අන්ධකාර කුමන්ත්‍රණය ?

1172

ලෝකයේ රටවල් බොහොමයක් විදුලි ආලෝකය දැකීමට පෙර ලංකාව එය දුටුවේය. එවකට සිලෝන් යන නමින්, බි්‍රතාන්‍ය කොලනියක්ව තිබූ ලංකාවට 1882 දී S S Helios නමැති නැවක් පැමිණියේය. එය සාම්ප්‍රදායික දුම් නැවකි. එය වැඩකළේ ගල් අඟුරු වලිනි. මේ නැවේ වැදගත් වෙනසක් තිබිණි. එනම් මෙය ඩීසලවලින් වැඩකරන ජෙනරේටර් කිහිපයකින් සමන්විත වීමය. රාත්‍රී කාලයේදී මේ නැවේ ලයිට් පත්තුකළ කල එය සුරලෝකයෙන් කැබැල්ලක් තරමටම දර්ශනීය ලෙස පෙනෙන්නට විය. 1890 දී ඉංග්‍රීසි පාලකයන් විසින් ලංකාවට ඩීසල් ජෙනරේටරයක් ගෙනෙන ලදී. මේ කාලයේදී බි්‍රස්ටල් නමැති හෝටලයක් කොළඹ කොටුවේ තිබිණි. බේබද්දන්ගේ ආදරණීය නවාතැනක් වූ මේ හෝටලයේ බිලියඩ් කාමරයේ ලංකාවේ පළමු විදුලි පහන දල්වන ලදී. එය කුඩා ඩීසල් ජෙනරේටරයක ආධාරයෙන් කළ වැඩකි. 1895 දී බි්‍රස්ටල් හෝටලයේම පිහිටි කාමරයක Baustead සහෝදරයෝ (පසුකාලයේදී විටෝල් බවුස්ට්ඩ් සමාගම) කුඩා බලාගාරයක් පටන්ගත්හ. මේ මගින් කොළඹ පිහිටි කාර්යාල කිහිපයකට විදුලිය ලබාදෙන ලදී. 1902 දී ලංකාවට ට්‍රෑම් කාර් පැමිණියෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට විදුලිය වුවමනා වූ නිසා කොළඹ ගෑස් පහ හන්දියේදී pettah power station කොම්පැනිය පටන්ගන්නා ලදී. ලංකාවේ විදුලි කතාව මෙතනින් නවතින්නේ නැති අතර දිගටම ගොස් ඉන්දියාවටත් විදුලිය විකුණන තැනට අද ඇවිත් තිබේ. ඉන්දියාවට විදුලිය විකිණීම දේශපාලන පොරොන්දුවකි. කෙසේ වුවද මීට අවුරුදු 100 ට පෙර කැකුණ පන්දම් එළියෙන් රැය ගතකළ ජනතාවක් විසූ මේ රට තුළ අද විදුලිය කැපිල්ලක් සිදුවුණොත් මරාගෙන මැරෙන තත්ත්වයක් හටගනී. ආසියාවේ අඛණ්ඩ විදුලිය සැපයුම ඇති රටක් ලෙස ලංකාව සැලකේ. ඒ නිසා මේ රටේ ජනතාව ස්වකීය දෛනික ජීවිතය තුළදී මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී කරන්ට් එක සමග අතිශය සම්බන්ධයක් පවත්වයි. ලයිට් කැපුනොත් ජනතාවට ගොඩක්ම රිදෙන්නේ ඒ නිසාය. අද මේ රටේ නාගරිකය තුළ ලයිට් නැතුව ජීවත්වීමට වඩා සියදිවි නසාගැනීම යහපත්ය.

පසුගිය සෙනසුරාදා සවස හිටිගමන්ම සමස්ත ලංකා විදුලි සැපයුම බිඳවැටී black out එකක් හටගත්තේය. සමහර පළාත්වල එක දිගට පැය 5 ක් ලයිට් නැති විය. සමහර තැන්වල පැය තුනෙන් ප්‍රශ්නය විසදුණි. මීට වඩා ලයිට් ගිය අවස්ථාවන් මේ රටේ තිබේ. ගෝඨාභය රාජපක්ෂට යන්නට වුණේ ලයිට් කැපිල්ල සහ තෙල් පෝලිම නිසාය. ජේ. ආර්. ජයවර්ධනගේ කාලයේ සිට මේ රටේ power cut ඇති විය. චන්ද්‍රිකාගේ කාලයේදී ද විදුලිය ඉතිරි කරගැනීම සඳහා ලයිට් කැපීමට ආණ්ඩුවට සිදුවූ අතර ඒ තත්ත්වය මැඬපැවැත්වීම පිණිස විශාල ජෙනරේටර් කිහිපයක් ඉතාලියේ සියතාවියෝ සමාගමෙන් හෝ වෙනත් තැනකින් මේ රටට ගෙන්වා කැලණිතිස්ස බලාගාරයේ සවිකර විදුලි සැපයුම ඉහළ නැංවීමට පියවර ගනු ලැබීය. මේ ජෙනරේටර් අතර ‘කොමිස් ජෙනරේටරයක්’ ක්ද වූ බව කියනු ලැබේ. එයින් නිපදවුණේ විදුලියේ නොව කොමිස්ය. ඒ කොමිස් දේශපාලනඥයනුත් නිලධාරීනුත් අතට ගියේය. ලංකාව දැන් සිටින්නේ ජල විදුලි බලය හෝ තර්මල් පවර් හෙවත් ගෑස්, ගල් අඟුරු, ජල විදුලිය වැනි මූලාශ්‍රවලින් නිපදවන විදුලියෙන් සංතෘප්ත විය හැකි තත්ත්වයක නොවේ. මේ රටේ විදුලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා පරමාණු බලාගාරයක් අවශ්‍ය වී තිබේ. එහෙත් මේ රටේ පරමාණු බලාගාරයක් ඇතිකිරීමට නම් අප ඉන්දියාව ශේප් කරගත යුතුය. නැතහොත් පරමාණු බලාගාරය සාදා එය පවත්වාගෙන යෑමට ඉන්දියාවට අවසර දිය යුතුය. ඊළඟට රුසියාවේ චර්නොබිල් පුපුරා ගියා හා සමානව අපේ බලාගාරයත් පුපුරනු ඇතැයි කියමින් බහුජන විරෝධතා ව්‍යාපාර ඇතිවීමට ඉඩ තිබේ. මේ අය පලවා හැරීමට වෝටර් කැනන්වලින් වතුර ලීටර් ලක්ෂ ගණනක් විදීමට සිදුවනවා ඇත.

පසුගියදා හටගත් විදුලිය ඇන හිටීමේ ක්‍රියාවලිය කුමන්ත්‍රණයක් ලෙස දැකීමට බොහෝදෙනා කැමතිය. එහෙත් මෙය කුමන්ත්‍රණයක් නම් මේ වන විට ආණ්ඩුව පෙරළී විදුලිබල මණ්ඩලයේ සභාපතිතුමා ජනාධිපති වී සිටිය යුතුය. එහෙත් එය කිසිදු කුමන්ත්‍රණයක් නොව පද්ධතියේ දෝෂයක් බව විදුලි බල මණ්ඩලය මගින් නිවේදනයකින් දන්වනු ලැබ තිබේ. ලංකාවේ ජනයා හිතන විදිහේ ලොකු අවුලක් තිබේ. කිසියම් තැනක ලොකු පිපිරුම් ශබ්දයක් ඇතිවූ විට ජනයා සිතන්නේ එය බෝම්බ හඬක් බවය. එසේම මුහුදේ රළ වෙනදාට වඩා දැඩිව නැගෙන්නේ නම් ඔවුන් හිතන්නේ සුනාමියක් ළඟ එන බවය. පාරේ ලොකු ට්‍රැෆික් එකක් තිබුණොත් රිය අනතුරක් ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. එහෙත් ඒ ට්‍රැෆික් එක සිදුවන්නේ මහ මග වාහනයක් break down වීමෙන් විය හැකිය. අප චින්තනමය වශයෙන් ඉදිරියෙන් සිටින්නේ මෙවැනි කාරණාවලදී පමණි. යල සහ මහ දෙකන්නය අතර තිබෙන අතුරු කන්නයේදී වගාවක් කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිව්වොත් මිනිස්සුන්ට ඈනුම් යන්නට පටන් ගනී. අතුරු කන්නයකදී කුමක් වගා කළ හැකි දැයි ප්‍රශ්න කරන ඔවුහු එයට විශේෂඥ උත්තරයක් ලැබෙන්නට පෙරම රූපවාහිනිය හා ගුවන්විදුලිය වසා දමති. කවුරු කොහොම කිව්වත් මේ ලෝකය භ්‍රමණය වන්නේ විදුලි බලයෙනි. මේ විදුලි බලය විශ්ව ශක්තියෙන් හෝ අන් විකාර ශක්තියකින් නොලැබෙන අතර අප විසින්ම නිපදවාගනු ලැබිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment