2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල – සත්සාමාජික රග්බි රන් පදක්කම දෙවැනි වරටත් ෆීජි දේශයට

160

ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි සත් සාමාජික පිරිමි රග්බි පාපන්දු රන් පදක්කමට පිට පිටම දෙවන වරටත් හිමිකම් කියන්නට සමත්වූ ෆීජි දේශය ඊයේ (28* ජපානයේ ටෝකියෝ අගනුවර පැවැති තීරණාත්මක අවසාන මහා තරගයේදී ප‍්‍රතිවාදී නවසීලන්තය පරාජයට පත් කළේය.

ෆීජී සහ නවසීලන්තය අතර පැවති අවසාන මහා තරගයේදී ලකුණු 27 – 12 ක පහසු ජයග‍්‍රහණයක් හිමි කර ගැනීමට ෆීජි ක‍්‍රීඩකයින් සමත් වූයේ තම අපරාජිත බව නැවත වතාවක් සනාථ කර ගනිමින් වීම කැපී පෙනුණි.

ජයග‍්‍රාහී ෆීජී පිල ගෝල් දිනුම් 02 ක් උත්සාහක දිනුම් 02 ක් සහ එක් දඬුවම් පහරක් මගින් තම ලකුණු එකතුව සටහන් කරගත් අතර පරාජිත පිලේ ලකුණු එක් ගෝල් දිනුමකින් හා එක් උත්සාහක දිනුමකින් සටහන් විය.

ඒ අනුව ප‍්‍රබල නවසීලන්තයට රිදී පදක්කමෙන් සෑහීමට පත් වන්නට සිදු වූ අතර ලෝකඩ පදක්කම ආර්ජන්ටිනාව සතු විය.

ඔලිම්පික් ඉතිහාසයේ දෙවන වරට ක‍්‍රියාත්මක කෙරුණු මෙවර රග්බි පාපන්දු තරගාවලියේ තීරණාත්මක අවසන් පූර්ව වටයේදී නවසීලන්තය හමුවේ මහා බි‍්‍රතාන්‍යය ද ෆීජී හමුවේ ආර්ජන්ටිනාව ද පරාජය ලැබීය.

මෙවර තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සංඛ්‍යාව 12කි. 2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලෙහි රග්බි පාපන්දු අවසාන මහා තරගයේදී බි‍්‍රතාන්‍යය ලකුණු 43 – 07 ක් ලෙස පරාජයට පත් කරමින් පළමු වරට ශූරතාව තහවුරු කර ගැනීමට ෆීජී ක‍්‍රීඩකයෝ සමත් වූහ.

මෙවර කාන්තා රග්බි පාපන්දු තරගාවලිය හෙට (30) සහ අනිද්දා (31) පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment