චීන – ඇමෙරිකා – ඉන්දීය කඳවුරු අතර ඇඹරෙන බංකොලොත් ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය

646

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සමඟ බැඳීම් වර්ධනය කර ගැනීමට ඉන්දියාව විශේෂ උනන්දුවකින් ක්‍රියාකරයි. ශ්‍රී ලංකාව ද්‍රවිඩ ත්‍රස්තවාදය 2009 මැයි මාසයේදී පරාජය කර වසර ගණනාවකට පසුව මෙම මෙහෙයුම ආරම්භ විය. පසුව ක්‍රමානුකූලව ඉන්දියාව තම සැලසුම් වේගවත් කර ඇත. ඒ අනුව හමුදා අතර සම්බන්ධතා වැඩි කර ගැනීම සිදුවෙමින් පවතියි. එම ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාව සම්බන්ධව සමස්ත ඉන්දීය විදේශ ප්‍රතිපත්තියේ මූලික අංගයක් බව අවධාරණය කළ යුතුය. එය බටහිර බලවතුන් චීනයට එරෙහිව ක්‍රියාත්මක කර ඇති ඉන්දු – පැසිෆික් ප්‍රතිපත්තියටද සෑම අතකින්ම එකඟය. පසුගිය මාසයේදී ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට නාවික හමුදා යාත්‍රා මත නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානයක් ගොඩ බැස්සවීමට අවශ්‍ය පුහුණුව ශ්‍රී ලංකාවේදී ලබා දුන්නේය. ඊට අවශ්‍ය හෙලිකොප්ටර් යානයද ඉන්දියානු නිෂ්පාදනයක් විය. අදාළ පුහුණුවීම් කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සහ ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රාවක් ලබා දුන් බව ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත. මෙම වර්ගයේ ඉන්දීය හෙලිකොප්ටර් යානයක් පළමුවරට ශ්‍රී ලංකාවේ මෙවැනි පුහුණු කටයුත්තකට යෙදවූයේ පසුගිය වසරේ මාර්තු 21-31 කාලයේදීය. ජනතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජනතා විරෝධය පුපුරා යෑමට ඉතාමත් කිට්ටු කාලයකදීය. ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පිහිටි පෞද්ගලික නිවාසය ඉදිරිපිට ජනතා විරෝධය පුපුරා ගියේ මාර්තු 31 දිනය.

අධි තාක්ෂණික චීන සමුද්‍ර පරීක්ෂණ යාත්‍රාවක් (Shin Yan 6) ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නැවතත් අභියෝගයට ලක්වී ඇත. ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ශ්‍රී ලංකාව අන්ත අසරණ තත්ත්වයකට පත්වී ඇත. වික්‍රමසිංහ – රාජපක්ෂ ආණ්ඩුව කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත. රට බංකොළොත් වී ඇති තත්ත්වය තුළ වෙන පක්ෂයක් බලයේ සිටියත් ඇමෙරිකානු භූමිකාව තුළ සිදුවෙන චීන – ඉන්දීය අරගලය හේතුවෙන් ශ්‍රී ලංකාවට අතිශය අර්බුදකාරී සහ තීරණාත්මක තත්ත්වයකට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදුවෙනු ඇත.

සමගි ජන බලවේගයේ (සජබ) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික නිදහස් පෙරමුණේ (ජනිපෙ) නායක විමල් වීරවංශ ඔක්තෝබර් අග කොළඹ වරායට පැමිණි අධි තාක්ෂණික චීන සමුද්‍ර පරීක්ෂණ යාත්‍රාව සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත දැඩි ලෙස හෙළා දැක ඇත. සජබ නායක අවධාරණය කර ඇත්තේ එජාපය කළමනාකරණය කළ ආකාරයට ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවිය නොහැකි බවයි. වර්තමාන ආණ්ඩුවේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තිය නිසා විදේශ සම්බන්ධතා පළුදු වී ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මෑතකදී ‘සක්වල’ සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 39 වැනි අදියර යටතේ අත්තනගල්ල උඳුගොඩ අරෆා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

චීනයේ පැවති ‘ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වන 3 වැනි එක තීරයක් සහ එක මාවතක් සමුළුවට’ සහභාගි වී නැවත කොළඹට පැමිණි හිටපු අමාත්‍ය වීරවංශ අවධාරණය කළේ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ගිවිසුම් පවා කඩන ආණ්ඩුවකට චීනයේ සහයෝහය ලැබෙන්නේ නැති බවයි. එම මන්ත්‍රීවරයා අවධාරණය කළේ තුන්වන පාර්ශ්වයක බලපෑම මත ඔක්තෝබර් මාසයේ මුල කොළඹට පැමිණීමට නියමිතව තිබූ චීන යාත්‍රාවේ ගමන සති කීපයකින් ප්‍රමාද කිරීම කිසිසේත් කළ නොකළ යුතුව තිබූ බවයි. එතුමා අවධාරණය කළේ ආණ්ඩුව අනුගමනය කරන්නේ දියාරු විදේශ ප්‍රතිපත්තිය බවයි.

චීනයට සහ ඉන්දියාවට හතර අතේ ණයවී ඇති ශ්‍රී ලංකාවට එම බලවතුන් දෙදෙනා සම්බන්ධයෙන්ම තමන්ගේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක. භූමියේ තත්ත්වය එය බව විපක්ෂ නායක සහ ජනිපෙ නායක හොඳින්ම දන්නා බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියාව ඇමෙරිකාව නායකත්වය දෙන කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වීම හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ ප්‍රතිපත්ති අභියෝගය වඩාත් සංකීර්ණ වී ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය ඇමෙරිකාවට අවශ්‍ය ආකාරයට හසුරුවන බැවිනි. ඇමෙරිකානු ඩොලර් මිලියන 330 වන දෙවන ණය වාරිකය ප්‍රමාද කර බටහිර බලවතුන් ශ්‍රී ලංකාවට කරන බලපෑම සුළුපටු නොවේ.

● චීන නැවෙන් ඔබ්බට

තවදුරටත් වර්ධනය වෙමින් සමස්ත දේශපාලන -ආර්ථික – සමාජීය අර්බුදය නොසලකා ඔක්තෝබර් මාසයේ පළමුවන සතියේ පැමිණීමට නියමිතව තිබූ චීන නෞකාව එම මස අග කොළඹට පැමිණීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම නිෂ්ඵල ක්‍රියාවකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ – විපක්ෂ දෙපාර්ශ්වයම අවබෝධ කර ගත යුතු මහත් කනගාටුදායක තත්ත්වයක් තිබේ. ඒ ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව තම මූලික වගකීම් දෙක වන (1) මූල්‍ය විනය සහ (2) නව නීති සම්පාදනය මෙන්ම නීති සංශෝධනය සම්බන්ධයෙන් සහමුලින්ම අසාර්ථක වී ඇති පසුබිම තුළ රට බංකොලොත් වී (ලෝකයටම ණයවී) බාහිර බලපෑම්වලට තෝතැන්නක් වී ඇති නිසාය.

ඉන්දියානු සහ ඇමෙරිකානු බලපෑම් සම්බන්ධයෙන් එම බලවතුන්ට චෝදනා කරන කිසිවකු චීනය ද ශ්‍රී ලංකාව අතිශය දරුණු බලපෑමකට ලක් කරන බව පවසන්නේ නැත. නමුත් එම රටවල් තුනම ශ්‍රී ලංකාව ප්‍රබල බලපෑමකට ලක්කර තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. චීනය තම අධි තාක්ෂණික යාත්‍රාවක් ශ්‍රී ලංකා මුහුදට මේ අවස්ථාවේ එවන්නේම ඉන්දියාව සහ ඇමෙරිකාව ශ්‍රී ලංකාවට කරන බලපෑම උලුප්පා දැක්වීමටය. එම උපාය මාර්ගය සාර්ථක වී ඇත. රට තුළ ඉන්දීය සහ ඇමෙරිකානු විරෝධයක් ඉබේටම ගොඩනැඟී ඇත.

චීනය සහ බටහිර පාර්ශ්වය (ඉන්දියාව බටහිර කඳවුරේ සාමාජිකයෙකි) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ අපූරුවට පාවිච්චි කරන බව රහසක් නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි බව එම දෙපාර්ශ්වයම ඔප්පු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2022 ජුලි මාසයේදී බලයෙන් පහ කළ පසුව හම්බන්තොට වරායට පැමිණි අධි තාක්ෂණික චීන නෞකාව (Yuan Wang 5) ශ්‍රී ලංකාව උණුසුම් කළේය. බටහිර කණ්ඩායම විරෝධය පල කළ අතර අවසානයේදී 2022 අගෝස්තු 11 වැනි දින පැමිණීමට නියමිතව තිබූ මිසයිල ගමන් මාර්ග පවා තම පද්ධතිවලට හසුකර ගත හැකි එම නෞකාව අගෝස්තු 16 වන දින හම්බන්තොටට පැමිණියේය.

ඇත්ත වශයෙන්ම චීනය තම නෞකා ක්‍රියාකාරීත්වය අවියක් ලෙස ඉන්දියාවට සහ ඇමෙරිකාවට එරෙහිව පාවිච්චි කරන බව පැහැදිලිය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගිරයකට හසුවූ පුවක් ගෙඩියකට සමාන කළ හැක. මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී යන කියමනද මේ අවස්ථාවේ සිහියට නැගේ.

අතිශය තීරණාත්මක ආර්ථික අර්බුදයක සිරවී සිටින ශ්‍රී ලංකාවට චීනය සහ බටහිර කණ්ඩායමේ ගැටුමේදී පාර්ශ්ව දෙකම අමනාප කර ගත නොහැක. චීන නෞකා දෙක (Shin Yan 6 සහ Yuan Wang 5) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වරින් වර කළ පරස්පර විරෝධී ප්‍රකාශ අවධාරණය කරන්නේ ආණ්ඩුවේ අසරණභාවයයි. එක අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශය Shin Yan 6 නෞකාවට කොළඹට පැමිණීමට අවසර දී ඇති බවට කළ ප්‍රකාශය විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රතික්ෂේප කළේය. ඒ ඇමෙරිකාවේ සිටය.

තවත් වරක් ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකා සම්බන්ධයෙන් ඉන්දියාව සහ අනෙකුත් පාර්ශ්ව දැනුවත් කර ඉදිරි කටයුතු කරන බවට ප්‍රකාශයක් ආණ්ඩුවෙන් නිකුත් විය. ලෝකයේ බොහෝ බලවත් රටවල නාවික හමුදා යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණේ. ඉන්දියාවට කිසිදු ප්‍රශ්නයක් නැත.

Shin Yan 6 යාත්‍රාව සම්බන්ධයෙන් අන්දෝලණාත්මක තත්ත්වයක් ඇතිවී තිබූ පසුබිමක ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බළකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයකට ත්‍රිකුණාමලයට පැමිණියේය. චීන නෞකා පැමිණීම සම්බන්ධයෙන් පමණක් ඉන්දියාව එරෙහි වෙයි.

ගිය වසරේ පිපිරී ගිය ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාව වහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාව යම්කිසි ස්ථාවර තත්ත්වයකට පත් කිරීමට මැදිහත් වූ බව ශ්‍රී ලංකාවට කෙලෙසවත් අමතක කළ නොහැක. ඉන්දියාව කළ මැදිහත්වීම් නොවන්නට මූල්‍ය අර්බුදය කැරැල්ලක් බවට පත්වීමට ඉඩ තිබිණි. නමුත් එම තත්ත්වය ශ්‍රී ලංකාවට අනිසි බලපෑම් කිරීමට දඩමීමා කර ගැනීම සුදුසු නැත. ඒ ශ්‍රී ලංකාව විනාශයට ලක්කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය ඉන්දියාවේ මෙහෙයුමක් බැවිනි.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීමට ආර්ථිකය බංකොලොත් වීම අවියක් ලෙස යොදා ගන්නා බව පැහැදිලිය. චීනය සහ බටහිර කණ්ඩායම එම තත්ත්වය තම තමන්ට ගැළපෙන ආකාරයට ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කරන ආකාරයට යොදා ගනී. දෙපාර්ශ්වයෙන්ම ගැලවිල්ලක් නැත. විදේශ ප්‍රතිපත්තිය නමැති මඩ ගොහොරුවේ එරී ඇති ශ්‍රී ලංකාවට තමන්ගේම කියා නිදහස්ව කටයුතු කිරීමේ අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ ඇහිරී ඇත. අවාසනාවකට පාර්ලිමේන්තුව තුළ පවා රට මුහුණ දෙන මෙවැනි සැබෑ අභියෝග සමනය කර ගැනීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ සාකච්ඡාවක් සිදුවන්නේ නැත.

● දේශීය සහ විදේශීය සාධක

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරන පිළිවෙත නියමාකාරයෙන් විමසා බැලීමට නරේන්ද්‍ර මෝඩි ආණ්ඩුව ඇමෙරිකාව නායකත්වය දෙන පාර්ශ්වය සමඟ කරන ගනුදෙනුව තේරුම් ගත යුතුය. ඊශ්‍රායලය සහ හමස් යුද්ධයේදී ඉන්දියාව කටයුතු කරන ආකාරය අවධාරණය කරන්නේ නවදිල්ලිය සහ ඇමෙරිකාව අතර ඇතිකර ගෙන තිබෙන දේශපාලන – ආර්ථික – සමාජීය අවබෝධතාවයයි. අතිශය සංකීර්ණ වර්තමාන ලෝක දේශපාලනය තුළ ඉන්දියාවට කිසිසේත් ඇමෙරිකාවෙන් වෙන්වී කටයුතු කළ නොහැක. එම තත්ත්වය මෝදි රජයට පමණක් සීමාවූ තත්ත්වයක් නොවේ. එබැවින් චීන – ශ්‍රී ලංකා සම්බන්ධතා/සහයෝගිතාවය සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවට කරන බලපෑමට පූර්ණ ඇමෙරිකානු ශක්තිය ඇත.

චීනය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ තොරතුරු සහ දත්ත ලබා ගැනීමට හැකියාව ඇති නාවික යාත්‍රා ශ්‍රී ලංකා මුහුදට එවන බවට නවදිල්ලිය කරන චෝදනා සමස්ත අර්බුදයේ එක පැතිකඩක් පමණි. නමුත් චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලනය හැසිරවීමට කටයුතු කරන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

හම්බන්තොට වරාය 2017 වසරේදී චීනය 99 – වසර ගිවිසුමක් යටතේ ලබා ගැනීම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කළේය. කෙසේ වෙතත් ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මෙහි ක්‍රියාත්මක ප්‍රධානතම ව්‍යාපෘතිය වන කොළඹ වරාය නගරය බැහැර කර විමසා බැලිය නොහැක. මීට කලකට පෙර ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් ශ්‍රී ලංකාවට කොළඹ වරාය ව්‍යාපෘතිය වැනි විශාල චිනායෝජන අනවශ්‍ය බව අවධාරණය කළ බව අපට අමතක නැත. ඒ අනතුරු ඇඟවීම දුන්නේ වෙන කිසිවකුටවත් නොව එදා ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්ෂටයි. ඔහු මෙම ලියුම්කරු සමඟ ඒ බව පවසා ඇත.

2019 නොවැම්බර් මාසයේදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හම්බන්තොට වරාය ගිවිසුම යළි සමාලෝචනය කිරීම වඩාත් සුදුසු බවට ඉදිරිපත් කළ අදහස චීනය එකහෙලා ප්‍රතික්ෂේප කළේය. උපාය මාර්ගික වශයෙන් ඉතාමත් වැදගත් ස්ථානයක පිහිටි එම වරාය චීනයට පැවරීමට යන ආකාරය ශ්‍රී ලංකාවට අහිතකර බව එදා එම විෂය භාරව සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසූ බව රහසක් නොවේ. අදාළ ගිවිසුමට විරෝධය පළකර එම අමාත්‍ය ධුරයෙන් අර්ජුන රණතුංග ඉල්ලා අස්වූ පුරප්පාඩුව ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ පිරවූයේය. ගිවිසුම අත්සත් කළේය. ඊට පසුව ජනාධිපති නීතිඥ සහ යහපාලන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට තම අමාත්‍ය ධුරය අහිමි වූයේ හම්බන්තොට චීනයට පැවරීමට ප්‍රසිද්ධියේ විරෝධය පෑම නිසාය.

වසර 99 ගිවිසුම ඇත්ත වශයෙන්ම හම්බන්තොට වරාය විකුණා දැමීමක් ලෙසට අර්ථකථනය කළ හැකිය. හම්බන්තොට කෙසේ හෝ ලබා ගැනීම චීන ප්‍රතිපත්තියයි. චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ආන්දෝලණාත්මක ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය බවට පත්වී ඇත. කවුරු බලයේ සිටියත් තත්ත්වයේ වෙනසක් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ (2007) ක්‍රියාත්මක කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය එජාපය නායකත්වය දුන් යහපාලන සමයේදී (2017) චීනය සතුවිය.

ශ්‍රී ලංකාවේ තෙල් වෙළෙඳපොළට ඉන්දියාව ඇතුළුවූයේ 2002 දීය. කාලයෙන් කාලයට සිදුවූ ආණ්ඩු මාරුවීම් ඉන්දියානු තෙල් සමාගමේ ව්‍යාප්තියට කිසිදු බාධාවක් සිදුවූයේ නැත. අද ඉන්දීය සමාගම ප්‍රබල ස්ථානයක සිටියි. අදාළ ගිවිසුම මගින් ඉන්දීය තෙල් සමාගමේ ව්‍යාප්තිය තවදුරටත් තහවුරු කර ඇති අතර මේ වසරේ සිට චීන තෙල් සමාගමත් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකයි. ලංකාවේ රාජ්‍ය අංශයට තමන්ගේ රටේ ව්‍යාපාර කර ගැනීමට නොහැකි වූවාට, චීනයට සහ ඉන්දියාවට ඒ හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා අතින් ලෝකයේ ‘ඉහළම’ ස්ථානය කිසිදු වාද විවාදයකින් තොරව හිමිකර ගෙන ඇත. පාර්ලිමේන්තු වාර්තා ඒ බව සනාථ කරයි. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක කිරීමට බල කළ මූල්‍ය සම්බන්ධ යෝජනා 16 අවධාරණය කළේ මේ රටේ පාලකයන් සම්බන්ධයෙන් එම ආයතනයට කිසිදු විශ්වාසයක් නොමැති බවයි. එවැනි රටකට විදේශීය ප්‍රතිපත්තියක් තිබිය නොහැක. ඒ නොනවතින දූෂණය, වංචාව, අක්‍රමිකතා සහ පරිපාලන දුර්වලතා එම රටේ ප්‍රතිපත්තිය නිසාය. ජනතා සිතුම් පැතුම් කිසි ලෙසකින්වත් පිළිබිඹු නොකරන පාර්ලිමේන්තුව ඒ ප්‍රතිපත්තිය නොනවත්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දේශපාලන වාතාවරණය පවත්වාගෙන යන ආයතනයයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment