බ්‍රහස්පති

609

(ඊයේට යෙදුණු ජාත්‍යන්තර ගුරු දිනය නිමිත්තෙනි.)

ජාත්‍යන්තර ගුරු දිනය ඊයේට යෙදී තිබිණ. ගුරු නමින් ග්‍රහ වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයේ තිබේ. එය නව ග්‍රහයන්ගෙන් වැඩිම ගුරුත්වයක් තිබෙන ග්‍රහ වස්තුව වේ. ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට ග්‍රීක් බසින් කියන නම Jupiter ය. එම නම ඇති බලසම්පන්න දෙවියෙක් ද පුරාණ ග්‍රීක සංස්කෘතියෙහි සිටියේය. ගුරුවරයා යනු දෙවියකු මෙන් නොව ඊටත් වඩා බලවත් කෙනෙකි. ගුරු ග්‍රහයාගේ නමින් ගුරුවරයා හැඳින්වීම ඉතාම හොඳට ගැළපෙන දෙයකි. සාමාන්‍යයෙන් මේ රටේ වැඩිම බලය ඇත්තේ විධායකයටද, ව්‍යවස්ථාදායකයටද නොඑසේ නම් අධිකරණයටද යන ප්‍රශ්නය විටින් විට මතුවේ. එසේම වඩා බලවත් වන්නේ Jupiter හෙවත් ගුරු දෙවියාද නොඑසේ නම් ගුරුවරයා ද යන ප්‍රශ්නය නැගුණොත් ස්ථිර වශයෙන්ම උත්තරය විය යුත්තේ ගුරුවරයා යන්නය. ගුරුවරයා යනු ජාතියක නැණ බලය ගොඩනඟන බලවේගයයි. ජාත්‍යන්තර ගුරු දිනය ඊයේට (06) යෙදී තිබුණු නමුදු අපට හැඟෙන පරිදි හැම දවසක්ම ගුරු දිනයක් විය යුතුය. ඊට අමතරව ඉස්කෝලේ නිවාඩු දවස් වන සෙනසුරාදා ඉරිදාත් නිවාඩු කාලයේ දවස් සියල්ලමත් ගුරු දිනයන්ම විය යුතුය.

සුප්‍රකට සෝවියට් ලේඛකයකු වූ චෙන්ගීස් අයිත්මාතව් විසින් ඉතා ලස්සන අප්‍රකාශිත ප්‍රේමයක් පිළිබඳ කුඩා නවකතා පොතක් ලියා තිබේ. මේ පොත එහි මුල් භාෂාව වූ රුසියන් භාෂාවෙන් සිංහලට පරිවර්තනය කොට “පළමුවැනි ගුරුවරයා” යන නම යටතේ එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී එළිදක්වන ලදි. ඉන්පසු මේ පොත “ගුරු ගීතය” යනුවෙන් නම වෙනස් කර ප්‍රකාශයට පත්විය. ඒ නිසා වැඩිදෙනා මේ පොත දන්නේ ගුරු ගීතය ලෙසය. පරිත්‍යාගශීලී ගුරුවරයෙක් සිය ශිෂ්‍යාව වෙනුවෙන් කරන ලද අප්‍රමාණ කැපවීම පිළිබඳ කතන්දරය මේ පොතෙහි නිමිත්ත ය. එම ගුරුවරයාගේ නම දුයිෂෙන් වන අතර ශිෂ්‍යාවගේ නම අල්තීනායි සුලෙයිමානාවා ය. ගුරුවරයා තැපැල් මහත්තයකු ලෙස සිය ජීවිතය කෙළවර කරන අතර එම ගුරුවරයාගේ සෙනෙහස යටතේ උගත් ශිෂ්‍යාව සිය ජීවිතය කෙළවර කරන්නේ මහාචාර්ය අල්තීනායි සුලෙයිමානාවා ලෙසය.

ශ්‍රී ලංකාව තුළ ද දුයිෂෙන් පරම්පරාවේ ගුරුවරු සිටිති. එසේම අල්තීනායිගේ පරම්පරාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද වෙති. මනුෂ්‍ය සංහතියේ ජන මනස ඔපවත් කළෝ දේශපාලනඥයන් නොව ගුරුවරුත් ශාස්තෘන් වහන්සේලාත් බව අප මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. ශ්‍රී ලංකාවේ ගුරුවරයා මෑතක් වන තුරුම ඛේදජනක චරිතයක්ව සිටියේය. සෑම කල්හිම දේශපාලකයන්ගේ බයිට් ලෙස පාවිච්චි වූ ඔවුහු නිරන්තරයෙන්ම දේශපාලන පලිගැනීම්වලට ලක්වෙමින් පළමුවෙනි සතියේ ඇඹිලිපිටියටත්, දෙවැනි සතියේ ත්‍රිකුණාමලයටත්, තුන්වැනි සතියේ බිම්තැන්නටත් මාරුවීම් ලබමින් මානසික සහ කායික දණ්ඩනයට ලක්වූහ. මෙහිදී විශේෂ උදාහරණයක් එළිදක්වමු. කොළඹ ආසන්නයේ ජීවත් වූ එක්තරා විදුහල්පතිවරයකු විවිධ ආණ්ඩු මාරුවන හැම අවස්ථාවකදීම විශාල වශයෙන් දේශපාලන පලිගැනීම්වලට ලක්විය. ඔහු විසි හතර වතාවක් මාරු කරන ලදි. මෙය ඉවසා ගන්නට බැරි තැන මේ විදුහල්පතිවරයා විශ්‍රාම ගත්තේය. ඊළඟ පලිගැනීම පටන්ගන්නේ එතැන් සිටය. දේශපාලකයෝ ඔහුගෙන් තවදුරටත් පලිගැනීම සඳහා ඔහුගේ විශ්‍රාම වැටුප ප්‍රමාද කිරීමට පටන් ගත්හ. එයින් කලකිරුණු හෙතෙම ගෙල වැළලාගෙන සිය දිවි නසා ගත්තේය. මේ කතාව ලෝකයට කීම පිණිස ඔහුගේ පුත්‍රයා තවමත් ඉතිරිව සිටී. හෙතෙම ප්‍රකට ජාතික පුවත්පතක කතුවරයෙකි. මේ රටේ ගුරුවරු අදටත් මහත් දුක් විඳිති. ඔවුන්ට නිරන්තර වැටුප් විෂමතා තිබේ. ඒ නිසා වැඩ වර්ජනවලට යෑමටත්, පොලිසිවලින් ගුටි කෑමටත්, වැඩ තහනම්වලට ලක්වීමටත් ඔවුන්ට සිදුවී තිබේ.

වැඩිදෙනාගේ කල්පනාව වන්නේ ගුරු වෘත්තීය ඉතා පහසු රැකියාවක් ලෙසය. උදේ පටන්ගන්නා පාසල පස්වරු එකහමාරට අවසාන වන බවත් මේ නිසා ගෙවල්වලට ගොස් නිදහසේ ප්‍රයිවට් ටියුෂන් පාරක් කිරීමට ගුරු ප්‍රජාවට ඉඩ ලැබෙන බවත් සමාජය කල්පනා කරයි. එසේ ප්‍රයිවට් ටියුෂන් පාරවල් දිය හැකි නම් මේ රටේ ගුරුවරුන් සියලුම දෙනාට V8 වාහන මිලදී ගැනීමට පුළුවන. ප්‍රයිවට් ටියුෂන් යනු වෙනම වාණිජ්‍ය ස්ථරයකි. ඒ සඳහා වෙනම බ්‍රෑන්ඩ් එකක් Brand development වැඩසටහනක් යනාදිය අවශ්‍යය. මේ සඳහා විශාල මුදලක් වැය වේ. එහෙත් මේ රටේ ගුරුවරුන්ගෙන් 50% ටත් වැඩි පිරිසකට අදටත් පෞද්ගලික වාහනයක් නැත. උදේට බස් එකේ එල්ලී පාසලට යන මේ පිරිස හවසට බස්වලම එල්ලී ගෙවල් බලා යති. ගුරුවරුන් වැඩිදෙනා ගෙයක් හදා ගැනීමට පටන් ගන්නේ විශ්‍රාම ලද පසුය. එහෙත් ඒ ගෙවල්වලින් වැඩි හරියක් වහල මට්ටමට එන විට නවතින්නේ ඉන් එහා යෑමට මුදල් නැති හෙයිනි.

2021 සංඛ්‍යාලේඛනවලට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන රජයේ පාසල් ප්‍රමාණය 10155 කි. මේවායෙහි දූ දරුවෝ හතලිස් දෙලක්ෂයක් ඉගෙනුම ලබති. ඒ ළමයින්ට ඉගෙනීම සඳහා සිටින ගුරුවරුන් ගණන දෙලක්ෂ තිස් පන්දහස් නවසිය විසි හතරකි. ඉදිරියට ගෙන යනු පිණිස අවශ්‍ය ඥාන සම්පත බිහිකරන්නේ පෙරකී මානසික ශ්‍රම බලකාය බව අප මතක තබා ගත යුතුය. “අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යාම” කිසි වරදක් නොවේ. වරද ඇත්තේ ගුරුතුමා හැම දිනකම නොසතුටින් සහ කලකිරීමෙන් පාසල් යන්නේ නම් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment