වසර 30කට පසු යාපනයේ පලාලි දෙව්මැඳුර යළි ඇරේ

378

ආරක්ෂක හේතුන් මත අධි ආරක්ෂිත කලාපයකට අයිතිව තිබූ කතෝලික දේවස්ථානයක් වසර 30 කට පසු යළිත් ආගමික වතාවත් වෙනුවෙන් විවෘත කොට තිබේ. මෙසේ විවෘත කොට ඇත්තේ පලාලි ශුද්ධවූ ආරෝග්‍යා මාතා නමැති දේවස්ථානයයි. යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ ආශීර්වාදය සහිතව මෙම දේවස්ථානය මේ වනවිට ආරම්භ කොට තිබේ.

ප්‍රදේශවාසීන්ගේ දායකත්වය සහිතව තිස් වසරක් යුදමය කටයුතු හා ආරක්ෂක හේතුන් මත ජනතාවට ආගමික වතාවත්වල නිරත වීමට නොහැකි වූ මෙම දේවස්ථානය මෙසේ යළිත් ප්‍රතිස්ථාපනය කොට ආගමික කටයුතු වෙනුවෙන් විවෘත කොට තිබේ.

යාපනයේ පලාලි දෙව්මැඳුර යළි විවෘත කිරීමෙන් පසු උතුරේ කිතුනු බැතිමතුන් අතර මෙම දෙව්මැඳුර වඩාත් ජනප්‍රිය වන බව යාපනයේ ආරක්ෂක අංශ ප්‍රකාශකයෙක් පැවසීය.

එමෙන්ම කිතුනු බැතිමතුන් මෙම දෙව්මැඳුර තව තවත් දියුණු කිරීම සඳහා කිතුනු සමිති සංවිධාන ආරම්භ කිරීම පිළිබඳව යාපනයේ රදගුරුතුමන් සමග කතාබහ කර ඇත.

මේ අනුව මෙම දෙව්මැඳුරේ ආගමික වතාවත් දැනටමත් ආරම්භ කර ඇති අතර පලාලි කිතුනු දෙව්මැඳුර මෙම තත්ත්වයට පත් කිරිම සඳහා උතුරේ කිතුනු බැතිමතුන් මෙන්ම යාපනයේ රදගුරුතුමා ආරක්ෂක හමුදාවට සිය ප්‍රසාදය පිරිනමා ඇත.

මේ අතර මෙම දෙව්මැඳුර මෙසේ යළි විවෘත කිරීම පිළිබඳව ජාඇල මීගමුව කලාපය භාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා අපට මෙවන් අදහසක් ඉදිරිපත් කළේය. මෙම දෙව්මැඳුර මෙසේ ආරම්භ කිරීම තුළින් උතුරු – දකුණු සාමය වඩාත් තහවුරු වෙනවා. ඇතැම් විට දකුණේ සිට උතුරට සංචාරයේ යෙදෙන අපේ කිතුනු බැතිමතුන් පලාලි දෙව්මැඳුරට පවා ගොස් එහි වැඳුම් පිදුම් කිරිමට ඉඩ තිබෙනවා. සමහර විට යම් කාලයක් තුළදී මෙම දෙව්මැඳුර ශ්‍රී ලංකාව තුළ වඩාත් ජනප්‍රිය වීමට පවා ඉඩ තිබෙනවා. පලාලි දෙව්මැඳුර යළි විවෘත කිරීම ගැන සතුටු වෙනවා.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

වසර 30කට පසු යාපනයේ පලාලි දෙව්මැඳුර යළි ඇරේ

advertistmentadvertistment
advertistmentadvertistment