රටට හිතකර ආයෝජන ඇතිකරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරනවා

54

ජනපති ආයෝජන මණ්ඩල සම්මාන උළෙලේ දී කියයි

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජනාධිපති කාර්යාලයේදී ඉකුත් 02 වැනිදා පැවැති ආයෝජන මණ්ඩල සම්මාන උළෙල අමතමිනි.

ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සරය නිමිත්තෙන් පළමු වරට මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබිණි.

රටට හිතකර ආයෝජන ඇතිකරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරනවා

මීට අමතරව, පුද්ගල මට්ටමින් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබාදුන් සුවිශේෂී දායකත්වය මත පදනම් වූ නව සම්මාන කාණ්ඩයක් යටතේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රෝෆ් ඕමාර්, මාස් හෝල්ඩිංග්ස්හි සම නිර්මාතෘ හා සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන් සහ සෙයිල් ලංකා යාත්‍රා සමූහ ව්‍යාපාරයේ සභාපති පියරේ ප්‍රින්ජර්ස් යන මහත්වරුන් වෙත සම්මාන ත්‍රිත්වයක් ප්‍රදානය කිරීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

ආයෝජන මණ්ඩලය රටට හඳුන්වාදී වසර 45ක් වෙනවා. 1977 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මෙරට ආර්ථිකයේ කොටසක් විවෘත කිරීමට තීරණය කළා. එක් කොටසක් පාලනය කර, සමාජගත කර තිබෙන නිසා ආර්ථිකය මුළුමනින්ම විවෘත කිරීම එකවර සිදු කළ නොහැකි බව එතුමා ප්‍රකාශ කළා. ඒ අනුව ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික කලාපය නිර්මාණය කළා.

මේ සඳහා බියගමත් ඇතුළත් කරන ලෙස මා එතුමාගෙන් ඉල්ලා සිටියා. 1978 ජනවාරි මාසයේදී මීට අදාළ නීතිය සම්මත වුණා. කටුනායක ආයෝජන කලාපය බිහිවුණේ ඉන් අනතුරුවයි. දෙවෙනි ආයෝජන කලාපය වන්නේ බියගම ආයෝජන කලාපයයි.

එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංගමය බියගම ආයෝජන කලාපයක් සෑදීමට නොහැකි බව සඳහන් කර පිටව ගියා. නමුත් ඒ කාලයේ ආයෝජන මණ්ඩලයේ සිටි ඉංජිනේරුවන් බියගම ආයෝජන කලාපයක් සෑදීමට හැකි බව සඳහන් කළා. ඒ වගේම ඔවුන් බියගම ආයෝජන කලාපය ඉදි කළා. මෙරට ආයෝජන කලාපවල ආයෝජන කලාපවල ආරම්භය සිදු වුයේ ඒ ආකාරයටයි.

ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීමට අවශ්‍ය බව තීරණය කළා. ඔහු එය කර්මාන්ත ශාලා 100කින් ආරම්භ කළ නමුත් ඒවා මේ කලාපවලට පමණක් සීමා කළ නොහැකි වුණා. ඒ නිසා එම කටයුත්ත ආයෝජන මණ්ඩලයට පැවරුවා. මේ හරහා රට පුරා ඇඟලුම් කර්මාන්ත ශාලා ඉදි වුණා. ඇඟලුම් කර්මාන්තශාලා 200ක් ඉදිකිරීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.

කෙසේ වුවත් අප අවුරුදු දෙකකටත් අඩු කාලයකදී ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇතිකර ගැනීමට සමත් වුණා. මේ වන විට අප එම තත්ත්වය පවත්වාගෙන යනවා. ඒ වගේම අප ආර්ථික ස්ථාරත්වය පවත්වා ගෙන යෑමට තවදුරටත් මහ බැංකුව මත රඳා සිටින්නේ නැහැ. ඒ සඳහා අප වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙනවා.

ඒ නිසා ඊළඟට අපට තිබෙන්නේ අපනයනය ඉලක්ක කරගත් ඉහළ තරගකාරී ආර්ථිකයක් දක්වා අපගේ ආර්ථිකය පරිවර්තනය කිරීමයි. ඔබට එය සිදු කිරීමට වසර 10ක් 15ක් වැනි කාලයක් ගතවනු ඇතියි. ඒ අතරතුර ආර්ථික කොමිසම ලෙස ආයෝජන මණ්ඩලයේ ස්වභාවය වෙනස් කරන බවද කිව යුතුයි.

ඒ සමඟ අප ශ්‍රී ලංකාවම ආවරණය වන ආකාරයට එක් ආයෝජන කලාපයක් නිර්මාණය කරනවා. එවිට ආයෝජකයෙකු වන ඔබ එහි බලපත්‍ර හිමියෙකු වනවා. ඒ තුළ ඔබට ඔබේම කලාප පවත්වාගෙන යා හැකියි.

ඒ වගේම අප සමස්ත වෘත්තීය පුහුණු පද්ධතියම ප්‍රතිසංස්කරණය කරනවා. ඒ සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ක්‍රමයෙන් අහෝසි කර ඒ වෙනුවට වෘත්තීය විද්‍යාල ආරම්භ කරනවා.

අප ඩිජිටල් ආර්ථිකයට සහාය දෙනවා. නව ඩිජිටල් හුවමාරු නියෝජිතායතනයක් පිහිටුවනවා මෙන්ම කෘත්‍රීම බුද්ධිය සඳහා අරමුදල් ද සපයනවා. කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන මගින් වසර දහයක් පමණ වන විට අලුතින් අක්කර 500,000ක් පමණ වගා කිරීමට හැකි වනු ඇති අතර, එම ප්‍රමාණය නිර්මාණය වන්නේ දැනට පවතින වගාබිම් ප්‍රමාණයට අමතරව බවද සඳහන් කළ යුතුයි. ඒ තුළ ඉහළ ඵලදායී කෘෂිකර්මාන්තයක් බිහිවෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment