භූමිතෙල් මිල  පොඩි මිනිහා  බිමටම තලයි

207

* ධීවරයෝත් අසරණවෙති

* මාළු මිල තවත් ඉහළ යන ලකුණු

* වතු,ධීවර,ගොවි,  මහල් නිවාස ජනතාව නන්නත්තාරයි

* භූමිතෙල් සහනාධාරයෙන් සංස්ථාවට වසර 7ට මිලියන 35129ක පාඩුවක්

* අඩු ආදායම් පවුල් සඳහා  ඍජු සහනාධාරයකට යෝජනා

භූමිතෙල් මිල  පොඩි මිනිහා  බිමටම තලයි

භූමිතෙල් මිල සියයට දෙසිය අසූවකට වැඩි මිලකින් (රුපියල් 253) ඉහළ දැමීම නිසා ධීවර, වතු, ගොවි, මහල් නිවාස, අඩු ආදායම්ලාභීන් මෙන්ම සමස්තයක් වශයෙන් ගත් කළ පොඩි මිනිසුන් තව තවත් විපතකට පත් කර තිබේ.

රුපියල් 87ක්ව පැවැති භූමිතෙල් ලීටරය ඛනිජ තෙල් සංස්ථාව විසින් පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 340ක් එනම් තිබුණු මිලට වඩා රුපියල් 253කින් වැඩිකර ඇත.

මාස ගණනාවක් තිස්සේ භූමිතෙල් නොලැබීම නිසා ධීවර සහ වතු ආශ්‍රිත ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටියහ. බොරතෙල් ලැබීමෙන් පසු සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ඇරඹීම නිසා භූමිතෙල් නිෂ්පාදනය ද ආරම්භ කර තිබේ.

භූමිතෙල් මිල වැඩිවීම නිසා ධීවර කර්මාන්තයේ බෝට්ටු 25,000කට අධික ධීවරයින්ට වැඩිපුරම බලපා ඇත අතර ලක්‍ෂ 05කට අධික පිරිසක් එම කර්මාන්තයේ නිරතව සිටිති. පසුගිය කාලයේ ප්‍රමාණවත් පරිදි භූමිතෙල් නිසා මාළු මිල ඉතා ඉහළ ගොස් තිබිණි. අඩු මිලට භූමිතෙල් ලබාදෙන්නේ නම් මාළු මිල අඩුකළ හැකි බව ධීවරයින් පවසා තිබිණි.

භූමිතෙල් මිල ඉහළ දැමීම නිසා වතු, මහල් නිවාස සහ අඩු ආදායම් පවුල් දැඩි අසීරුතාවට පත්ව සිටිති. තමන්ට වැඩි මිලක් ගෙවා ගෑස් මිලදී ගැනීමට නොහැකිව තිබූ බවත්, අඩු මිලට භූමිතෙල් ලබාගෙන ඉවුම් පියුම් සිදුකරගත් බවත් ඔවුහු පවසති. මේ ආකාරයෙන් භූමිතෙල් මිල ඉහළයෑම තමන්ට දරාගත නොහැකි බව ඔවුහු කියා සිටිති.

මෙහිදී ඇතැම් පිරිස් කියා සිටියේ ආණ්ඩුව බලයට පැමිණි දා සිට පාඩුයි පාඩුයි කියන බවත්, එසේ පාඩු ලැබුවේ ජනතාවගේ වරදින් නොවන බවත්ය.

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් හා ඇඟලුම් කර්මාන්තයේ නිරත සේවකයෝද භූමිතෙල් මිල ඉහළයෑමෙන් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මෙවැනි පිරිස් වෙනුවෙන් රජයෙන් සහනාධාරයක් ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ අතර භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත් වර්ෂ 07ක් තුළ රුපියල් මිලියන 35129 ක මුදලක් මහාභාණ්ඩාගාරයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

රජය විසින් තීරණය කළ මිල ගණන් යටතේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් භූමිතෙල් අලෙවිකරනු ලබන අතර කිසියම් මිල අඩුවීමකදී සංස්ථාවට සිදුවන පාඩුව රජයේ සහනාධාරයක් ලෙස පියවීමට රජය එකඟවී තිබුණි.

2014 වර්ෂයේදී සිට 2020 වර්ෂය දක්වා වූ කාලය තුළ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට භූමිතෙල් සහනාධාරය සඳහා ලැබිය යුතු මුළු සහනාධාර මුදල රුපියල් මිලියන 35987 කි. එහෙත් 2020 වර්ෂය අවසන්වනවිට මහාභාණ්ඩාගාරය විසින් සහනාධාර මුදල් වශයෙන් ප්‍රතිපූරණය කොට ඇත්තේ රුපියල් මිලියන 4459ක මුදලක් බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මහාභාණ්ඩාගාරය විසින් භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූරණය කිරීම පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් සිදුකොට නොමැති අතර එම නිසා සංස්ථාව විසින් 2017 වර්ෂයේ සිට භූමිතෙල් සහනාධාරය මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගෙන නොමැති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2020 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.

මේ අතර භූමිතෙල් මත යැපෙන අඩු ආදායම්ලාභී පවුල්, ධීවර සහ වැවිලි ක්‍ෂේත්‍රයේ පිරිස් සඳහා ඍජු මුදල් සහනාධාරයක් ලබාදීමට රජයට යෝජනා කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ටිව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.

භූමිතෙල් මිල සංශෝධනය කිරීම වසර ගණනාවක් තිස්සේ සිදුවිය යුතුව තිබූ දෙයක් බව ද ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට එක් ප්‍රධාන හේතුවක් භූමිතෙල් සහන මිලට විකිණීම බවද ඇමැතිවරයා සිය ටිව්ටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

චමින්ද සිල්වා, ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment