අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මයට හානියක් නෑ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

81

මේ වසරේ ජල සම්බන්ධතා ලක්‍ෂ දෙකක් ලබා දෙනවා – ඇමැති ජීවන් තොණ්ඩමන්

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

එම ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඊයේ (15 දා) පෙරවරුවේ එක් වෙමිනි.

දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (ජයිකා) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙහි පළමු අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මයට හානියක් නෑ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කඳුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටලුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා :

මෙම අමාත්‍යාංශය භාරගන්නා විට ජල සබඳතා 10,000ක් වත් ලබාදීමට නොහැකි වනු ඇතැයි කියා සමාජ මතයක් ගොඩනඟා තිබුණා. පසුගිය වසරේ පමණක් ජල සබඳතා 103,000ක් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසර අවසානය වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සභාපති ටනකා අකිහිකෝ යන මහත්වරුද කතා කළහ. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමැති එස්. එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්, ජපාන ජාත්‍යන්තර සහයෝගික ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොහොමද වැඩ කටයුතු…

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙන් ප්‍රදේශයේ කෘෂිකර්මයට හානියක් නෑ - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පැවරූ උළෙලට ඊයේ (15දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්වූ අවස්ථාවේ පාසල් දැරියන් පිරිසක් සමග කතා කළ අවස්ථාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment