විදුලි සංදේශ නියාමන කොමිසම අවසර නැතිව කෝටි 14ක දිරි දීමනා දීලා -විගණනයෙන් කියයි

329

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය හා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන කාර්ය මණ්ඩලය සඳහා දිරි දීමනා, ප්‍රසාද දීමනා, ගෙවල් කුලී දීමනා හා භාවිතයට නොගත් නිවාඩු සඳහා දීමනා ලෙස රුපියල් දාහතර කෝටි දහඅටලක්ෂ විසිපන්දහස් අටසිය තිහක මුදලක් (141,825,830) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

2021 වර්ෂයේදී මෙකී දීමනා ගෙවා තිබුණි. කොමිෂන් සභාවේ මුළු වියදමින් පරිපාලන හා ආයතන වියදම් සඳහා සියයට 88ක් වැය කර තිබුණි. මින් කාර්යමණ්ඩල වැටුප් දීමනා ලෙස සියයට 65ක් ඇතුළත්ව තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. කෙසේ වුවද මෙකී ආයතනය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ වන විදුලි සංදේශ නියාමනය සඳහා වැයකොට ඇත්තේ මුළු වියදමෙන් සියයට 7ක් පමණක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

කොමිෂන් සභාවේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ 22 ඇ (1) (ආ) වගන්තිය ප්‍රකාරව කොමිෂන් සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව හා නීතිපති මගින් ලබා දී ඇති එකඟතාව මත මෙකී දීමනා ගෙවා ඇති බවය. චක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළයුතු බැව් විගණනය මගින් නිර්දේශ කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment