රාජ්‍ය ව්‍යාපාර 15ක් වසයි

3034

85ක් ගැනත් වෙනම තීන්දුවක්

ඉතිරි ආයතන එලෙසින් ම: නව නීතිය ජනවාරියේ පාර්ලිමේන්තුවට

රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට රජය තීරණය කර ඇති අතර එය 2024 ජනවාරි මස මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනට මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් රාජ්‍ය ව්‍යවසාය ආයතන 130ක් පමණ ඇති බවට හඳුනාගෙන ඇති අතර ඉන් ආයතන 15 ක් ඈවර කර වසා දැමිය හැකි බවට හඳුනාගෙන ඇත. එසේම සෙසු ආයතන 115 න් 85කට පමණ රාජ්‍ය පාලනයක් අවශ්‍ය නැති බවට හඳුනාගෙන ඇති අතර ඒවා ඉදිරියේදී ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත.

රාජ්‍ය ව්‍යවසාය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා රජය විසින් නව නීතියක් කෙටුම්පත් කර ඇත්තේ මෙම ආයතන ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහාය.

ලබන වසර (2024) මුල එම නීතිය පාර්ලිමේන්තුවෙන් සම්මත වීමෙන් පසුව අදාළ ආයතන එම නව නීතියට අනුව ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

ලංකා විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ලංකා ගමනා ගමන මණ්ඩලය යන ආයතන 06 රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය යටතට අයත් නොවන අතර එම ආයතන සම්බන්ධ අදාළ ආයතන ගැසට් කර ඇති අමාත්‍යාංශයන් විසින් ඍජුවම ගනු ඇතැයිද දැනගන්නට තිබේ.

ඒ හැර රාජ්‍ය බැංකු මෙන්ම ඇතැම් ලාභ ලබන රාජ්‍ය ආයතනද මේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේදී ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රතිව්‍යුහගත කෙරෙනු ඇති බවද වාර්තා වේ.

මේ සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත නීතිය දැනට කෙටුම්පත් කර ඇති අතර එය නීති කෙටුම්පත් සම්පාදක වෙත සහ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු එය ලබන වසර (2024) මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම රජයේ අපේක්‍ෂාව වී තිබේ.

මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකය විසින් රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන ප්‍රතිපත්තියක් දැනටමත් සකස් කර ඇති අතර ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නව නීතියක් ගෙන ඒමෙන් අපේක්‍ෂා කරන්නේ එම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තිය එම නීතියට අනුකූලව ක්‍රියාත්මක කිරීම බවද තවදුරටත් ‘දිවයින’ ට වාර්තා වේ.

වසා දමන සහ ප්‍රතිව්‍යුහගතකරණ ආයතන හැර ඉතුරු වන සෙසු රාජ්‍ය ව්‍යවසාය ආයතන රාජ්‍ය අයිතිය යටතේ තවදුරටත් තබා ගැනෙනු ඇති බවද දැනගන්නට තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment