ඩෙල්ටා, ඔමික්‍රෝන් – උත්සව සමය හා අවදානම

162

2020 ජනවාරි මස සිට ශ‍්‍රී ලංකාවේ මෙන්ම ගෝලීය වශයෙන් සමාජයීය හා ආර්ථිකමය දැඩි බලපෑමක් එල්ල කළ කොරෝනා වසංගතය පසුගිය මාස කිහිපය තුළ යම් පාලනයකට නතුව තිබුණි. එම නිසා ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට සංචරණ සීමා හා මාර්ගෝපදේශ ලිහිල් කරමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ ජනතාව උත්සව සමය තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශන නොසලකා කටයුතු කරන බවක් හා රජය කොරෝනා පිළිබඳව ලිහිල් ක‍්‍රමවේදයක් අනුගමනය කරන බව නිරීක්ෂණය වේ.

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස කොරෝනා වසංගතය මෙරටට පැමිණි මුල් අවස්ථාවේදීම රට සම්පූර්ණයෙන් වසා දැමීමටත් (Lockdown), ඉන් පසු උපක‍්‍රමශීලි ලෙස රට විවෘත කිරීමත් (Exit Strategy), නව සාමාන්‍යකරණයක් (New Normalcy) යටතේ රට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවත්, පරීක්ෂණ සිදු කිරීම සඳහා මාර්ගෝපදේශ නිකුත් කිරීමටත් (Testing strategy), එන්නත්කරණයේ ඇති වැදගත්කම (Vaccination strategy) හා ඒවා ක‍්‍රියාත්මක කරන ආකාරය පිළිබඳවත් අප විසින් පෙන්වා දුන් අතර, ඒවා යම් යම් ප‍්‍රමාදයන් මැද හෝ ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රතිඵල අද ජනතාව භූක්ති විඳිමින් සිටියි. එමෙන්ම නිවාස තුළ නිරෝධායනය (Home Quarantine) හා නිවෙස් ප‍්‍රතිකාර ක‍්‍රමය (Home Care) අපගේ මැදිහත්වීමෙන් සිදු කිරීමට හැකිවීම නිසා ජනතාවට සිදුවීමට තිබූ ආර්ථිකමය හා සාමාජයීය අපහසුතා විශාල ප‍්‍රමාණයක් වළක්වා ගත හැකි විය.

 මෙසේ ලෝක සම්මතයන්ට අනුගතව රටට ආවේණික වූ කොරෝනා මර්දන ව්‍යාපාරයක් වෙනුවෙන් අප කළ මැදිහත්වීම, කොරෝනා වසංගතය වසංතයක්, කරගනිමින් පරීක්ෂණ කට්ටල ගෙන්වීම, එන්නත්කරණය, නිරෝධායනය හා ප‍්‍රතිකාර කිරීම තමන්ගේ බඩ වඩා ගැනීම සඳහා යොදා ගත් පිරිසට ඉවසුම් නොදෙන්නක් විය. එම පිරිස මෙම කොරෝනා මර්දන වැඩපිළිවෙළේ උපක‍්‍රමශීලි අවස්ථා (Strategy) සිය බලය යොදා ගනිමින් මාධ්‍ය හරහා සැහැල්ලූවට ලක් කර ජනතාව අතර කොරෝනා මර්දනය සම්බන්ධව සෞඛ්‍ය අංශ ගන්නා ක‍්‍රියාමාර්ගය පිළිබඳ සැකයක් ඇති කිරීමට කටයුතු කළහ. එම පිරිස අද වන විටත් මාධ්‍ය හා සෞඛ්‍ය අංශයේ නමට පමණක් වෘත්තීය සමිති ලෙස පෙනී සිටින්නන් ලවා අප සංගමය ගැන අසත්‍ය ප‍්‍රතිචාර පතුරවමින් සිටිති. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව වනුයේ කොරෝනා වසංගතයෙන් තම ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම පමණක් වන අතර අප සංගමය ඊට බාධාවක් බැවින් අපට එරෙහිව කටයුතු කරමින් සිටිති. කොරෝනා වසංගතයෙන් අයථා ලෙස උපයා ගත් මුදල් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එරෙහිව යොදා ගන්නා බව අපගේ විශ්වාසයයි.

 මේ වන විට ලොව පුරා කොවිඞ් වෛරසයේ අලූත්ම ප‍්‍රභේදය වන, ඔමික්‍රෝන්, නමැති විකෘතික ප‍්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. මේ සම්බන්ධව අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත්තේ මේ වන විටත් ලොවපුරා රටවල් 89 ක් වෙත මෙම ප‍්‍රභේදය ව්‍යාප්ත වී ඇති අතර සෑම දින 3 කටම වරක් ඔමික්‍රෝන් ආසාදිතයන් දෙගුණයක් වන බවයි. මෙම ඔමික්‍රෝන් ප‍්‍රභේදයේ ප‍්‍රචණ්ඩතාව පිළිබඳව විවිධ අදහස් පළවී ඇතත් එය අනිත් ප‍්‍රභේද වලට වඩා මෘදු බවක් හෝ ප‍්‍රචණ්ඩ බවක් ස්ථීර වශයෙන් ප‍්‍රකාශයට පත් වී නොතිබීම අප අවධානයෙන් සිටිය යුතු කාරණයකි. එමෙන්ම මෙම ප‍්‍රභේදය එන්නත් වලට දක්වන ප‍්‍රතිචාරය සම්බන්ධව ස්ථිරව නිගමනය කර නොමැත. මෙම ප‍්‍රභේදය සහිත රෝගීන් කිහිපදෙනකු ශ‍්‍රී ලංකාවෙන්ද වාර්තා වී ඇත.

 නව ප‍්‍රභේදය ව්‍යාප්ත වීමත් සමඟ මේ වන විටත් සමහර රටවල් විදෙස් සංචාර පාලනය කිරීමට, දේශ සීමා වසා දැමීමට හා සෞඛ්‍ය මාර්ගෝපදේශ තරකිරීමට ක‍්‍රියා කර ඇත. නමුත් ශ‍්‍රී ලංකාව තවදුරටත් සිය සෞඛ්‍ය නීති ලිහිල් කරමින් කටයුතු කරන අතර තවමත් මෙම ප‍්‍රභේදය සම්බන්ධව වෙනම මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කර නොතිබීම ගැටලූ සහගතය.

 මෙහිදී අප විශේෂයෙන් අවධාරණයට ගත යුතු කාරණය වනුයේ මේ වන විට වාර්තා වන ප‍්‍රමාණයට වඩා කොරෝනා රෝගීන් ප‍්‍රමාණයක් සමාජයේ සිටින බවත්, ඔවුන්ට රෝගය පැතිරවීමට ඇති අවස්ථාව ඉහළ මට්ටමක පවතින බවත්ය.

 ඔමික්‍රෝන් හා ඩෙල්ටා යන ප‍්‍රභේද එකතු වී මීට වඩා භයානක සුපිරි විකෘතියක් බිහි වීමේ අවදානමද ලොව පුරා සිටින සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත. මෙය ඉතාම බරපතළ තත්ත්වයකි. එසේ වුවහොත් එවැනි වෛරසයක් ශ‍්‍රී ලංකාවට ඇතුලූ වීම වැළැක්වීමටත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රභේදයක් ඇති වුවහොත් එය ව්‍යාප්ත වීම වැළැක්වීමටත් දැඩි ක‍්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුනහොත් මේ වන විටත් දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටින රට තවදුරටත් අසරණ වීම වැළැක්විය නොහැකි වනු ඇත.

 මේ මොහොතේ, ශ‍්‍රී ලාංකිකයන් පසුගිය වසරවල තමන්ට සැමරීමට නොහැකි වූ නත්තල හා නව අවුරුද්ද සැමරීමටත්, උත්සව වලට සූදානම් වීමත් සිදු කරමින් සිටියි. සෞඛ්‍ය මර්ගෝපදේශන තුට්ටුවකටවත් මායිම් නොකරමින්, කොරෝනා සම්බන්ධ මතකයකින් හෝ තොරව මහජනතාව කටයුතු කරනු දක්නට ඇත. වසංගතයේ මුල් අවධියේදී එන්නත ලබා ගැනීමට පොරකෑ ජනතාව විවිධ මිථ්‍යා මත හා විශ්වාස වල එල්බ ගනිමින් ඊදදිඑැර එන්නත ලබාගැනීම හිතාමතාම පැහැර හරිමින් සිටියි. ඔමික්‍රෝන් සම්බන්ධව හා එය පාලනය සඳහා මේ වන විට ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ගය ඊදදිඑැර එන්නත ලබා ගැනීම බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී තිබියදීත් ජනතාව හිතාමතාම තම ජීවිත අවදානමට පත්කර ගනිමින් සිටිති.

 මෙසේ මහජනතාව සෞඛ්‍ය අංශවල උපදෙස් වලින් බැහැරව කටයුතු කිරීම සහ ඔවුන් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශන වලට (මුව ආවරණයක්  (Mask) පැළඳීම/ දුරස්තභාවය හා සංචරණය අවම කිරීම (Distancing)/ විෂබීජ හරණය
 (Aseptic techniques)  ශ්වසන ස්වස්තතාවය(Respiratory etiquette) හා පූර්ණ එන්නත් (Vaccination) අනුගත කරවා ගැනීම සඳහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගැනීම සෞඛ්‍ය අංශවල හා රජයේ වගකීමකි. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීම, ජනතා විශ්වාසය දිනා ගැනීම හා නව ප‍්‍රභේද හඳුනා ගැනීම මෙන්ම පරීක්ෂණ ධාරිතාව හා එන්තකරණ වේගය වැඩිකළ යුතුව ඇති අතර සෞඛ්‍ය නීති කඩන්නන් සම්බන්ධව අවශ්‍ය නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුය.

 පවතින ගෝලීය තත්ත්වයන් හා වෛරස ප‍්‍රභේද සම්බන්ධව සෞඛ්‍ය අංශයේ විශේෂඥයන් සමග මෙම ප‍්‍රභේද වලට මුහුණ දීමට හා කොරෝනා මර්දනය සඳහා සඵල ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කළ යුතුව ඇත. එම සැලැස්ම මනා අධීක්ෂණයකින් යුතුව රට තුළ ක‍්‍රියාත්මක කළ යුතුය. එසේ කිරීමෙන් පමණක්ම රට කොරෝනා අවදානමෙන් ගලවා ගත හැකිය.

 සැවොම එක් වී කොරෝනාවෙන් ජයගමු.

ඩෙල්ටා, ඔමික්‍රෝන් - උත්සව සමය හා අවදානම



 වෛද්‍ය නවීන් ද සොයිසා
 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment