ලෝකයම මවිත කරවන නාමල් උයන අනාගත පරම්පරාවට උරුම කර දෙන්න වනවාසි රාහුල හිමි මූලික වුණා

19

– අගමැති දිනේෂ් ගුණවර්ධන
නාමල් උයන ලෝකයට අරන් යන්න මාධ්‍ය කැමරාව සහ පෑන මට උදව් කළා

– නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමි

නාමල් උයන හා රෝස තිරිවාණා පර්වතය තවදුරටත් ආරක්ෂා කොට දයාද කළ යුතුයි. ලෝකයම මවිත කරවන, අපට උරුම වූ මේ මහා උරුමය මහත් දුෂ්කරතා ඔස්සේ අනාගත පරම්පරාවට ජෛව විවිධත්වයෙන් යුත් පරිසර පද්ධතියක් ජාතියට, දේශයට දයාද කළ වනවාසි රාහුල හිමිපාණන්ට අපේ ගෞරවය කෘතවේදීත්වය පිරිනමනවා යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය අප්‍රේල් 30 දා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේ ඔහු මේ බව කීවේය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන මෙහිදී ඇගයීමට ලක් කෙරිණි.

ලෝකයම මවිත කරවන නාමල් උයන අනාගත පරම්පරාවට උරුම කර දෙන්න වනවාසි රාහුල හිමි මූලික වුණා

ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්‍යා ගවේෂණ කෙටුම්පත් වාර්තාව එළිදැක්වීම හා ජාතික නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීමට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුමකට අත්සන් කිරීම ද මෙහිදී සිදු විය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

දැනුමේ උල්පත හා ජාතියේ වර්ධනය පණිවුඩය බවට පත්කළ දිවයින කර්තෘ එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ දෙපළ අප සිහිපත් කරන්නේ සතුටින්. නාමල් උයන වනවාසි රාහුල ස්වාමීන් වහන්සේ සඳහන් කළ පරිදි මාධ්‍ය ආයතන ජාතිය පුබුදු කළා. කර්තෘවරුන්, ලේඛකයන්, ජනමාධ්‍යවේදීන් හා විවිධ මාධ්‍ය ආයතන ඇති කළ ඒ ජාතික මහා පිබිදීම සමග නාමල් උයන අපේ රටට දායාද කරන්න අපේ නායක හාමුදුරුවො මැදිහත් වුණා. ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් හා විවිධ පර්යේෂකයන්ට ශත වර්ෂ ගණනාවක ඉතිහාසයක් ඇති නාමල් උයනේ රෝස තිරිවාණා ගල් පර්වතය හසු වෙන්නට ඇති. දකින්නටත් ඇති. නමුත් ලෝකයා ද මවිත කරමින් තවත් උත්තම දායාදයක් බවට නාමල් උයන පත්කරන්නේ රාහුල ස්වාමීන් වහන්සේයි.

නාමල් උයන හා රෝස තිරිවාණා පර්වතය තවදුරටත් ආරක්ෂා කොට, දියුණු කිරීමට අවශ්‍යයි. ලෝකය පර්යේෂණ නතර කරන්නේ නැහැ. ලෝකය අඛණ්ඩ පර්යේෂණවල යෙදෙනවා. නාමල් උයන කියන්නෙත් අඛණ්ඩ පර්යේෂණ වලට දායාද වී තිබෙන කේන්ද්‍රස්ථානයක්. අප රටේ වගේම ලොව අනෙකුත් රටවල පර්යේෂකයන්ට ද ශ්‍රී ලංකාව පර්යේෂණ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා.

මා අමාත්‍යවරයකු සමයේ දඹුල්ල නගරය තිබුණු තත්ත්වයෙන් ගොඩනැඟීමට ඔබ වහන්සේ හා අපි එකතු වුණා. එදා ඔබ වහන්සේ රෝස තිරිවාණා නිධියේ ආරක්ෂාව වෙනුවෙන් අපේක්ෂා කළ මූලස්ථානය මා ඔබ වහන්සේට ලබා දුන්නා වගේම ඉන් පසුව දඹුල්ල යළි

පණගැන්වීමේ හඬ බවට එම කේන්ද්‍රස්ථානය පත්වුණා. අද දඹුල්ල නගරය නොනිදන නගරයක් බවට පත්වෙලා. දඹුලු නගරය සංචාරකයන්ගේ හා වන්දනාකරුවන්ගේ ආකර්ෂණීය නගරයක් වුණේ ඔබ වහන්සේගේ කැපවීමෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සුභපැතුම් පණිවුඩයක් යොමු කර තිබූ අතර ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් එය සභාවට ඉදිරිපත් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමි –

මාර්තු මාසේ 28 වැනිදාට ජාතික නාමල් උයන ආරම්භ කර අවුරුදු තිස්තුනක් පිරුණා. එය අනුස්මරණය කිරීම සඳහායි, අද මේ උත්සවය පවත්වනු ලබන්නේ. ජාතික නාමල් උයන ආරම්භ කරලා, ඒ ගැන රටට පණිවුඩය

ගෙනියන්න රටේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මට සහයෝගය දුන්න නිසයි, අද මේ වගේ උත්සවයක් අරලියගහ මන්දිරයේ පවත්වන්න හැකි වුණේ.

එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ, වර්තමාන දිවයින ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක, වත්මන් ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි ඇතුළු එකී නොකී සියලුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය අද මාව මෙතැනට ගෙනාවා. මම ඒක අමතක කරන්නේ නැහැ. ඔබගේ කැමරාව, ඔබගේ පෑන ජාතික නාමල් උයන ලෝකයට අරගෙන ගියා. මගේ හෘද සාක්ෂිය දන්නවා මම කරන්නේ හරි දේ කියලා. මීට අවුරුදු පහකට කලින් මධ්‍යම සංස්කෘතික අරමුදලට නාමල් උයන භාර දුන්නා. මධ්‍යම සංස්කෘතික අරමුදල නාමල් උයන විධිමත්ව පවත්වාගෙන යෑමට කටයුතු කරන්න ඕනේ.

නාමල් උයන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයත් සමඟ අපි අද ගිවිසුමකට අත්සන් කරනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එකතුවෙලා ජාතික නාමල් උයන රැකගත යුතුයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ නවීකරණයක්, දැක්මක් නැහැ කියලා මට හිතෙන්නේ. ඒ අය කියන විදියට චක්‍රලේඛ, නීතිය හැමදේටම හරස් වෙනවා. මෙම මහඟු සම්පත ලෝක උරුමයක් වනු දැකීම එකම ප්‍රාර්ථනාවයි .

ජාති, කුලමල ආගම්වලින් තොරව ජාතික නාමල් උයනේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ තිදෙනකුට දේශමාන්‍ය ගෞරව සම්මාන පුද කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හිටපු කථානායක කරු ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, අසංක නවරත්න, යදාමිණි ගුණවර්ධන, වියට්නාම තනාපති හෝ තී තා තෘක්, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස සහ සියලු මාධ්‍ය ආයතන නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment