අය වැයේ යථාර්ථය

752

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 ට අදාළ අය වැය ඊයේ (13 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙම අය වැයේ ආකර්ෂණීය යෝජනා රැසක් ඇතුළත් ය. ඉන් ප්‍රධාන යෝජනාවක් වන්නේ ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට රජයේ සේවකයන්ට ජීවන වියදම රුපියල් දස දහසකින් වැඩි කිරීමයි. පවතින ආර්ථීක අර්බුදය හමුවේ හෙම්බත් වී සිටින රාජ්‍ය සේවකයාට මෙම පුවත යම් අස්වැසිල්ලක් වනවාට සැක නැත. එහෙත් රාජ්‍ය අංශයට සාපේක‍ෂව ඉන් පරිබාහිරව සිටිනා සේවකයන්ට, කම්කරුවන්ට මෙන්ම එදිනෙදා කුලියක් මලියක් කරගෙන ජීවත්වන ජනතාවට අය වැයෙන් ලැබුණු සෘජු සහනයක් නොමැත. එනිසා ශ්‍රී ලාංකීය සමස්ත ජනතාව වෙලාගෙන සිටින ආර්ථීක පීඩනයෙන් ගලවා ගැනීම සඳහා කළ යුත්තේ භාණ්ඩ හා සේවා මිල අඩු කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමයි. අනෙක් අතට ලබන වසරේදී 18% කින් වැට් බද්ද වැඩි වූ විට සමස්ත භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑම වළක්වනු බැරිය. දැඩි ආර්ථීක අර්බුදයක රට ගිලී ඇති අවස්ථාවක කුමන බරක් දරා හෝ රාජ්‍ය සේවකයාගේ ජීවන වියදම් දීමනාව වැඩි කළා සේම සමස්ත ජනතාවට සෙතක් සැලසෙන අයුරින් භාණ්ඩ හා සේවා මිල කළමනාකරණය කිරීම බලධාරීන්ගේ වගකීමකි.

අය වැයේ ඇති තවත් එක් ආකර්ෂණීය යෝජනාවක් වන්නේ අඩු ආදායම්ලාභී නාගරිකයන්ට ලබා දී ඇති නිවාසවලට අයකරනු ලබන කුලිය අයකර ගැනීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමයි. එසේම එම පවුල්වලට එම නිවාසවල පූර්ණ අයිතිය ලබාදීමට යෝජනා කර තිබේ. තවද කොළඹ වතු ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි කිරීමේ අපේක‍ෂාවෙන් එම ඉඩම්වල නිවාස සංකීර්ණ සහ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට ද මෙවර අය වැයෙන් යෝජනා කර ඇත. එම වතුවල සිටින ජනතාවට අදාළ නිවාස සංකීර්ණවලින් නිවාස ලබාදීමට යෝජිතය. වතුකරයේ නිවාස ඉදිකිරීම් සඳහා ඉඩම් අයිතිය ලබාදීමේ යෝජනාවක් ද මෙවර අය වැයේ ඇතුළත් ය. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන හතරකි. හිසට සෙවණක් නැති මිනිසුන්ට සෙවණක් ලබාදීම උතුම් පිංකමකි. එය කොළඹට වතුකරයට සීමා නොවී මේ රටේ හිසට සෙවණක් අහිමි සියලූ ජනතාව සඳහා ද ක්‍රියාත්මක කළ යුතු බව අපි යෝජනා කරන්නෙමු. ජනාධිපති ප්‍රේමදාස යුගයේදී ආර්ථීක හැකියාවක් නොමැති දුප්පත් ජනතාවගේ හිසට සෙවණක් ලබාදුන් ගම්උදාව වැනි විශේෂ ව්‍යාපෘතියක් අද ඕනෑකර තිබේ. රජය මේ පිළිබඳව නිසි ලෙස අධ්‍යයනය කර ක්‍රියාත්මක වුවහොත් ඒ සඳහා විදේශ ආධාර වුවද ලබා ගැනීමට පුළුවන. අප රට තුළ සිටින යමක් කමක් කළ හැකි පුද්ගලයන් පවා මේ සඳහා එක්කාසු කර ගැනීමට පුළුවන. ඒ සඳහා අවැසි වන්නේ නිශ්චිත විනිවිද ක්‍රමවත් වැඩපිළිවෙළක් පමණි.

ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කිරීම, පොලී රහිත ශිෂ්‍ය ණය, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා නීති සම්පාදනය කිරීම, නව යුගයට ගැලපෙන අයුරින් විශ්වවිද්‍යාල විධිමත්ව දියුණු කිරීම, නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීම, වසර දෙක තුනකදී විශ්වවිද්‍යාල දෙගුණයක් කිරීම, මෙන්ම පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට ද මෙවර අය වැයෙන් බරක් තබා තිබේ. එය කාලීන ආයෝජනයක් බව කිව යුතුය. නමුත් ප්‍රශ්නය වන්නේ දැනටමත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන විද්‍යාර්ථීන් අප රට ගොඩනැංවීම සඳහා කොතෙක් දුරට දායක කරගන්නේ ද යන්නයි. නිදසුනක් ලෙස ගතහොත් අප විශ්වවිද්‍යාල පද්ධතියෙන් සෑම වසරකම සැලකිය යුතු කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන් බිහිකළත් අප රටේ කෘෂිකර්මාන්තය පවතිනුයේ පසුගාමී තැනකය. සැබෑ ලෙසට අප රටේ පවතින සම්පත් සහ කාලගුණික දේශගුණික තත්ත්වයන්ට අනුව කෘෂිකර්මාන්තය නිසි පීල්ලට ගන්නේ නම් අප රටත් සහලින් සහ අනෙකුත් බෝග වගාවෙන් ස්වයංපෝෂිත කර ඉතිරිය අපනයනය කර ඩොලර් උපයා ගැනීමේ හැකියාව ද පවතී. නමුත් අදටත් අප කන බොන ජාති පිටරටින් ගෙන්වන නිවට ජාතියක් බවට පත්ව ඇත්තේ නිසි කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අපට නොතිබූ නිසාවෙනි. එනිසා අය වැයේ යෝජනා අප රට තුළ යථාර්ථයක් කර ගත හැකි නම් අදට වැඩිය හොඳ රටක් හෙට නිර්මාණය කර ගැනීමට අපට හැකි වනු ඇත. ජනාධිපතිවරයා සිය අය වැය කතාවේදී පෙන්වා දුන් අයුරින් අප රටේ දෛනික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන විස්සක් කිරීම තම අරමුණ බව ප්‍රකාශ කර තිබේ. අප රටේ පහසුවෙන් දියර කිරි කර්මාන්තය, ඒ ආශ්‍රිත කිරිපිටි නිෂ්පාදනය සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට පුළුවන. අප දන්නා කාලයේ සිට අය වැය යෝජනාවලට මෙම කරුණ ඇතුළත් වුවත් එය අප රට තුළ යථාර්ථයක් වූයේ නැත. හෙට දිනයේදී හෝ එය යථාර්ථයක් කරගත හැකි නම් අපට කිරියෙන් උතුරන රටක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇත.

මෙවර අය වැය අධ්‍යයනය කිරීමේදී එහි තවත් බොහෝ සාධනීය යෝජනා ඇති බව පෙනේ. එය යථාර්ථයක් කර ගැනීමට නම් සැබෑ ලෙසම බලධාරීන්, නිලධාරීන් හා විෂයභාර සියලූදෙනා ඊට කැපවිය යුතුය. පුරුද්දක් ලෙස අප රටේ අය වැය යෝජනාවලින් ක්‍රියාත්මක වන්නේ සුළු ප්‍රමාණයක් පමණි. ඇතැම් අවස්ථාවලදී ඇතැම් අමාත්‍යාංශවලට අය වැයෙන් වෙන් කරන ප්‍රතිපාදන පවා වර්ෂ අවසානයේදී ආපසු භාණ්ඩාගාරයට හරවා යවන්නේ එතරම්ම දක‍ෂ නැති මැති ඇමැතිවරුන් අප රටේ සිටින බැවිනි. මෙවර අය වැය යෝජනාවලට එවන් විපතක් අත් නොවේවා කියා ප්‍රාර්ථනා කිරීමට කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment