ක විතාරණ

හෙට දින රටේ අනාගතය ගොඩනැගීමේ වගකීම පැවරෙන රටේ දරු පරපුරේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පනවා ඇති කුමන නීතියක් හෝ අබමල් රේණුවක තරම්වත් ලිහිල් කිරීම ජාතික අපරාධයක් වන්නේ යැයි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේදී පැවසීය.

රටේ ආරක්ෂාව යන කාරණය යුදමය වශයෙන් එල්ලවන තර්ජනවලින් මුදවා ගැනීම යන විෂය පථයට සීමාවන කරුණක් නොවන බවත් එකම ලිංගික පාර්ශ්වයක් හෝ විරුද්ධ ලිංගික පාර්ශ්වයන් අතර සිදුවන අසම්මත ලිංගික චර්යාවන්ට දරු පරපුර ගොදුරුවීම වැනි රටේ සදාචාරය විනාශ කරන ක්‍රියාවන්ගෙන් දරු පරපුර ආරක්ෂා කිරීමත් රටේ ආරක්ෂාවට අහිතකර ලෙස බලපාන කරුණු වන්නේ යැයිද හෙතෙම අධිකරණයට වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ලංකා දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධිත) පෞද්ගලික පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා බ්‍රිගේඩියර් කේ. අතුල එම්. ද සිල්වා, සෙනාලි වඩුගේ හා ජෙහාන් හමීඩ් යන තිදෙනා ගොනුකර තිබූ විශේෂ පෙත්සම කැඳවූ අවස්ථාවේ දී එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ මහතා එලෙස පැවසීය.

එම විශේෂ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් කේ. මලල්ගොඩ හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

මේ වනවිට ක්‍රියාත්මක දැඩි නීතිරීති ක්‍රියාත්මක වන විටත් මෙතරම් ළමා අපරාධ සිදුවන්නේ නම් එවැනි අපරාධකරුවන්ට උපරිම දඬුවම් දිය හැකි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වගන්තිය බලරහිත කළහොත් අප රට තුළ කොතරම් ළමා අපරාධ සිදුවන්නේ දැයි සිතාගැනීමටත් නොහැකි බව එම පනත් කෙටුම්පතට එරෙහිව කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටි අතරමැදි පාර්ශවකාරියක වන චාලන් ඩෑන් බුල්ජන්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

සමහරුන්ට අවශ්‍ය වී ඇත්තේ අප රටේ උතුම් සංස්කෘතිය විනාශ කිරීමට මගපාදන සමහර රටවල ක්‍රියාත්මක උපතින් ලැබෙන ශාරීරික ලිංගික ලක්‍ෂණ කෘත්‍රිමව වෙනස් කිරීමට හා සමලිංගික ක්‍රියාවන්ට අවසර ලැබෙන නීතිරීති අප රට තුළත් ක්‍රියාත්මක කිරීම වන්නේ යැයි ද පැවසූ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා එවැනි රටට නොගැලපෙන නීතිරීතිවලට වැටබැඳීම අධිකරණයේ වගකීම වන්නේ යැයිද පැවසීය.

පසුගිය 17 වැනිදා අධිකරණය හමුවේ ගොනුකර තිබූ එම පෙත්සමට අදාළ ලේඛන කතානායකවරයා වෙත ලැබී ඇත්තේ

පසුගිය 19 වැනිදා වන බවත් ඒ අනුව නීතියෙන් නියම කර ඇති කාල වකවානුව තුළදී පෙත්සම්කරු කටයුතු කර නැති බවත් අධිකරණයට පැවසූ අතිරේක සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එම පෙත්සම විභාගයට ගැනීමට අවසර නොදී ප්‍රතික්ෂේප කරන ලෙස පෙත්සම කැඳවූ අවස්ථාවේ දී විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියාය.

නීති කාල සීමාව ඉක්මවා නියමිත කටයුතු සිදුවී ඇති බැවින් එම පෙත්සම විභාග කිරීමට අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවද අතිරේක සොලිස්ටර් ජනරාල්වරිය විනිසුරු මඬුල්ලට වැඩිදුරටත් පැවසීය.

පෙත්සම අධිකරණය හමුවේ ගොනුකළ දිනම පෙත්සම්කාර පාර්ශ්වය විසින් සියලු ලේඛන කතානායකවරයා වෙත විiුත් තැපෑල ඔස්සේ (ඊමේල්) යොමුකර ඇති බවත් ඒවා ලැබුණු බවට කතානායකවරයාගේ පෞද්ගලික සහායකවරයා මෙන්ම දෙවන වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා ද තහවුරු කළ බවත් අධිකරණයට පැවසූ නීතිඥ දර්ශන වේරදූවගේ මහතා අතිරේක සොලිසිටර් ජනරාල්වරියගේ ඉල්ලීමට පදනමක් නොමැති බැවින් එය බැහැර කර පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙස විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විසින් තම අධිකරණයෙන් ඉල්ලා සිටි නියෝගය නිකුත් කිරීම හෝ නොකිරීම සෙසු පාර්ශ්ව ඉදිරිපත් කරනු ලබන කරුණුවලට සවන් දීමෙන් අනතුරුව සිදු කරන බව පෙන්වා දුන් විනිසුරු මඬුල්ල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා කරුණු දැක්වීමට නීතිඥ දර්ශන වේරදූවගේ මහතාට අවසර ලබා දුන්නේය.

එම කරුණු දිවුරුම් ප්‍රකාශයක් මගින් තහවුරු කරන ලෙසට විනිසුරු මඬුල්ල පෙත්සම්කරුගේ නීතිඥවරයාට නියෝග කළේය.

එම පෙත්සමේ දෙවැනි වගඋත්කරකරු ලෙස නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාද එහිදී දීර්ඝ ලෙස කරුණු දක්වමින් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා එම පෙත්සමට සහාය දක්වමින් ඉදිරිපත්වූ නීතිඥවරුන් දැක්වූ කරුණුවලට කිසිදු පදනමක් නොමැති බැවින් මුල් අවස්ථාවේදීම පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment