ප්‍රේමය සහ කාන්තාව ගැන කතා කරන – රැඩිකල් ප්‍රේමය

151

දුලාන් වීරසිංහගේ නාට්‍ය නිර්මාණයක් වන ‘රැඩිකල් ප්‍රේමයක්’ එළැඹෙන ජූලි 01 වැනිදා මරදාන ටවර් හෝල් රඟහලේදී සවස 3.30 ට සහ රාත්‍රි 7.00 ට වේදිකා ගත කෙරේ. දුලාන් සමග මේ කතාබහ ඒ නිමිත්තෙනි.

දුලාන් මොකක්ද මේ ‘රැඩිකල් ප්‍රේමයක්’ කියන්නේ?

මේක පර්යේෂණාත්මක නාට්‍යයක්. මේ නාට්‍ය මම මීට කලින් උසස් පෙළ අවසන් කරලා ගෙදර ඉන්න කාලසීමාවේදී ආපු අදහසක් අනුව තමයි නිර්මාණය කළේ. 2016 වසරේ මම මේ නාට්‍ය නිෂ්පාදනය කරලා වයඹ නාට්‍ය උළෙලට ඉදිරිපත් කරනවා. ඒ වසරේ මේ නාට්‍යයට සම්මාන දහතුනක් හිමිවෙනවා. ඊට පස්සේ මගෙ අධ්‍යාපන කටයුතු එක්ක මේ නාට්‍ය අතර මග නැවතිලා දැන් මේ නාට්‍ය නැවත ප්‍රති නිර්මාණය කරලා තිබෙනවා.

රැඩිකල් ප්‍රේමයට රංගනයෙන් දායක වෙන්නේ කවුද?

2016 වසරේ රඟපෑ ගොඩක් කට්ටිය මේ නාට්‍යයේ දැන් නැහැ. මෙවර මම එක චරිතයක් හැර අලුත්ම පිරිසක් එකතු කර ගන්නවා. ගියවර ප්‍රධාන චරිතය රඟපාලා හොඳම නිළිය සම්මානය දිනාගත් කෞමදි මහේෂිකා මෙවරද සම්බන්ධ වෙනවා. ඊට අමතරව භානු දිසානායක, සුධීක්‍ෂා සමාධි, සුලෝචනා හරපන්දෙණිය රංගනයෙන් දායක වෙනවා. තවද වනිඳු රත්නායක, පැතුම් ආකර්ෂණ, නිමංක ජයලත්, රවිඳු ගිම්හාන.

රැඩිකල් ප්‍රේමයක් දැකගන්න පුළුවන් කවදාද?

ජූලි 01 වැනිදා මරදාන ටවර්හෝල් රඟහලේ 3.30 සහ 7.00 කියලා දර්ශන වාර දෙකක් පවත්වනවා. එදාට අපේ මංගල දර්ශනය පවත්වනවා. මේක අපි සිනමාත්මක අත්දැකීමක් ලබාදෙන විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.

මේ නාට්‍යයේ තිබෙන විශේෂත්වය කුමක්ද?

මේකෙදි අපි ග්‍රීක රංග ශෛලය භාවිතා කරනවා. ඒ වගේම වර්තමානයේ නාට්‍ය කලාවන් ගේ තිබෙන ශිල්පීය ක්‍රමයන් භාවිතා කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. මේක ඇත්තටම ස්වතන්ත්‍ර නිර්මාණයක්. මෙහි පිටපත් රචනය, අධ්‍යක්‍ෂණය වගේම රංගන වින්‍යාසය මගේ. මේක අලුත් වැඩක්.

මෙවැනි නාට්‍යයක් නිර්මාණය කරන්න හිතුවේ ඇයි?

මම කලාවට සම්බන්ධ වෙන්න කලින් වෘත්තියෙන් නීතිඥවරයෙක්. මම අධ්‍යාපනය කරන කාලයේ දකිනවා සමාජයේ කාන්තාවට ඇතිවෙලා තිබෙන තාඩන පීඩන වගේම ඔවුන්ට තිබෙන දරාගැනීමේ පරාසය. ඉතින් මම මේ කතාවටත් ප්‍රධාන තේමාව විදිහට තෝරා ගන්නේ කාන්තාව. ඇත්තටම මේකේ 28 කට 30 කට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා. ඒකේ කාන්තා චරිත දහයක් ඉන්නවා.

ඔබේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවාද?

මට ඕන වෙන්නේ කාන්තාව ඇතුළේ කොහොමද ප්‍රේමය ගලාගෙන යන්නේ. පිරිමියා තුළ කාන්තාව යම් භාණ්ඩයක් විදිහට හුවමාරු වෙන්නේ කොහොමද? ප්‍රේමය කොයි විදිහටද කාන්තාව දරා ගන්නේ. දැන් සමාජය තුළ තිබෙන ස්ත්‍රීවාදය අනුව කාන්තාවන්ගේ හැසිරීම සහ නවතම සමාජ තත්ත්වය මොනවාද කියන එක මේක ඇතුළේ සියුම්ව කතා කරනවා. ප්‍රේමය සහ කාන්තාව ගැන කතා කරන හින්දමයි මේකට රැඩිකල් ප්‍රේමය කියලා නම යොදලා තියෙන්නේ.

රැඩිකල් ප්‍රේමයක් රට පුරා අරගෙන යන්න සූදානමක් තිබෙනවද?

ඔව්. එහෙම අදහසක් තිබෙනවා. මේ වෙනකොටත් අපිට දර්ශන වාර කිහිපයක් ඇවිත් තිබෙනවා. කොළඹ දර්ශන වාර දෙකක් මේ වෙනකොට ඇවිත් තිබෙනවා. ඒ වගේම කොළඹින් පිට ප්‍රදේශවලත් දර්ශන වාර රැසකට ආරාධනා ලැබිලා තිබෙනවා. මේක විශාල පිරිසක් ඉන්න වැඩක් හින්දා විශාල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment