මානව හිමිකම් සොමිය

1329

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසියකට සහභාගි වීමට ගිය සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අපේ රටට උපරිම ගෞරවයක් සහ තැනක් ලබාදුන් බව දැනගන්නට තිබේ. මේ දෙදෙනා සමගි ජනබලවේගයේ අය බව අප සඳහන් කරන්නේ එම පක්ෂයට මඩ ගැසීමට නොව එහි නායක සජිත් ප්‍රේමදාසට පෙරකී කරුමක්කාරයන් දෙදෙනා ගැන තේරුම්කරදී පාඩමක් ඉගැන්වීමට මගපාදනු පිණිසය. මේ දෙදෙනාගෙන් එක මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත්‍රීවරියක සම්බන්ධයෙන් තුච්ඡ සහ අවලම් අපහාසයක් කළ කෙනෙකි. අනෙක් මන්ත්‍රීවරයා එබඳු තිරිසනෙක් නොවේ. ඔහු දැඩි ලෙස ආණ්ඩු විවේචනය කරන නමුදු පාර්ලිමේන්තු සභා ගර්භයේදී කුණුහරුප කියන්නේ නැත. එහෙත් අවශ්‍ය අවස්ථාවේදී ඇතැම් මන්ත්‍රීවරයකුගේ චර්යාත්මක සළුව ගලවා ඒ තුළ තිබෙන කුණු ගොඩවල් හෙළි කිරීමට එකී මන්ත්‍රීතුමා සමත්ව ඇත. මෙතැන් සිට මේ දෙදෙනා විසින් කෙරුණු අපචාරය විස්තර කරනු ලැබේ.

ඉහත සඳහන් මන්ත්‍රීවරුන් දෙදෙනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට සහභාගි වීම සඳහා ජිනීවා යන්නේ පතෝල මැස්සක් වැනි කුඩා NGO කඩයක් අටවාගෙන සිටින පුද්ගලයකුගේ උදව්වෙනි. මේ මුදලාලි එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තම රාජ්‍ය නොවන සංවිධානය අතර සම්බන්ධයක් ඇති බව ලෝකයට පෙන්වීම සඳහා ව්‍යාජ ලාංචනයක් සහ නාමකරණයක්ද භාවිත කර ඇත. අපේ රටේ මිනිස්සු ඉතා පහසුවෙන් රැවටිය හැකිය. එම රැවටිල්ල මුදල් බවට පත්කර ගැනීමට ගතවන්නේ ඉතා කෙටි කාලයකි. මෙය වූකලී මහින්ද රාජපක්ෂගේ ප්‍රතිපත්තිවලට නොව ඔහුගේ උඩු රැවුලට ඡන්දය දුන් කාන්තාවන් සිටින රටකි. මානව හිමිකම් ගැන කිසිම දැනුමක් නැති පෙරකී මුදලාලිගේ සල්ලි වලින් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට ගිය සජබ මන්ත්‍රීවරුන් දෙදෙනා තමන් සහභාගි වන සැසිවාරය පසුදා උදෑසනට යෙදී තිබියදී පෙරදා රාත්‍රියේදී කරටි කැඩෙන්නට මත්පැන් පානය කළ බව දැනගන්නට තිබේ. මේ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් එක් අයකුට ඇත්තේම කසිප්පු මූණකි. මෙවැනි දෑ ලිවීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කිසිලෙසකවත් කඩ නොවන බවත් අප නීතිය හොඳාකාරවම දැනගෙන මේවා ලියන බවත් සඳහන් කළ යුතුය. ඔළුව කමිස සාක්කුවට වැටෙන තුරු මත්පැන් පානය කළ මේ දෙදෙනා පසුදින අවදිවන්නේ උදේ 11 ත් පසුවූ පසුය. ඒ වනවිට සැසිවාරය පටන්ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කිරීමට ඔවුන්ට තිබූ අවස්ථාව නැති විය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළු වාර ඉතිහාසයේ කවදාවත් මෙබඳු සිද්ධියක් වාර්තා වී නැත. මෙය මේ රටට ලොකු අගෞරවයකි.

මේ රටේ වියළි කලාපයට යනවිට හේන් යායවල්වල හැදී ඇති විශාල ගස් මත ඇටවූ පැලවල් දැකිය හැකිය. හේන වැඩකරන කාලයට මේ පැල සක්‍රීය වන අතර හේන් වැඩ නිමාවීමෙන් පසු පැල අත්හැර දමනු ලැබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සමුළුව පැවැත්වෙන හැම අවුරුද්දකම බි්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව කාගෙන් හෝ ගානක් කොටාගෙන ලංකාවට විරුද්ධව වාර්තා චිත්‍රපටයක් සාදා ප්‍රදර්ශනය කරන්නාක් මෙන් ක්ෂණිකව මතුවන රාජ්‍යය නොවන සංවිධාන රාශියක් තිබේ. මේ සංවිධාන කරන්නේ ඒ වෙලාවේ තිබෙන දේශපාලන හෝ මානව හිමිකම් ආතල් එකක් සොයාගෙන ඒ හරහා හත් අට දෙනකු ඇමරිකාවට සහ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට පැන්නවීමය. ඇතැම් සංවිධානයක් මෙසේ රට පැනීම සඳහා එක පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 50 ක් පමණ අය කරයි. මෙය Human Trafficking නමැති මිනිස් ජාවාරම යටතේ එන බලගතු වරදකි. මේ වරදට අනුබලදීම, සංවිධානය කිරීම, ක්‍රියාත්මක කිරීම සහ මුදල් ලබාගැනීම යන සියල්ලම හිරේ වැටෙන වැරදිය. මිනිසුන් රට පටවන ඇතැම් NGO වලට ඇත්තේ ගෙදරක තිබෙන කුඩා කාමරයක් බෝඩ් ලෑල්ලක් සහ පුටු කිහිපයක් පමණි. මෙවැනි NGO එකක් රෙජිස්ටර් කර මාස දෙක තුනකින් මේ රටේ අයගෙන් මුදල් කඩාගැනීමට හැකිය. වැඩේ දුරදිග යනවිට පිටරටින්ද මූල්‍ය සම්පත් ගලාඑන්නට පටන්ගනී. ඇතැම් අවස්ථාවලදී පිට රටවල සිටින කළු සල්ලු සුද්ද කරන්නන් තමන් නීති විරෝධී ලෙස ඉපයූ ධනය NGO එකට එවන ආධාර ලෙස මෙරටට එවා පිරිසිදු කර ගනිති. අරක්කු ටිකක් දෙනවා කී සැණින් අපේ අප්පුහාමිලා මෙකී මී කතුරුවලට හසුවෙති. ජිනීවා මානව හිමිකම් සැසියට කරුණු ඉදිරිපත් කිරීමට ගිය දෙදෙනා කිසිදු ආකාරයක ශාස්ත්‍රාලයීය වටිනාකමක් ඇති පුද්ගලයන් නොවේ. ඒ නිසා ඔවුන් වැදගත් දෙයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොතිබුණු බව අපගේ විශ්වාසය වේ. එහෙත් ජිනීවා මානව හිමිකම් සංගමය මේ දෙදෙනා දකින්නේ ලංකාව නියෝජනය කරන නියෝජිතයන් ලෙසය. මේ දෙදෙනා කුදාර් වෙන්නට ගසා දවල් 11 වනතුරු නිදාගත් විට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මානව හිමිකම් සමුළුවත්, එක්සත් ජාතීන්ගේ සෙසු ඒජන්සි සමූහයත් ලංකාව ගැන හිතන විදිහ ගැන අපි අමුතුවෙන් නොකියමු. පක්ෂය තුළ සිටින බේබද්දන් හදාගැනීම සෑම පක්ෂ නායකයකුගේම යුතුකම වේ. එය යුතුකමක් පමණක් නොව වගකීමක්ද වනු දැකීම අපගේ ප්‍රාර්ථනයයි.

advertistmentadvertistment
advertistmentadvertistment