වැලි බලපත්‍ර අස්සේ කෝටි 27ක් දියවෙලා

81

නිලධාරීන්ගේ පැටිකිරිය හොයන්න කමිටුවක්

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ඉඩම්වල වැලි කැණීම සඳහා බලපත්‍ර ලබාදීමේ දී ඉඩම් පරිහරන ගාස්තුව නියමිත පරිදි අයකර නොගැනීම නිසා අධිකාරියට රුපියල් විසිහත්කෝටි, අසූ හය ලක්ෂ, අසූ පන්දහස්, හයසිය හැටපහක ආදායමක් අහිමි වී ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක සඳහන් වෙයි.

මහවැලි සී කලාපයට අයත් ඉඩම්වල වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීමේ දී 2016, 2017, 2018 යන වර්ෂවල මාසයකට අදාළ ඉඩම් පරිහරණ ගාස්තු පමණක් අයකර වැලි කැණීම් බලපත්‍ර 386ක් නිකුත් කර තිබුණි.

මේ අනුව වැලි කැණීම් බලපත්‍ර සඳහා ඉතිරි කාලයට අයවිය යුතු බලපත්‍ර ගාස්තු මුදල අයකර ගැනීමට නොහැකි වී තිබුණි. මහවැලි අධිකාරියට රුපියල් කෝටි 27කට වඩා වැඩි මුදලක් අහිමි කිරීම සම්බන්ධව වගකිවයුතු නිලධාරීන් කවුරුන්ද යන්න සහ කැණීම් බලපත්‍ර ලබා දීමේ දී වගකීම් විරහිතව ක්‍රියාකළ හා පසුව ඒ සම්බන්ධව නිසි අධීක්ෂණයක් සිදුනොකළ නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදුකර වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අධිකාරිය විසින් කටයුතු කර නොතිබුණු බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

අධිකාරියට අයවිය යුතු ආදායම අහිමි කිරීමට වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් මෙකී මුදල් අය කර ගැනීමට නොපමාව කටයුතු කළයුතු බව ද විගණනය මගින් නිර්දේශ කර ඇත. මේ පිළිබඳ මහවැලි සංවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ කෝටි 27කට වඩා වැඩි ආදායමක් රජයට අහිමි කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් හඳුනා ගැනීම සඳහා වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ සභාපතිත්වයෙන් කමිටුවක් මගින් පරීක්ෂණයක් සිදුකර ඇති බවය. එම විමර්ශනයේ නිර්දේශ මේ වන විට ක්‍රියාත්මක කර ඇති බව ද අධිකාරියේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment