ලිට්ට්‍රෝ ගෑස් – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ටෙලිකොම් – ශ්‍රී ලංකන් විකිණීමට – පාර්ලිමේන්තුවට ජනවරමක් නෑ

66

සුනිල් හඳුන්නෙත්ති (ජාජබ)

ආණ්ඩුව සතු ආර්ථික සම්පත්, මර්මස්ථාන විකිණීම හා පෞද්ගලීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ජන වරමක් නැතයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

මේ ආණ්ඩුව කිසිදු ජන වරමක් නැති, ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක්. ආණ්ඩුව සතු ආර්ථික සම්පත්, මර්මස්ථාන විකිණීම හා පෞද්ගලීකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ජන වරමක් නැහැ. ඒ වගේම ඔක්තෝබර් වෙනකොට ජනාධිපතිවරයෙක් තෝරා ගන්න ජනාධිපතිවරණයක් පවත්වන්න නියමිතව තිබෙනවා. එසේ තිබියෙදී අනාගත වර්ෂ ගණනාවකට බලපාන මර්මස්ථාන තුට්ටු දෙකට අලෙවි කිරීම සඳහා ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. ආණ්ඩුව යන යකා කොරහත් බිඳගෙන යන්නේ ඇමතිවරුන්ට කොමිස් කුට්ටි ලබාගැනීම සඳහා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය කුණු කොල්ලයට විකිණීම සඳහා එය භාර ඇමතිවරයාම ගුවන් සේවය බාල කරනවා නම් ඊට විරුද්ධ වීම වැරදිද? ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති අනුව අපට ලොකු වුවමනාවක් තිබෙනවා, ශ්‍රී ලංකාව ලෝකයේ දිදුලන රාජ්‍යයක් බවට පත්කරන්න. ඒ වගේම සංචාරක කර්මාන්තයේ හොඳම ගුවන් ගමනාන්තයක් බවට පත්කරන්න. 2018 වෙන විට ලාබ ලබපු, ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්සත් ජාතික පක්ෂ හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුවල අකාර්යක්ෂමතාව විසින් පාඩු ලබන තත්වයට පත්කර තිබෙන බව ඇත්ත. ශ්‍රී ලංකන් ගුවන් සේවය අදටත් රජය යටතේ පැවතිය යුතුයි අපි කියනවා.

සමගි ජන බලවේගයේ ඉන්න ආර්ථික විශේෂඥ එරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමතිවරයා කිව්වේ මේක රුපියලකට හරි ගන්න එන්න කියලා. ඔවුන් තමයි කීවේ ණය පංගුව, පාඩුව භාණ්ඩාගාරයට භාරගෙන මේක අලෙවි කරන්න කියලා. ඒක තමයි ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකන් ගුවන් සේවය රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට දියුණු කරන්න අවස්ථාවක් තිබෙනවාද කියා උත්සාහ කරන්න අවසාන පැය දක්වා අපි උත්සාහ කරනවා.

දැනුත් ලාභ ලබන ආයතනයක් වුණු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකිණීම සඳහා යෝජනා කොට තිබෙනවා. එය කිසිදු ප්‍රශ්නයක් නැතිව පෞද්ගලික තරගකාරී ආයතනත් එක්ක තරගයක් දෙනවා.

මේ ජන වරමක් උරගා බලන කාලයක්. 2024 මාර්තු මාසෙ 11දා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කුමාර රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහ කරන ඒකකයට ලියනවා, 2025 ජනවාරි දක්වා ලිට්රෝ ගෑස් රීකන්ස්ට්‍රක්ෂරින් ප්‍රෝග්‍රෑම් එක නවත්වන්න කියලා. එහි පැහැදිලිව ඉංග්‍රීසියෙන් එම ප්‍රතිව්‍යුහගත කිරීම නතර කළ යුතු බව කියනවා. මෙසේ ලිඛිතව උපදෙස් දී තිබියෙදී තමයි, අදටත් ලිට්ට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලීකරණය කරගෙන යන්නේ. ආණ්ඩුව දැනටමත් ගෑස්වල මිල අඩුකරන්න පුළුවන් කියද්දී, එම සමාගමේ සභාපතිවරයාම බිලියන ගණනක් ගිය අවරුද්දේ භාණ්ඩාගාරයට දුන්නා කියද්දී ආයතනය විකිණීමේ ක්‍රියාවලියක් යනවා.

අපට ටෙලිකොම් අවශ්‍ය වෙන්නේ අයි. ටී. තාක්ෂණය ප්‍රවර්ධනය කරගෙන යන්න. අපට ටෙලිෆෝන් බෙදන ආයතනයක් අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වන්නේ ටෙලිකොමිනිකේෂන්. අපි විශ්වාස කරනවා අයි. ටී. තාක්ෂණය ලෝකයේ විදේශ විනිමය උපයන, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ ස්ථානගත කරන්න පුළුවන් කියලා. අපේ තරුණ පරම්පරාවේ දැනුම අනුව ලෝකයේ නව ස්ථානයකට එය ගෙනියන්න පුළුවන්. ඒ සඳහා රාජ්‍ය අයිතිය යටතේ ටෙලිකොම් ආයතනය තියෙන්න ඕනෑ. ජාතික ආරක්ෂාව පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා රජය යටතේ ටෙලිකොම් තියෙන්න ඕනෙ. පසුගිය යුද සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගනිද්දී ටෙලිකොම් ආයතනයේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් වැදගත් වුණා. ටෙලිකොම් ආයතනයේ හිටපු සභාපතිවරයා රොහාන් ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය 2024 පෙබරවාරි 26 දා ඒකෙ අවුරුදු 10ක ලාභදායී තත්වය භාණ්ඩාගාරයේ ලේකම්වරයාට ලියා යවනවා. ටෙලිකොම් ආයතනය පාඩු ලබන ආයතනයක් නොවෙයි. 2022 වාර්ෂික වාර්තාව අනුව ආදායම බිලියන 107ක්.

ඊයේ පෙරේදා නිවාඩු දවස් අල්ලා දවස් පහකට ආනයනික හාල් සඳහා පනවා තිබුණු රු:65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලට අඩු කළා. මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීමේ ගැසට් එක රනිල් වික්‍රමසිංහ නමින් 2024 මාර්තු 25 වැනිදා ගහනවා. මේ ගැසට් එක බල පවත්වන්නේ මාර්තු 27 දා සිට අප්‍රේල් 03වැනිදා දක්වා. ඊයේ පෙරේදා ඇතුළත කන්ටේනර් 10ක් වරායෙන් නිදහස් කර තිබෙනවා. ඒ නිදහස් කළ නිසා ආණ්ඩුවට, රටට අහිමි වෙන බදු ආදායම රුපියල් එක්කෝටි හැට ලක්ෂයක්. කිලෝ දෙලක්ෂ පනස් දහසක් පමණ නිදහස් කරගෙන තිබෙනවා. ආණ්ඩුවට ලැබුණේ රුපියල් දෙලක්ෂ පනස් දහසක් පමණයි. ආණ්ඩුවට අහිමි වුණු ප්‍රමාණය රුපියල් එක්කෝටි හැට ලක්ෂයක්.

බිත්තරවලින් මේ රටට අහිමි කර ගන්න බද්ද බඩඉරිඟු ගොවීන්ට දුන්නා නම්. ලංකාවේ කුකුල් කෑම හදලා බිත්තර හදන්න තිබුණා. මේවා ඇමතිවරු සහ අදාළ ව්‍යාපාරවල ඉන්න කිහිප දෙනෙක් එකතුවෙලා මේ මොහොතට හදා ගන්නා ක්‍රමයක්. සෞඛ්‍ය ඇමති බෙහෙත්වලින්, වෙළෙඳ ඇමති ආනයනික බඩුවලින් වංචා කරන එක සාමාන්‍ය දෙයක් කරගෙන.

advertistmentadvertistment
advertistmentadvertistment