කෘෂිකර්මාන්තය කඩා වැටුණත් කෘෂි අපනයන වැඩි කරගැනීමට හැකි වුණා – ඇමැති නලින් ප්‍රනාන්දු

117

නිවැරදි කළමනාකරණයක් නැතිව මේ ආර්ථිකය ගොඩදාන්න බැහැ – එරාන් වික්‍රමරත්න (සජබ)

කෘෂිකර්මාන්තය කඩා වැටී තිබෙන අවධියක වුවද කෘෂි අපනයන වැඩි කරගැනීමට පසුගිය මාස හයේදී හැකිවූ බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණ. ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන ලද වසර මැද මූල්‍ය තත්වය (2023) පිළිබඳ වාර්තාව සභාව කල් තබන අවස්ථාවේ ආරම්භ කෙරිණ.

විවාදය ආරම්භ කරමින් පත් කළ මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා-

රටක ආර්ථිකයක සිදුවන පසුබෑම ඒ රටට නැවත සකස්කර ගැනීමට හැකි පදනම තිබිය යුතුයි. රටක දුප්පත්කම නැති කරන්න ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නවා හැර දුප්පතුන්ට එකවර අතට සල්ලි කීයක් හරි දුන්නොත් ඉන් වැඩක් වෙන්නේ නෑ. ඒ නිසා අපි මේ රටේ ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නිසි ක්‍රියා මාර්ග ගත යුතු යැයි මම යෝජනා කරනවා.

පත්කළ මන්ත්‍රි එරාන් වික්‍රමරත්න (සජබ) – ජනවාරි සිට මැයි දක්වා රජයේ ආදායම බිලියන 1.2 යි. වියදම බිලියන 1.45 යි. සියයට 47 කින් ඉහළ ගිහින්. අයවැය පරතරය ඉහළ ගිහිල්ලා, ඒ වෙනුවෙන් ආණ්ඩුව විවිධ පියවර ගන්නවා. විදේශ සංචිත සමාන ප්‍රමාණයකින් පවතිනවා. ආර්ථික වර්ධනයක් නෑ. සංකෝචනය වෙමින් පවතිනවා.

ආර්ථිකයේ විනිවිදභාවයක් නෑ. දත්ත දැක්වීමක් නෑ.

නිෂ්පාදනය කඩාවැටිලා සත්ව, මස්, මාළු, වී ඇතුළු සියල්ල කඩා වැටිලා. ගොවීන් අසරණයි. කම්කරු නීති නෑ. ජනපතිවරයා අයවැය කථාවේ කළ යෝජනා කිසිවක් මෙතෙක් ඉටුවී නෑ.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කරනවා කිව්වා ඒවයින් ලැබෙන මුදල් රුපියල ශක්තිමත් කිරීමට දෙනවා කිව්වා. ඒ කිසිවක් තවම නෑ. හරි කළමනාකරණය නැතිව මේ ආර්ථිකය ගොඩ දාන්න බැහැ.

වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු – ආයෝජන භාණ්ඩ ආනයනය මේ වසරේ අඩු කරගන්න හැකි වුණා. පසුගිය වසරේ මුල් මාස පහ තුළ ආනයන වියදම ඩොලර් මිලියන 8801 ක්. එය මේ වසරේ ඩොලර් මිලියන 6791 ක් දක්වා අඩු කරන්න හැකි වුණා.

අපනයන වැඩි කර ගත්තා. කාර්මික අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 3500 දක්වා අඩු වුණා. ලෝක ආර්ථික අර්බුද පවතින කාලයක කාර්මික අපනයන අඩුවෙනවා. වසර අවසාන වෙද්දී එය වැඩි කරගන්න හැකිවේවි.

කෘෂි කර්මාන්තය කඩා වැටීම තුළ වුවත් කෘෂි ආනයන වැඩි කරගන්න හැකි වුණා. ඉදිරි මාස 05 තුළ තවත් ආපනයන වැඩි කරගත හැකියි. රටේ නිෂ්පාදන වැඩි කරන්න සුළු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර නැංවිය යුතුයි. ඊට ලබාදෙන මූල්‍ය පහසුකම් ප්‍රමාණවත් නෑ. වෙන රටවල මීට වඩා වැඩි මුදල් ප්‍රමාණ ලබාදෙනවා. අපේ එවැනි ව්‍යාපාරිකයන් අසූදාහක් පමණ ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ප්‍රමාණය අඩුයි. තරගකාරිත්වය අඩු වූ විට මිල ඉහළ යනවා. නිෂ්පාදන පිරිවැය අඩු කර තරගකාරිත්වය ඇති කළ යුතුයි.

පසුගිය වසරේ ඇති වූ ප්‍රශ්න අවම කරගැනීමට පසුගිය මාස 06 දී හැකි වුණා. ඉදිරි මාස 06 තුළ ආර්ථිකය මේ ආකාරයට ගෙන ගියහොත් රටට අවශ්‍ය ඉලක්ක සපුරාගත හැකියි.

මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන – මූල්‍ය කළමනාකරණ වගකීම් පනත නිසි ලෙස අනුගමනය කළානම් රට කවදාවත් වැටෙන්නේ නෑ. ණය ගැනීම සීමා වෙනවා. රට කඩා වට්ටපු අයට දඬුවම් දිය යුතු නම් දඬුවම් දිය යුත්තේ මේ පනත වෙනස් කිරීමට අත උස්සපු පාර්ලිමේන්තුවේ සියලු දෙනාටයි. එයයි ඇත්ත. අදත් මේ ප්‍රශ්නයට ඇත්ත හොයන්න තේරීම් කාරක සභා දාන්න ඕන නෑ. රට අභ්‍යන්තරයේ මූල්‍ය කළමනාකරණය දැරිය නොහැකි ලෙස පවත්වාගෙන යාමත් අයවැය පරතරය වැඩි වීමත් මේ පරිහානියට හේතු වෙනවා. මේ ණය අර්බුදයෙන් මිදීමට ආර්ථිකමය සංවාදයක් රට තුළ අවශ්‍යයි. දේශපාලන සංවාදවලින් පිළිතුරු සොයන්න බැහැ. කාගේ ආණ්ඩුවක් තිබුණත් 2030 තෙක් මේ ණය අර්බුදයෙන් මිදෙන්න බෑ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රි විජිත හේරත් (ජාජබ) – වසරේ පළමු කාර්තුවේ සියයට 11.5 කින් සංකෝචනය වු බව මූල්‍ය වාර්තාව කියනවා. අපේක්‍ෂිත ඇස්තමේන්තු ආදායමෙන් මේ වනතෙක් උපයාගෙන ඇත්තේ සියයට 11 යි ඉදිරි මාස කිහිපයේදීත් අපේක්‍ෂිත ආදායම උපයා ගන්න බැහැ කියලා කාටත් පේනවා.

නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර නෑ. ඉදිකිරීම් කර්මාන්තය මුළුමනින්ම කඩා වැටිලා. බදු ආදායම රුපියල් බිලියන 3130 ක් උපයන්න හිතුවත් ජුනි මාසය අවසන් වනවිට හොයාගෙන තියෙන්නේ රුපියල් බිලියන 731 යි.

ආදායම් වැඩි කරන්න බදු වැඩි කළා. මහා පරිමාණ බදු එකතු කරන්නේ නෑ. කෝටි 622 ක් ප්‍රධාන මත්පැන් නිෂ්පාදකයන්ගෙන් අයකර නෑ. බීඩි ඔතන අයට බදු තෙරපුමක් ඇති කරලා. ව්‍යාජ ස්ටිකර් භාවිතා කර මත්පැන් විකුණනවා. ප්‍රධාන සමාගමක් ඒ පිටුපස ඉන්නේ. ව්‍යාජ ස්ටිකර් තහනම් කරන්න පහසුවෙන් ආණ්ඩුවට පුළුවන්. ඒත් කරන්නේ නෑ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත (ශ්‍රිලංපොපෙ) – ආණ්ඩුව කරන හැම වැඩකටම විපක්ෂය අකුල් හෙළනවා. ආර්ථිකය ශක්තිමත් කරන ක්‍රියාවලියද වට්ටන්න හදනවා. තව මාස 06 ක් ගිය විට ආණ්ඩුව අවශ්‍ය සහන ජනතාවට සලසනවා. එවිට විපක්‍ෂයට හිතන විදියට බලය ගන්න බැරිවෙනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි පාඨලී චම්පික රණවක (සජබ) – රුපියල් බිලියන 17 ක පමණ රාජ්‍ය වැටුප් කප්පාදුව මත ඉතිරියක් කරන්න රජයට හැකිවෙලා. නමුත් විදේශ ණය පොලිය ගෙවීම සියයට 94 කින් වැඩිවෙලා. විදේශ ණයවල ණය පොලිය නොගෙවීම තුළයි මෙලෙස සිදු වී තිබෙන්නේ. උද්ධමනය අඩුවෙලා. නමුත් භාණ්ඩවල මිල කිසි තැනක අඩුවී නෑ. මිල වැඩිවීම් වේගය පමණක් අඩුවී ඇත්තේ. තවමත් වැඩි මිලටයි ජනතාව බඩු ගන්නේ. සැප්තැම්බර් මාසේ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුව තාවකාලික වාසි තත්ත්වය අහිමි විය හැකියි.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි උදය ගම්මන්පිල – ආණ්ඩුවේ වැරදි තීන්දු නිසා අද ගොවීන්ගේ වගා විනාශ වෙලා. නිසි සොයා බැලීමකින් නොවේ තීන්දු තීරණ ගන්නේ. නියඟය නිසා හදිසි මිලදී ගැනීම්වලට මුදල් වෙන් කරලා. නියඟය හදිසියේ ආවේ නෑ. අවසන් මොහොත තෙක් ඉඳල හදිසි මිලදී ගැනීම් කරන්න ක්‍රියා කරනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ – ගොවීන්ට වතුර දීම ගැන ගත් තීන්දුව වැරදියි කියලා විපක්‍ෂය කියනවා. මේ වනවිට ගොවීන්ට වතුර නිකුත් කර ගොවිතැන් කටයුතු යථාවත් කර තියෙනවා. වගා හානි වූ බවට කියන කතාව බොරු.

පාර්ලිමේන්තුව අද දින (09දා) පෙරවරු 9.30ට යළි රැස්වේ.

හදිසි මිලදී ගැනීමක් නොකළොත් දකුණු පළාතට පැය තුනක් විදුලිය කපන්න වෙනවා
ඇමැති කංචන මැති සබේදී කියයි

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

හදිසි විදුලිය මිලදී ගැනීමකට නොගියහොත් ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට අවම වශයෙන් පැය තුනක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.

සමනළ වැව ජලාශයෙන් විදුලි උත්පාදනයට අමතරව වෙනත් කටයුතුවලට ජලය නිකුත් කිරීම නිසා අගෝස්තු මස 16 වැනිදා වන විට විදුලිය නිපදවීම මුළුමණින්ම ඇණ හිටින බවද ඊට විකල්පයක් ලෙස හදිසි විදුලිය මිලදී

ගැනීමක් කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ජල ගැටලු‍ව සම්බන්ධයෙන් ඇති වූ විවාදාත්මක තත්ත්වය මත මේ බව කී ඒ මහතා මෙසේද කීවේය.

වලව කලාපයෙහි කෘෂිකාර්මික කටයුතු සඳහා සමනළ වැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. සමනළ වැව ජලාශයේ ජලය එක්

රැස් කරනුයේ විදුලි උත්පාදනය කටයුතු සඳහා පමණයි. කෘෂිකාර්මික හෝ වාරිමාර්ගික කටයුතුවලට මෙමඟින් ජලය නිකුත් කිරීමට කිසිම එකඟතාවක් හෝ

ගිවිසුමක් නැහැ. වාරිමාර්ග කටයුතු සඳහා සමනළ වැවෙන් ජලය අවශ්‍ය බවට එම අමාත්‍යාංශය මූලික දැනුවත් කිරීම් කළේ ජූනි 30 වැනිදා. විදුලිබල මණ්ඩලය සහ ජල කළමනාකරණ කමිටුව රැස්ව එදින සිට ජලය නිකුත් කිරීමට තීරණය කළා. හදිසියේ කරන ඉල්ලීම් නිසා විදුලිය උත්පාදනයට ගැටලු‍ මතු වෙනවා. වර්තමානයේ පවතින කාලගුණ තත්ත්වයත් සමඟ විදුලිබලය මෙගාවොට් 3750 ක්වත් නිපදවිය නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. දැවිතෙල් හෝ ඩීසල්වලින් දැනට විදුලිබලය නිපදවන්නේ නැහැ.

වාරිමාර්ග ඇමැති රොෂාන් රණසිංහ

වලවට සමනළ වැවෙන් ජලය ගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ. සමනළ වැවෙන් වාරිමාර්ග කටයුතු සඳහා ජලය ගත නොහැකි නම් කළු ගඟ හෝ ගිං ව්‍යාපෘති කඩිනම් කළ යුතුයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ ජල ඉල්ලීම කළේ ජූනි මස 30 වැනිදා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment