අනුරපුරෙන් නැගෙන ප්‍රගතිශීලී රාවය

912

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරි නිවාස හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා නොගැනීමට වැඩබලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පල්ලේගම හේමරතන නාහිමියෝ තීරණය කර ඇත්තාහ. සිරි නිවාස නායක හාමුදුරුවන් වහන්සේගේ අවමඟුල සඳහා රාජ්‍ය අනුග්‍රහය සැපයීම රට ඉතා දුෂ්කර තැනකට පත්ව ඇති මේ මොහොතේදී රජයට දැරිය නොහැකි මූල්‍ය බරක් බව සිරි නිවාස නායක හාමුදුරුවන් වහන්සේගේ අදහස වී තිබේ. අටමස්ථානාධිපති හිමියන් අපවත් වී වදාළ වහාම උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට රජය ඉදිරිපත් විය. ඒ ගැන රජයටත්, ජනාධිපතිවරයාටත් සිය ගෞරවය පුද කරන බව හේමරතන නායක හාමුදුරුවෝ සඳහන් කරති. එසේම, තමන් සතුව දායකයන් විශාල පිරිසක් සිටින බවත් ඔවුන්ගේ උදව් ඇතිව ආදාහන උළෙල සිදු කළ හැකි බවත් උන්වහන්සේ පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පහළට වැටී සිටින මෙවන් මොහොතක අපවත් වී වදාළ නායක හාමුදුරුවන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය සඳහා රජයේ මුදල් ලබා ගැනීම නිගාවක් බව හේමරතන නායක හාමුදුරුවන්ගේ මතයයි.

දේශපාලනය සහ වෙනත් විවිධ දේ නිසා ශ්‍රී ලංකාවේ සංඝ සමාජය මතභේදාත්මක තත්ත්වයකට පත්ව සිටින මෙබඳු මොහොතක වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් ප්‍රකාශ කළ ප්‍රගතිශීලී අදහස සම්බන්ධයෙන් අපගේ ගෞරවය පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ඪ 8 වාහන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීකම් අතර සිරවී සිටින මේ රටේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ මතවාද සමග සසඳන කල්හි වැඩබලන අටමස්ථානාධිපති හේමරතන හිමියන්ගේ මතයට සුවිශේෂ තැනක් හිමිවෙයි. ශ්‍රී ලංකාව ඉතා වේගයෙන් සංස්කෘතික පරිහානියක් කරා ගමන් කරමින් සිටින යුගයක් 1977 දී ආරම්භ විය. එම සංස්කෘතික පරිහානිය තුළ සියලු දේට මුදලින් අගයක් ලැබිණ. ආධ්‍යාත්මික වටිනාකම්වලට පවා මිලක් නියම කිරීමට ඇතැම්හු කටයුතු කළහ. මේ රටේ සංඝයා වහන්සේලාගේ යුතුකම වූ ශාසනික සහ සමාජ මෙහෙවර ක්‍රමයෙන් අතුරුදන් වෙමින් පවතිද්දී අන්තවාදීන් විසින් මේ රටේ සංස්කෘතිය ආක්‍රමණය කරනු ලැබීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. භික්ෂුන් වහන්සේලා සිටින්නේ ජාතිවාදය වැපිරවීමට හෝ දේශපාලනය කිරීමට නොවේ. එසේම බිස්නස් කිරීම ද උන්වහන්සේලාට අකැපය. එසේ තිබියදී විවිධ පාර්ශ්ව සමග දිව්රුම් පෙත්සම් සහ ගිවිසුම් පත්‍ර අත්සන් කර බිස්නස් කරන චීවරධාරීහු ක්‍රමයෙන් සමාජය ගිල ගැනීමට පටන් ගත්හ. ඇතැම් චීවරධාරීන් හැමවිටම උත්සාහ කළේ කාගෙන් හෝ කීයක් හරි කඩා ගැනීමට ය. එසේ තිබියදී ආණ්ඩුවෙන් සත පහක් නොගෙන සිය නායක හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය සිදුකිරීමට පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේ සූදානම් ය.

රාජ්‍ය අනුග්‍රහයෙන් පිට පළාතක පැවැත්වෙන අවමංගල්‍යෝත්සවයක් මගින් ඉතා හොඳ විනෝදයක් ලබා ගැනීමට කොළඹ සිටින රජයේ නිලධාරීන්ටත් ඇතැම් දේශපාලනඥයන්ටත් පුළුවන. එවැනි ආදාහන පූජෝත්සවයක් සඳහා ආණ්ඩුවේ වාහන සීයත් දෙසීයත් අතර ගණනක් කොළඹින් පිටත්වීම සිරිතය. ආදාහන පූජෝත්සවය දවසක වැඩකි. ලංකාව යනු දවසක් ඇතුළත ඕනෑම තැනකට ළඟා විය හැකි මාර්ග පද්ධතියක් ඇති රටකි. එබැවින් පිට පළාතක පැවැත්වෙන ආදාහන පූජෝත්සවයක් සඳහා එදිනම උදේ ගොස් රෑ වනවිට ගෙදර පැමිණීමට ඕනෑම කෙනකුට හැකියාවක් ඇත. එහෙත් මෙවැනි උළෙලකට සහභාගී වන ඇතැම් දේශපාලනඥයන් සහ ඇතැම් රාජ්‍ය නිලධරයන් කරන්නේ පූජෝත්සවයෙන් අනතුරුව එදා රෑ රෙස්ට් හවුස්වල ගතකිරීම ය. මෙය ශෝකය නමැති සාධකය සතුට නමැති සාධකයට පෙරළෙන අවස්ථාවකි. තමන් සහභාගි වූ ශෝකජනක අවස්ථාව අමතක කරන VIP කට්ටිය කරටිය දෙකට කැඩෙන තුරු මැදියම් රෑ වන තෙක් විස්කි බී මළ මිනී සේ නින්දට වදිති. පසුදා ඔවුන් සලකන්නේ නිවාඩු දවසක් ලෙස ය. කලින් දා බීපු අමාරුව පහ කර ගැනීමට එදා දවස යොදාගනු ලැබේ. තමන් ගන්නා ෆන් එකෙන් හැකි හැම රුපියලක්ම ආණ්ඩුවෙන් ගැනීම මේ රටේ ඇතැම් දේශපාලනඥයන්ගේත් රාජ්‍ය නිලධාරීන්ගේත් දීර්ඝකාලීන පුරුද්ද සහ පළපුරුද්ද ය. පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේගේ මතය නිසා අපවත්වී වදාළ අටමස්ථානාධිපති නායක හාමුදුරුවන් වහන්සේගේ ආදාහන පූජෝත්සවයෙන් වැඩක් ගැනීමට මේ රටේ සිටින ඇතැම් රජයේ නිලධාරීන්ට සහ ඇතැම් දේශපාලනඥයන්ට හැකිවන්නේ නැත. අනුරාධපුරය යනු ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටි ශුද්ධ භූමියයි. මේ රටේ බෞද්ධාගමික මුදුන් මල් කඩකි. අනුරාධපුරය යනු අතීත ශ්‍රී ලංකාවේ පැවති ප්‍රමුඛ රාජධානියයි. මේ රාජධානියේ සිට රජවරුත් භික්ෂුන් වහන්සේලාත් දේශප්‍රේමී ජනතාවත් මේ රට දැය සහ සමය ආරක්ෂා කළහ. ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කර පවත්නා ශ්‍රී දළදා මාලිගාව පිහිටි මහනුවර නගරය මේ රටට වැදගත් වන්නේ යම් සේද, අනුරාධපුර නගරය ද එහි ඇති පූජනීයත්වය නිසා රටට අතිශයින්ම වැදගත් ය. මේ බිමෙන් මතු වූ සංඝ පීතෘවර පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රගතිශීලී සහ දේශප්‍රේමී අදහස මේ මුළු රටම මහත් සේ අගය කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment