ඇඟේ තුවාල සුව වූ නමුදු හිතේ තුවාල සුවවන්නේ නැත

602

ළමයා යනු කවරෙක්ද? මේ පිළිබඳ අර්ථ නිරූපන ගණනාවක් ඇත. ඇතැම් රටක ගැහැනු ළමයාගේ ළමා විය අවුරුදු 14 න් අවසන් වන අතර එයින් පසු ඕනෑම අවස්ථාවක ඇය දීග දිය හැකිය. ඇතැම් රටක ගැහැනු දරුවකුගේ ළමා වයස අවුරුදු 16 න් අවසන් ය. යුනිසෙෆ් සංවිධානයේ අර්ථ නිරූපනයට අනුව ළමා විය අවුරුදු 18 දී නිමාවට පත්වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථ නිරූපනයට අනුව ද ළමා විය අවසන් වන්නේ අවුරුදු 18 දීය. මේ අනුව අවුරුදු 18 වන තෙක් ළමයකු බලා හදා ගැනීම වැඩිහිටියන් සතු නෛතික වගකීම වේ. මෙහිදී තවත් අර්ථ නිරූපනයක් ගනිමු. ඒ ළමයා බලා හදා ගැනීම පිළිබඳ අර්ථ නිරූපනයයි. ළමයකු හදා වඩා ගැනීම, බලා ගැනීම, පෝෂණය කිරීම අධ්‍යාපනය ලබාදීම යන සියල්ල ඉහත සඳහන් අර්ථ නිරූපණය මගින් ආවරණය කෙරේ. දරුවන්ට පහරදීම ඇතුළු ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන නව නීති ගෙන ඒමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව කැබිනට් ප්‍රකාශක බන්ධුල ගුණවර්ධන පවසා ඇත. ඒ අනුව අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කිරීමටත් ළමයෙක්ගේ ආරක්ෂාව සඳහා නව නීති ඇති කිරීමටත් ආණ්ඩුව පියවර ගන්නවා ඇත. මින් ඉදිරියට වැඩිහිටියකු හෝ ගුරුවරයකු දරුවකුට ශාරීරික දඬුවම් කරන්නේ ද එය වරදක් බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන තවදුරටත් පවසා ඇත. අද අපේ කතුවැකිය පදනම් වන්නේ ගුටි නොකෑමට හෝ වධ නොවිඳීමට ළමයින්ට ඇති අයිතිය ගැනය.

වැඩිහිටියා විසින් ළමයකුට පහරදෙනු ලබන්නේ ආපසු හැරී වැඩිහිටියාට කනට දෙකක් දීමට ශක්තියක් ළමයාට නොමැති නිසාය. හැඳි නොගාන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් වැදගැම්මකට නැති බවට ගොන් කියමනක් අපේ සමාජයේ තිබේ. තමන් තම දරුවන්ට පහරදෙන්නේ ඔවුන්ට ඇති ආදරය නිසා ඔවුන් නිසි පුරවැසියන් ලෙස සමාජයට යැවීමට යැයි ඇතැම් මාපියෝ කියති. මෙය මීට පෙර කී ගොන් කතාවේ අංක 2 වශයෙන් හැඳින්විය හැකිය. මවකු හෝ පියකු තම දරුවාට ආදරය නිසා පහරදෙන්නේ නම් ආදරය වැඩිවූ විට ඒ දරුවාගේ බෙල්ල මිරිකා මරා දැමීම වුව කළ හැකිය. වැඩිහිටියන්ගෙන් පහර කන දරුවා ඉතා දරුණු මානසික අගාධයකට ඇද වැටේ. මෙහිදී හටගන්නේ ශාරීරික වේදනාවට වඩා මානසික වේදනාවකි. ඇඟේ තුවාල සුව වූ නමුදු හිතේ තුවාල සුවවන්නේ නැත. හිතේ තුවාලය දරුවා උස් මහත්වන විට ක්‍රමයෙන් වර්ධනය වේ. ගුටි කන දරුවා තුළ අපේක්ෂා භංගත්වයට පත්වේ. ඔහු හෝ ඇය භින්න මානසිකත්වයකින් පෙළේ. දියුණු ලෝකයට අනුව ළමයකුට පහරදීම ගෝත්‍රික ලක්ෂණයකි.

ලංකාවේ දරු පරම්පරාව වැඩිහිටියන්ගෙන් බේරාගැනීමේ අවස්ථාව පැමිණ ඇත. මෙහිදී අප වැඩිහිටියා ලෙස දක්වන කුලකය තුළ මව්පියෝද, ගුරුවරුද, පොලිසිය ද වෙති. මේ රටේ ගුරුවරු කෝප වූ විට අතින් පයින් පමණක් නොව පුටු කකුල්වලින් ද ළමයින්ට පහර දෙති. ඇතැම් සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන දරුවන්ට පොලිසියේදී දස වධ දෙනු ලැබේ. දරුවන්ට පහරදීමට එරෙහි නීති රීති බලගැන්වීමෙන් ආණ්ඩුව විසල් මානුෂික මෙහෙවරක් සිදුකර ඇත. එය සියලුදෙනාගේ ප්‍රශංසාවට ලක්විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment