මෙන්ඩිස් ගේ ඕමානයට එරෙහිව ශ්‍රී ලංකාව අද සටනට

878

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගාවලිය යටතේ සහභාගි වන දෙවන තරගය අද (23 වැනිදා) ඕමානයට එරෙහිව පැවැත්වේ.

සිම්බාබ්වේ බුලවායෝ හි පිහිටි ක්වීන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද දහවල් 12.30 ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව තරග වදින ‘බී’ කාණ්ඩය යටතේ මේ වන විට පෙරමුණ ගෙන සිටින ඕමාන කණ්ඩායම ඔවුන් සහභාගි වූ තරග දෙකම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු හතරක් හිමි කරගෙන තිබේ.

අයර්ලන්තයට එරෙහිව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කර ජයග්‍රාහී මානසිකත්වයකින් ඕමාන කණ්ඩායම ඒ අනුව අද ශ්‍රී ලංකාව මුණගැසේ.

තරගාවලියේ තමන් සහභාගි වූ පළමු තරගයෙන් ලකුණු 175 ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර එහිදී කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් හතර දෙනාම අර්ධ ශතක ඉක්මවා ලකුණු ලබා ගැනීම සහ වනිදු හසරංග ගේ පන්දු යැවීම කැපී පෙනුණි.

එම තරගය සඳහා ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර මේ වන විට සුවය ලබා සිටීම ශ්‍රී ලංකාවට තවත් අමතර ශක්තියක් වී ඇත.

ඕමාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා කටයුතු කරයි.

තරගාවලියේ ඉදිරියට යෑමට නම් මෙම තරගයේ ජයග්‍රහණය දෙපිලට ම එක සේ වැදගත් වන අතර ඕමානය ලොව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දී මේ වන විට 18 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව එහි 9 වැනි ස්ථානයේත් රැඳී සිටී.

අද තරගයේදී ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, ලහිරු කුමාර හෝ දුෂ්මන්ත චමීර

advertistmentadvertistment
advertistmentadvertistment