මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට වෙඩි තැබූ සුරාබදු නිලධාරීහු ඇප මත මුදාහැරෙති

130

පෙරේදා (07 දා) පස්වරුවේ මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැමිණි වාහනයක් ඉලක්ක කොට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සුරාබදු පරීක්ෂකවරයකු ඇතුළු සුරාබදු නිලධාරීන් සිවුදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපමත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (08දා) නියෝග කළේය.

වාහනයක් ඉලක්ක කොට වෙඩි තබා පොලිසියට වාර්තා නොකොට පලායෑම හා මහජන පීඩාවක් වන පරිදි වෙඩි තැබීම යන චෝදනා යටතේ පොලිසිය විසින් එම සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම සුරාබදු නිලධාරීන් එක්තරා හෝටලයකදී වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් පිරිසක් පලායෑම නිසා එම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔවුන් සිදුකර ඇත්තේ රාජකාරියක් මිස වෙනත් කාර්යයක් නොවනා බවත් සැකකාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අශෝක වීරසූරිය මහතා ඇතුළු නීතිඥ මණඩලය අධිකරණයට පැවසූහ.

සැකකාර නිලධාරීන් මත්ද්‍රව්‍ය වැටලීමකට සහභාගි වූ බවට ඔවුන්ගේ උසස් නිලධාරීන්ගෙන් විමසා බැලීමක් සිදු කළේ දැයි පැමිණිල්ල මෙහෙය වූ පොලිස් නිලධාරීන්ගෙන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමසා සිටි අතර මේ දක්වා එවැනි විමසීමක් සිදු නොකළ බව පොලිසිය පැවසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් යම්කිසි වැටලීමක් සිදු කරන විට ඊට පෙර ඒ බව පොලිසියට වාර්තා කළ යුතු දැයි විමසා සිටි අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙඩි තැබීම සිදුකර කොපමණ වේලාවකට පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තේ යැයි ද විමසා සිටියේය.

වෙඩි තැබීමෙන් පැය එකහමාරකට පමණ පසුව සැකකාර නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසූ අතර නීති විරෝධී වෙඩි තැබීමක් සිදු කළේ නම් පොලිස් වසම තුළ ඔවුන් එපමණ කාලයක් රැඳී සිටිනු ඇතිදැයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේය.

එම නඩුව ලබන 28 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment