කොරෝනා අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් – ඇමැති ජීවන් තොණ්ඩමන්

52

කොරෝනා වසංගතය පැවැති කාල සීමාව තුළ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා 02 වැනිදා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ රජය තුළ සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් සමාව ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද හෙතෙම කීවේය.

ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමැති ජීවන් තොන්ඩමන් මහතා පසුගියදා 02 වැනිදා එම අදහස් පළකලේ හැටන් නගරයේ පැවති ඉෆ්තාර් රැස්වීමකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා මෙසේද කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති රජය මෙම බලහත්කාරය නිර්මාණය කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විද්‍යාත්මක මත කිහිපයක් ප්‍රතික්ෂේප කරමින්. මෙම ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ කොරෝනා වින්දිතයන් භූමදානය කිරීමෙන් ජල සැපයුම් දූෂිත විය හැකි බවට පවසමින්.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් කරන ලද නව විද්‍යාත්මක සොයාගැනීම් මගින් පසුගිය රජයේ ස්ථාවරය දැන් අභියෝගයට හා ප්‍රතික්ෂේප කර තියෙනවා.

2021 අගෝස්තු සහ දෙසැම්බර් අතර සිදු කරන ලද මෙම පර්යේෂණය ජලය හරහා වෛරස් සම්ප්‍රේෂණය වීමේ අවදානම තක්සේරු කිරීම ප්‍රධාන අරමුණු වුණා. ඒ වගේම ජල තාක්ෂණ ඒකාබද්ධ පර්යේෂණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය විසින් සිදු කරන ලද විස්තීරණ සමාලෝචන අධ්‍යයනයක් මගින් කොරෝනා-ආසාදිත සිරුරු භූගත ජලය අපවිත්‍ර වීම කෙරෙහි ඇති කරන බලපෑම විශ්ලේෂණය කළා.

මෙම වසරේ (2024) ප්‍රකාශයට පත් කරන ලද, මෙම සමාලෝචනය නිගමනය කළේ වසංගතය අතරතුර නිසි ලෙස සිදු කරන ලද භූමදානයන්ගෙන් භූගත ජලය දූෂණය වීමේ අවදානමක් නොමැති බවයි. මුද්‍රා තැබූ සිරුරු බෑග්වල ගැඹුරින් භූමදාන කිරීම ඇතුළුව නිසි මිහිදන් කිරීමේ ක්‍රියා පටිපාටි මගින් පරිසර දූෂණය වීමේ ඕනෑම අවදානමක් ඵලදායී ලෙස අවම කර ගත හැකි බව අධ්‍යයනය අවධාරණය කර තිබෙනවා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment