ළමයින්ගේ ක්‍රීඩාව හෙවත් ක්‍රිකට්

671

ඉතිහාස කතන්දර ඇත්ත නම් ක්‍රිකට් නමැති ක්‍රීඩාව මුලින්ම ලොව පහළවන්නේ ක්‍රි. ව. 1300 දී දෙවැනි එඩ්වඩ් රජතුමා එංගලන්තය පාලනය කරන කාලයේදී ය. එංගලන්තයේ මුල්වාසීන් වූ සැක්ෂන්වරුන් හෝ නෝමන්වරුන් විසින් බෝලයකට ලී පතුරකින් ගැසීමේ ක්‍රියාවලිය ක්‍රීඩාවක් බවට පරිවර්තනය කර එරට ළමා පරපුරට දෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. 1611 වන තුරුම ක්‍රිකට් පැවතුනේ ළමයින්ගේ ක්‍රීඩාවක් ලෙස ය. 1611 න් පසු මේ ක්‍රීඩාව වැඩිහිටි ක්‍රීඩාවක් වූ බවට එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයෙන් සාක්‍ෂි ලැබී ඇත. එනම් මේ ප්‍රාන්තයේ සිටි තරුණයන් දෙදෙනෙක් ඉරිදා පල්ලියේ දේව මෙහෙයට යෑම කට්කර ක්‍රිකට් ගැසීමට ගියහ. මේ සම්බන්ධයෙන් පල්ලියේ පූජකයෝ නඩුවක් විභාග කළහ. ක්‍රිකට් කුඩා දරුවන් විසින් පමණක් නොව වැඩිහිටියන් විසින් ද සෙල්ලම් කරන ලද්දක් බව අප දන්නේ එබැවිනි. කෙසේ හෝ වේවා ගත වූ අවුරුදු 500 ක පමණ කාලය තුළ ලෝකයේ රටවල් බොහෝමයක් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිහිටි ක්‍රීඩාවක් ලෙස ප්‍රගුණ කළහ. එසේ වුවද ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැඩිහිටියන්ගේ ක්‍රීඩාවක් බවට පත්ව සිට අද වන විට ළමයින්ගේ ක්‍රීඩාවක තත්ත්වයට ඇද වැටී ඇත. අපේ ක්‍රිකට් කණ්ඩායම මේ පරදින පැරදිල්ල ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ලියැවෙනු ඇත්තේ කිසිදු ආකාරයකින් මකා දැමීමට නොහැකි වන පර්මනට් ආකාරයෙනි. අපේ කතුවැකිය මෙතැන් සිට පටන් ගනු ලැබේ.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් එයට හිමි FORMER GLORY හෙවත් කලින් තිබූ ප්‍රභාසම්පන්න සහ ගෞරවනීය තත්ත්වයට ගෙන එන්නට නම් ලොකු දේවල් ලෙස පෙනී යා හැකි පොඩි දේවල් කිහිපයක් කළ යුතු බව අපගේ විශ්වාසය වේ. මෙහි පළමුවන පියවර විය යුත්තේ මේ රටේ ක්‍රිකට් බෝඩ් එක ප්‍රයිවට් කොම්පැණියක් ද නැත්නම් ආණ්ඩුවේ ආයතනයක් ද යන්න තෝරා බේරා ගැනීම ය. ක්‍රිකට් බෝඩ් එක වැඩකරන විදිය අනුව එය කිසිවිටෙකත් ආණ්ඩුවේ ආයතනයක් බව නොපෙනේ. දැනට මෙය පවතින්නේ ලංකාවේ ජනවාර්ගික යුද්ධය පැවතුන කාලයේදී වෙල්ලමුල්ලි වයික්කාල් හෝ කිළිනොච්චිය වැනි මුදා නොගත් ප්‍රදේශයක තිබෙන ක්‍රීඩා සමාජයක් ලෙස ය. එවැනි ක්‍රීඩා සමාජයක අරක්කු මෙන්ම කසිප්පුත් විකිණිය හැකිය. ක්‍රිකට් මෙන්ම කොළ තුනේ සූදුව ද කළ හැකිය. මේ දිනවල ක්‍රිකට් බෝඩ් එක සහ ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ අතර බලවත් ආරවුලක් පවතී. මේ ආරවුලේ ඉහළම අවස්ථාවකදී ක්‍රිකට් බෝඩ්එක යනු රජයේ දේපළක් නොවන බව එහි ප්‍රධානියෙක් පවසා තිබිණ. එහෙත් ක්‍රිකට් බෝඩ්එකේ සිදුවන වියහියදම් පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයට වගකීමක් තිබේ. එවිට එම ආයතනය ආණ්ඩුවේ ආයතනයක් බව අප තුළ හැඟීමක් හටගනී. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම යුගය අර්ජුන රණතුංගලාගේ යුගය විය යුතුය. ඊට පෙර සිටි අනුර තෙන්නකෝන් පරම්පරාවේ ක්‍රීඩකයෝ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර ක්‍රීඩාවක් ලෙස පොලිෂ් කර රණතුංග පරම්පරාවට භාර දුන් බව අපගේ හැඟීමය. 1996 දී ක්‍රිකට් ලෝක ශූරතාව ලංකාවට ගෙනෙන ලද්දේ අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පසු ක්‍රිකට් ආයතනය තමන් යටතට ගෙන එය ශුද්ධ පවිත්‍ර කර වෘත්තීයමය ආයතනයක් බවට පත් කිරීමට අර්ජුන රණතුංගට වුවමනා විය. එහෙත් ඔහු ක්‍රිකට් ආයතනය බාරගන්නවාට පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තේ යනවාටත් අකැමැති වූ දේශපාලනඥයෝ මේ රටේ බහුලව සිටියහ. ඒ නිසා අර්ජුනට පසුකාලීනව මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා කටින් මිස අතින් දායකවීමේ අවස්ථාවක් ලැබුණේ ම නැත. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත වතාවක් ළමයින්ගේ ක්‍රීඩාවක් බවට පත්වී ඇති බව අපි මුලදීම කීවෙමු. පසුගියදා පැවති ක්‍රිකට් පුහුණු සැසිවාරයකදී උපදේශකත්වය ලබා දුන් අර්ජුන රණතුංග අපගේ කියමන ඔප්පු කරමින් වැදගත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ වූ කලී “ළදරුවොත් එක්ක ගිහින් වර්ල්ඩ් කප් දිනන්න බැරි බව” ය. ලංකාවේ ක්‍රිකට් බෝඩ්එක වඩාත් සුදුසු වන්නේ දාම් වැනි ක්‍රීඩාවක් මෙහෙයවීමට ය. අපේ කණ්ඩායම පිටරටක මැච් එකක් ගහන අතරේම දාම් අදින්නාක් මෙන් ක්‍රීඩකයන් එහාට මෙහාට මාරු කිරීමේ හසලත්වය පමණක් මේ මොහොතේ දී අපේ ක්‍රිකට් බෝඩ් එකටත් තේරීම් මණ්ඩලයටත් තිබේ. හැබැයි දාම් නොව චෙස් වැනි ක්‍රීඩාවක් ක්‍රිකට් බෝඩ් එක යටතට පවරා නොසිටීමට තරම් අප වගකීම් සහගත විය යුතුය. චෙස් යනු දාම් ක්‍රීඩාව මෙන් දහස් ගුණයක් අමාරු ක්‍රීඩාවකි. මඟදී තරගකරුවන් මාරු කිරීමට චෙස් ක්‍රීඩාවේදී නොහැක. මේ රටේ ජාතික ක්‍රිකට් කර්මාන්තයට මැදිහත් වී එහි සිටින දූෂිතයන් අයින් කිරීමට ක්‍රීඩා ඇමැති කටයුතු කළ යුතු බව අර්ජුන රණතුංග ඉහත සඳහන් පුහුණු සැසියේදී තවදුරටත් පැවසීය. අප විශ්වාස කරන්නේ මේ රටේ ක්‍රීඩා බලධාරීන් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා අර්ජුන රණතුංග, මුරලිදරන්, චමින්ද වාස් වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ලබා ගත යුතු බව ය. නැතහොත් ක්‍රිකට් බෝඩ් එක විසුරුවා හැර එහි තිබෙන සියලු කටයුතු කජුවත්තේ එක්සත් ක්‍රිකට් ක්‍රීඩා සමාජයට පවරාදීම වඩාත් සුදුසු ය. (කජුවත්තේ එක්සත් ක්‍රිකට් ක්‍රීඩා සමාජය යනු අන්තර්ජාලයේ තිබෙන කල්පිත ක්‍රීඩා සමාජයකි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කල්පිතය තුළ හැර යථාර්ථය තුළ ජීවත්වීමේ හැකියාවක් නැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් මුදල් වියදම් කළ ආකාරය ගැන විගණකාධිපතිතුමා විසින් පසුගියදා හෙළිදරව් කරන ලදි. මෙහිදී කොතරම් විශාල මුදල් නාස්තියක් සිදු වී ඇද්දැයි බලාගත හැකිය. මේ රටේ ක්‍රිකට් බෝඩ් නිලවරණයක් පැවැත්වෙන හැම වෙලාවකදීම අර්ධ ගරිල්ලා යුද්ධයක ස්වරූපයක් හටගනී. කවුරුත් බලා ඉන්නේ කවුරු හෝ කෙනෙක් නිලවරණය මැද්දට කඩාපැන බෝම්බ ගසනවා ඇතැයි යන භීතියෙනි. මීට අවුරුදු ගණනකට පෙර ක්‍රිකට් නිලවරණයක් පැවති අවස්ථාවකදී මැර කණ්ඩායමක් ඒ මැද්දට කඩාපැන අම්බානකට නෙළන්නට පටන් ගත්හ. මෙවැනි නීච ක්‍රියා ශිෂ්ට ලෝකයේ සිදුවන්නේ නැත. මෙහෙම ගියොත් තිබෙන ක්‍රිකට් බෝඩ්එකට කෙළවීම සඳහා විකල්ප ක්‍රිකට් බෝඩ්එකක් ඇතිවීමටත්, විකල්ප ජාතික ක්‍රිකට් කණ්ඩායමක් බිහිවීමටත් ඉඩ තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් බෝඩ් එකට පිළිගත හැකි ආකාරයට මේ විකල්ප ක්‍රිකට් බෝඩ් එක සහ විකල්ප ක්‍රිකට් කණ්ඩායම කටයුතු කළහොත් අපට සිදුවන්නේ එල්ලේ, බැඩ්මින්ටන් වැනි ක්‍රීඩා කරමින් රෑට ටීවී එකේ පෙන්වන විකල්ප ක්‍රිකට් කණ්ඩායමේ මැච් බැලීම පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment