අප ලැබූ නිදහස ජාතික නිදහසක්ද?

336

රටක නිදහසක් පවතින්නේ එරට තම ඉහළම ස්වාධීනත්වයක් සහිත අනන්‍යතාවක් සහිත ගොඩනංවාගත් සමාජ ආර්ථික දේශපාලන වැදගත්කම මත භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධනයක් අත්පත් කරගත හැකි ව්‍යුහයක් මත පිහිටා කටයුතු කරන්නේ නම් පමණි. එසේ නොවන තාක් කල් එරටටත් එහි රටවැසියන් ඇතුළු ගහකොළ සතා සිව්පාවන්ටත්, ස්වාභාවික සම්පත් වලටත් නිදහසක් නැත්තේය. එවිට ගොඩනැගෙන්නේ අරාජික වූත් පරාධීන වූත් අන්‍යන්ට ගැතිවූත් පාලන තන්ත‍්‍රයකි. ජාතික රාජ්‍යය අඩපණ වී, බිඳවැටී, රටත්, රාජ්‍යයත්, ජාතියත්, අනතුරේ හෙළීමය. විනාශයේ දිශාව වෙත ගමන් කිරීමය. මේ නිසා යම් රටක ජාතික නිදහසක් අත්පත් කර ගැනීමට නම් අනන්‍යතාවක් ගොඩනඟා ගත යුතුය. මේ සඳහා ජාතියකට රටකට නායකත්වය දීමට විසල් මනසකින් හෙබි නායකයන් පෙරටු කොටගත් සමාජ දේශපාලන ව්‍යාපාරයක් අත්‍යවශ්‍යය. සමාජ දේශපාලන ව්‍යාපාර එසේ නොවී බෙලහීන වන්නේ නම් රටක ජාතික නිදහසවත් රාජ්‍යයක්වත් ගොඩනැගෙන්නේ නැත.

අප ලැබූ නිදහස ජාතික නිදහසක්ද?
1972 ජනරජයක් බවට පත්වීම

යම් යම් ක්ෂේත‍්‍ර භෞතිකව දියුණුව පැවතියද සමස්ත ජන සමාජයම අතෘප්තිමත් භාවයෙන් පිරුණ, සමස්ත ක්ෂේත‍්‍රයම අර්බුදවලින් පිළුණුවුණු පරාධීන වුණ සමාජයක් බිහිවීම කිසිවෙකුටවත් වළක්වාලිය නොහැකිය. ලෝකයේ යටත් විජිත රටවලින් මිදී තම අනන්‍යතාව ගොඩනගා ගත නොහැකි බොහෝ රටවල් අද පත්ව ඇත්තේ කුරිරු ඉරණමකටය. මෙය මනා සිහිබුද්ධියෙන් යුතුව පසක් කර ගත යුතුව ඇත. එහිදී නිවැරදි දේ නිවැරදිව දකිමින් වැරදි දේ ද වැරදි බව නිවැරදිවම වටහා ගත යුත්තේය. අපි ජාතියක් විදිහට රටක් විදිහට මහා පරාජයක් අභිමුවේ ගමන් කරමින් සිටී. වසර 2600ක පෞඪ ඉතිහාසය තුළ අප ආ ගමන් මඟ විවිධාකාර වූ බාධක හමුවේ රටක් විදියට ජාතියක් විදියට අප මහා ශිෂ්ටාචාරයක් ගොඩනඟාගනිමින් එය රැකගනිමින් වර්ධනය කරන්නට ඇප කැප වූ ජාතියකි. ඒ තුළ අප ලැබූ දීර්ඝ කාලීන සමාජමය ජයග‍්‍රහණ මෙන්ම පරාජයන්ද බොහෝමය. විශේෂයෙන් 1505න් පසු බටහිර ආක‍්‍රමණයන්ට නතුවීම තුළ අප එතෙක් ආ ගමන් මඟ හා පදනම සුණු විසුණු කරන්නට අවශ්‍ය ක‍්‍රියා මාර්ගයන් ඔවුන් විසින් ගනු ලැබුවේ උඩින් මිතුරු යටින් හතුරු සංකල්පීය සැලැස්මකට අනුවය. ඒ සියල්ල යථාර්ථයක් බවට පත් කර ගැනීමට පෘතුගීසීන් හා ලන්දේසීන්ට නුපුළුවන් වුවද 1796 මෙරට මුහුදුබඩ ආධිපත්‍ය ගොඩනඟා ගත් නව ඉංග‍්‍රීසි අධිරාජ්‍යයට වසර 19කින් උඩරට ඇතුළු මුළු රට අත්පත් කරගත හැකි විය. පෘතුගීසීන් හා ලන්දේසීන් මෙරට උඩරට හැර මුහුදුබඩ පළාත් අවුරුදු 300කට ආසන්න කාලයක් සිය ආධිපත්‍ය පතුරා හරිමින් එම පළාත්වල ආර්ථික, සංස්කෘතික, දේශපාලන වෙනස්කම් බොහෝමයක් කරනු ලැබුවේ බලහත්කාරයෙනි. ස්වදේශික මුහුදුබඩ පළාත් ජනතාව අභියසට පැමිණියේ සිය බයිනෙත්තුව එක් අතකින්ද බයිබලය අනෙක් අතින්ද රැගෙනය. බයිනෙත්තුව හිසට තබා ඇස්වලට බයිබලය පෙන්විය. මේ ආකාරයට ඔවුන්ගේ ලෝක ආධිපත්‍යය පතුරා හරිමින් ලංකාව තමන් යටතේ තබා ගැනීමට නොගත් උත්සාහයක් නැත. උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට අවශ්‍ය සියලූම ආකාරයේ යුදමය සංග‍්‍රාමික මෙහෙයුම් දියත් කළ ද ඒ සියල්ල උඩරට සිංහල වීරෝදාර හමුදාව ඉදිරියේ පරාජය වන්නට විය. විශේෂයෙන්ම ලන්දේසීන් උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට මහත් ප‍්‍රයත්නයක් දැරීය. ඉන් අනතුරුව ඉංග‍්‍රීසින් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා යුදමය සංග‍්‍රාමයකින් උඩරට අත්පත් කර ගැනීමේ මෙහෙයුම 1802 දී දියත් කළද එය ඔවුන්ගේ සියලූම හමුදා භටයන් විනාශ වීමෙන්ම බරපතළ පරාජයක් හිමිවිය. යුද්ධයකින් උඩරට අත්පත් කර ගැනීමේ සිහිනය ඔවුන් විසින් අත්හලේ එය කළ නොහැකි නිසාවෙනි.

ඔවුන් අනුගමනය කළේ මිත‍්‍රශීලී දෑත් මතුපිටින් දික් කර අභ්‍යන්තරයෙන් හතුරු ආකල්පයක් මත පිහිටාය. ඒ සඳහා රහස් ඔත්තු සේවා ක‍්‍රමයකින් උඩරට රාජධානියේ රජු, වැසියන් සහ නිලමේවරුන් අතර බේද භින්න කොට ශක්තිමත් රාජ්‍ය දුර්වල කරමින් රාජ්‍ය බලය ඔවුන් ලවාම තමන් වෙත පවරා ගත හැකි ක‍්‍රමවේදයයි. ඒ සඳහා ඔවුන් ඔවුන්ගේම විශ්වාසවන්ත ඉංග‍්‍රීසි ජාතික තරුණ නිලධාරීන් පුහුණු කරවනු ලැබීය. මෙරට උඩරට රාජ්‍යයට එසේ රිංගවනු ලැබූ චරපුරුෂයා වූයේ ජෝන් ඩොයිලි නම් තරුණයාය. ඔහුට මෙරට බුදු දහම පිළිබඳව, චාරිත‍්‍ර වාරිත‍්‍ර පිළිබඳව, භාෂාව, සංස්කෘතික හැසිරීම පිළිබඳව හා කන බොන, අඳින පළඳින විදිහ පවා පුහුණු කරවන ලදි. වෙනස් වූයේ සමේ පැහැයෙන් පමණි. ඔහු උඩරට රාජ්‍යයේ පැවති සියලූ ක්ෂේත‍්‍රයන් තුළට ළංවිය. පන්සලටද, රජවාසලටද, උඩරට නිලමේවරුන්ගේ වලව්වලටද, හේනටද, කුඹුරටද, සමීපතම ලෙංගතු මිතුරෙකු විය. සියලූ සමාජ ස්ථරයන් බේද භින්න කිරීම තුළින් රජුට එරෙහිව සිය වැසියන් ප‍්‍රකෝප කිරීම, විශ්වාසය බිඳ වැට්ටවීම, ඔහුගේ ක‍්‍රියාන්විතය විය. ඒ සඳහා ඔහු අවුරුදු 10කට වැඩි කලක් උඩරට ජීවත් විය. අවසානයේ ඉංග‍්‍රීසීන් අධිරාජ්‍යයේ මනදොළ සපුරා ගැනීමට හැකි වූයේ සිය කැමැත්තෙන්ම අවුරුදු 2300 අඛණ්ඩව පැවත ආ රටත්, රාජ්‍යයත් ඔවුන්ට ගිවිසුමකින් පවරා දීමෙන් අනතුරුවය. එදා පටන් අද දක්වාම අප භෞතිකව හා අධ්‍යාත්මිකව අඩපණ වූ රටක් ජාතියක් විදිහටත්, අඳුරු අභාග්‍යසම්පන්න ගමන් මඟක ගිමන් හරින්නෙමු. සමාජමය වශයෙන් අබල දුබල ආර්ථිකමය වශයෙන් අබල දුබල, දේශපාලනික වශයෙන් අබල දුබල ඉරණමක උරුම කරුවන් වී සිටින්නෙමු. අපටම කියා දියුණු සමාජ සංස්කෘතියක උරුමකරුවන් වූ අප, අපටම කියා දියුණු ආර්ථික ක‍්‍රමයක උරුමකරුවන් වූ අප, අපටම කියා දියුණු පාලන ක‍්‍රමවේදයක් සහිත දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයට පත්ව සිටි අප, අද වන විට ඒ සියලූ අනන්‍යතාවන් සිඳබිඳගත් නන්නත්තාර වූ ජාතියක්, රටක් බවටත්, ජනතාවක් බවටත්, පත්ව ඇත. ධවල ඉංග‍්‍රීසි ජාතික අධිරාජ්‍යවාදීන් සැමදා උත්සාහ කළේ සුළු සුළු අසමානතා මතු කොට ජාතීන් බේද භින්න කිරීමටය. අප රටේ මෙය වඩාත් සාර්ථකව ඒ දේ ඉටු කරනු ලැබුවේ ස්වදේශික සිංහල ජනතාවට එරෙහිව විවිධ භාෂා කතා කරන මෙරටට විවිධ කාල වකවානුවලදී පැමිණ පදිංචි වූ දකුණු ඉන්දීය දෙමළ ජනතාවත්, අරාබිකරයේ සිට වෙළඳාමට පැමිණි මුස්ලිමානුවන්ද ප‍්‍රයෝජනයට ගනිමිනි.

ඔවුන්ගේ භූමියක ඇති අයිතිය පිළිබඳව සනාථ ඉදිරිපත් කරමින් ජන සමාජයට බලපාන තේසවලාමේ නීතිය එබන්දකි. මේ අනුව මෙරට ජනතාව ආගමික වශයෙන් භාෂාමය වශයෙන් සංස්කෘතිකමය වශයෙන් බේද භින්න කර වෙනස්කම් මතුකොට අසමගිය පදනම් කර ගනිමින් ශ‍්‍රී ලාංකීය ජාතියක් විදිහට රටක් විදිහට එක්සත්ව, එක්සිත්ව නැගී සිටීමේ ක‍්‍රමවේදය මුළුමනින්ම පොඩි පට්ටම් කරන ලදි. පොදුවේ මෙරට සියලූ ජාතීන්ටම ඇත්තේ පොදු සමාජ ප‍්‍රශ්නයකි. ආර්ථිකමය ගැටලූවලින් මිදීමේ තදබල වුවමනාව අප හැමෝටම ඇත. එය පසෙකලා වෙනත් වෙනත් කරුණු හා සාධක ඉස්මතු කරලීමේ දිගුකාලීන උගුලක අප සිරවී සිටින්නෙමු. එය සමාජීය වශයෙන් ගත් කළද, ආර්ථිකමය වශයෙන් ගත් කල ද, සංස්කෘතිකමය වශයෙන් ගත් කලද, පවතින තත්ත්වය එසේමය. අප ලැබූ නිදහසේ නියම අරුත වටහා දීමේ වුවමනාවක් අපට ඇත්තේය. එය නිවැරදිව වටහා ගැනීමේ තේරුම් ගැනීමේ වුවමනාවක්ද අත්‍යවශ්‍යය. රටක් ගොඩනංවාලීමට අප ආ ගමන් මඟ ඓතිහාසිකව විග‍්‍රහ කර වටහා ගැනීමේ ප‍්‍රබල වුවමනාවක් අප හමුවේ අද ඉතිරිව ඇත. මෙය වටහා නොගෙන රටක් ගැන, එහි රටවැසියන්ගේ ඉරණම හා ඉදිරි මඟ පිළිබඳව නිවැරදි තීන්දු තීරණ ගත නොහැකිය. ඉතිහාසය තුළින් වර්තමානයත්, අනාගතයත් ගොඩනංවාගත යුතුය. අප නිදහස ලබා වසර 73කට ආසන්න වී ඇත. එහෙත් ඒ නිදහස ආර්ථිකමය වශයෙන් අර්ථ පූර්ණත්වයට පත්ව ඇත්ද? භෞතිකව මහා ලොකු ගොඩනැගිලි, සුවිසල් කඩිනම් සංවර්ධන යෝජනා ක‍්‍රම, දියුණු මහා මාර්ග පද්ධති තිබූ පමණින් රටක සංවර්ධනය පිළිබඳව තීරණ ගත නොහැකිය. මේ සියලූ සංවර්ධන උපාය මාර්ගය අභිමුවේ මහා ණය උගුලක අප සිරගත වී නොමැත්තේද? ඒක පුද්ගල ණය ප‍්‍රමාණය රුපියල් ලක්ෂ 5 – 6 අතර අගයක් ගනී. එපමණින්ම අපට වටහා ගත හැක්කේ ආර්ථිකමය නිදහසක් අපේ ජනතාව ලබා ඇත්ද යන්නය. මහා පරිමාණ අවිධිමත් නිසි පාරිසරික ඇගයීම් නොමැති ව්‍යාපෘති නිසාවෙන් රටේ සමස්ත පාරිසරික පද්ධතියටත්, ජනතාවටත් බලපාන අනිසි ඵල විපාක ආර්ථිකමය ඉලක්කම් වලින් ගණනය කර වටිනාකම් තීරණය කළ නොහැකිය. මේ පිළිබඳව විසල් මනසකින් මේ සමාජමය සංවර්ධන අර්බුදය සමඟ සංවර්ධන මොඩලය වටහා ගත යුත්තේය.

අපේ අනන්‍යතාව නිවැරදිව හඳුනාගෙන අතීතයේ අහස පරදවන මුළු මහත් ලෝකයටම දායාද කළ විශ්මිත නිර්මාණ අපි ගොඩනැංවූවන් වන්නෙමු. එකල රටට ලෝකයට ණය නැති සුවිසල් වාරිමාර්ග පද්ධති, වෙහෙර විහාර, ලෝවාමහාපාය වැනි සත්මහල් ප‍්‍රාසාද අපේ මුතුන් මිත්තන් ගොඩනැගුවේ බටහිර ඉංජිනේරුමය හෝ ඉටහිර රටවල ණය ආධාර මත නොවේ. අපේ රටේ සමස්ත නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නංවා අප මිනිසුන්ද එකමුතුකමක්, එක්සත්කමක් සමඟ බැඳුණු ආධ්‍යාත්මික ශක්තියේ බල මහිමයෙනි. අද ලොව වෙනස්ය. දියුණුය. මෙය සැබෑවකි. නමුදු අපේ රටට අනන්‍ය සියලූ සලකුණු සිඳ බිඳ නන්නත්තාර වී සිටින මොහොතක නන්නත්තාර කර සිටින මොහොතක වෙනත් බලවත් රටවල් හා ලෝක බැංකු හෝ වෙනත් ආධාර බැංකු මත යැපෙන ගැත්තන් වූ බෙලහීන අදූරදර්ශී නායකත්වයට ස්වාධීන ශක්තිමත් මනසක් නැත්තේය. දැක්මක් නැත්තේය. සියල්ලට පෙර සිතන්නේත් සිතෙන්නේත් වෙනත් රටවල ක‍්‍රමවේදයන්ය. ඒ නිසාම අපේ නායකයෝ පාරම් බාන්නේ අපි නුදුරු අනාගතයේදී සිංගප්පූරුවක් කරනවා…. ඇමරිකාවක් කරනවා…… මැලේසියාවක් කරනවා වැනි අබල දුබල ප‍්‍රකාශයන්ය. සිංගප්පූරුවේ ලී ක්වාන් යූ මුල් කාලයේ ප‍්‍රකාශ කළේ අප අනාගතයේදී ශ‍්‍රී ලංකාව වගේ රටක් ගොඩනංවනවා යැයි කියාය. ලෝකයේ එදා අබල දුබලව පැවති රාජ්‍යයන් අද මහා බලසම්පන්න රාජ්‍යයන් බවට පත්ව ඇත්තේ ඔවුන් ඔවුන්ගේම ජාතික ඉලක්කයන් වෙනුවෙන් ඔවුන්ටම අනන්‍ය වූ සමාජ, ආර්ථික, දේශපාලන සංවර්ධන උපාය මාර්ගයන් නිවැරදිව නිසි කලට වේලාවට හඳුනා ගනිමින් ක‍්‍රියාවට නැංවීම නිසාවෙනි. උගුලක සිරවීමය.
අනුරාධ තෙන්නකෝන්
සභාපති
ජාතික ගොවිජන එකමුතුව

advertistmentadvertistment
advertistmentadvertistment