2 වැනි වගන්තිය ව්‍යවස්ථාවට අනුකූල නෑ – පළාත් පාලන ආයතන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3 න් ජනමත විචාරණයෙන් සම්මත විය යුතුයි

72

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක මැතිසබයට දැනුම් දෙයි

හිටපු මන්ත්‍රීවරුන් යළි බළගැන්වෙන පරිදි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් වූ “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගරසභා (සංශෝධන)”පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම පනත් කෙටුම්පත් තුනෙහිම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104 ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

මේ අතර ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල්වී ඉදිරිපත් කළ එකක් නොවන බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ආණ්ඩුව හැමවිටම ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී (08 දා) ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨයන් ලෙස පෞද්ගලික මන්ත්‍රීවරුන්ට යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩදී ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, එසේ වුවත් පෞද්ගලිකව මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් කළ නොහැකි බව ද සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ, එම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්බන්ධයෙන් ප්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුව, කථානායකවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විමසුවේ, ප්‍රකාශයට පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දැක්වෙන පරිදි, මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ ඡන්දයක් හා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව සූදානම් ද යනුවෙනි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment