මිනිස් ඉතිහාසයේ නව යුගයක් ඇරඹූ 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය

636

“ඔක්තෝබර් 25 වැනිදා පරණ ජූලියස් සීසර් කැලැන්ඩරයට අනුව (නොවැම්බර් 07) උදේ වන විට මධ්‍යම දුරකථන හුවමාරු මධ්‍යස්ථානය, විදුලි සංදේශ කාර්යාලය, ගුවන්විදුලි මධ්‍යස්ථානය, නේවා ගඟ හරහා තිබූ පාලම, දුම්රිය පොළවල් සහ අගනුවර පිහිටි සියලු වැදගත් රජයේ කාර්යාල කැරැලිකාර කම්කරුවන්, යුද භටයන් හා නාවිකයන් විසින් අල්ලා ගනු ලැබ තිබුණි.

වැඩ කරන ජනතාවට පැය 8ක වැඩ දිනයක් ලබාදීම, ගැබිනි මව්වරුන්ට සති 16ක නිවාඩුවක් ලබාදීම, වැඩ කිරීමට නොහැකි කම්කරුවන්ට පූර්ණ සමාජ සුරක්ෂිතභාවය ලබාදීම, නිවාස පහසුකම්, නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ප්‍රථම වතාවට ලබා දුන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් බිහිවූ සෝවියට් පාලනය විසිනි.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය මිනිස් සංහතියේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීය. එය සාර් අධිරාජ්‍ය බිඳ වැටීමේ හා සමාජවාදය ජයග්‍රහණය කිරීමේ නව යුගය ආරම්භ කළේය. ඔක්තෝබර් විප්ලවය විසින් ලෝකයේ යටත් විජිත ක්‍රමය බිඳ දැමීම හා ජාතීන්ගේ නිදහස ජාතික විමුක්ති අරගලයේ ජයග්‍රහණයන් සඳහා අතිවිශේෂ කාර්ය භාරයක් ඉටු කළේය.

2023 නොවැම්බර් මස 07 වන දිනට යෙදී ඇති ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ 106 වැනි සංවත්සරය නිමිත්තෙනි.

1917 රුසියානු පෙබරවාරි විප්ලවයෙන් සාර් රජු බලයෙන් පහකර අගමැති කෙරෙන්ස්කි ප්‍රමුඛ ධනපති ආණ්ඩුවට බලය මාරු වුවද පෙබරවාරි විප්ලවයේ ජනතා ඉල්ලීම් ඉටු නොවීය. අප්‍රේල් 04 වැනිදා බොල්ෂෙවික්වරුන්ගේ රැස්වීමකදී ලෙනින් විප්ලවීය නිර්ධන පංතියේ කර්තව්‍යයන් ගැන සිය සටහන් කියවීය.

මේවා “අප්‍රේල් සටහන්” වශයෙන් ඉතිහාස ගත වී ඇත. ඒ මගින් ලෙනින් ධනේශ්වර පන්තියට බලය ලබා දුන්නා වූ 1917 පෙබරවාරි ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සිට කම්කරු පන්තියට හා දුප්පත් ගොවීන්ට බලය ලබා දෙන්නා වූ සමාජවාදී විප්ලවයට සංක්‍රාන්ත වීම ක්‍රියාත්මක කිරීම සඳහා මුර්ත, නියත සැලැස්මක් සකස් කළේය. අගමැති කෙරෙන්සිගේ තාවකාලික ආණ්ඩුව ධනපතියන්ගේ හා ඉඩම් හිමියන්ගේ

අයිතිවාසිකම් ආරක්‍ෂා කරන බවත් පළමුවන ලෝක යුද්ධය තවමත් රටවල් අල්ලා ගැනීම සඳහා කරන කොල්ලකාරී යුද්ධයක් බවත් ලෙනින් පෙන්වා දුන්නේය. “තාවකාලික ආණ්ඩුවට සහයෝගය නොදෙමු සියලු බලතල සෝවියට් සභාවලට” යන සටන් පාඨය ඔහු ඉදිරිපත් කළේය. ජාතියට – සාමය, ගොවීන්ට – ඉඩම් සහ සාගින්නෙන් පෙළෙන්නන්ට පාන් ලබාදිය හැක්කේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ සෝවියට් සභාවල බලයට පමණකැයි ඔහු පැහැදිලි කළේය.

ලෙනින් “අප්‍රේල් සටහන්” වල සැලසුම් කර තිබූ පරිදි පක්ෂයේ වැඩපිළිවෙළ හා උපක්‍රම පැහැදිලි කර දුන්නේය. රුසියාව තවමත් සමාජවාදී විප්ලවයක් සඳහා මෝරා නැතැයි යන මෙන්ෂෙවික් ප්‍රකාශනය පුනරුච්චාරණය කරමින් සිටි කාමෙනෙව්, රිකොව් හා ඔහුගේ අතලොස්සක් අනුගාමිකයන් විසින් ගන්නා ලද ස්ථාවරය ඔහු හෙළා දැක්කේය. එසේම විප්ලවය පිළිබඳ ඔවුන්ගේ සංශෝධන ආකල්පය හා රුසියාවේ විප්ලවය ජයගත හැකිය යන අදහස ප්‍රතික්ෂේප කිරීම ඔහු දැඩි විවේචනයට ලක් කළේය. පක්ෂය ලෙනින්ගේ නායකත්වය පිළිගත්තේය.

අවස්ථාවාදීන්ට විරුද්ධ විය. සමාජවාදී විප්ලවය සඳහා වූ ඔහුගේ සටන් වැඩපිළිවෙළ අනුමත කොට එය සිය ප්‍රායෝගික කටයුතුවල පදනම කරගත්තේය.

ලෙනින්ගේ නායකත්වය යටතේ බොල්ෂෙවික්වරු පක්ෂයේ වැඩපිළිවෙළ කම්කරුවන්ට, යුද භටයන්ට සහ ගොවීන්ට පැහැදිලි කර දුන් අතර බහු ජනතාවට දේශපාලන අධ්‍යාපනයක් දීමේ සහ ඔවුන් සංවිධානය කිරීමේ කටයුතු කරගෙන ගියෝය. ලෙනින් 1917 ජූලි මස පෙට්‍රොග්‍රෑඩ්හි දී පැවැත් වුණ පක්‍ෂයේ හයවෙනි සම්මේලනය මෙහෙය විය.

ධනේශ්වර පංතිය බොල්ෂෙවික්වරුන්ට එරෙහිව ඔවුන්ගේ දඩයම උත්සන්න කර සමුළුව කඩාකප්පල් කිරීමට තර්ජනය කර තිබූ හෙයින් එය අර්ධ නිත්‍යානුකූල තත්ත්වයක් යටතේ පැවැත්වීමට සිදුවිය.

ළඟ එන සමාජවාදී ධනේශ්වර රාජ්‍ය කෙරෙහි පක්ෂයේ ආකල්පය හා නිර්ධන පංතිය බලයට පත්වූ පසු කුමන ආකාරයක රාජ්‍යයක් ගොඩනැගිය යුතු ද යන්න පිළිබඳ ප්‍රශ්නය තියුණු අවධානයට යොමු කෙරිණ. 1917 සරත් ඍතුවේ ලෙනින් සැඟවී සිටියදී ඔහු විසින් ලියන ලද “රජය සහ විප්ලවය” නමැති ඔහුගේ ප්‍රසිද්ධ ග්‍රන්ථයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇත. අවස්ථාවාදීන් විසින් විකෘති කරනු ලැබ තිබූ රාජ්‍ය සහ නිර්ධන පංති ආඥාදායකත්වය ගැන මාක්ස් සහ එංගල්ස්ගේ ඉගැන්වීම් ඔහු ආරක්‍ෂා කළ අතර එම ඉගැන්වීම් නව ඓතිහාසික තත්ත්වයට අදාළ කරමින් සංවර්ධනය කළේය.

මිනිස් ඉතිහාසයේ නව යුගයක් ඇරඹූ 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය

“රජය සහ විප්ලවය” නමැති සිය ග්‍රන්ථයෙන් ලෙනින් සමාජවාදී සමාජයේ සංවර්ධනයෙහි අදියර දෙකක් වශයෙන් විස්තර කළේය. සමාජවාදය හා කොමියුනිස්ට්වාදය පැහැදිලි කර දීමට සෑහෙන අවධානයක් යොමු කළේය. මාක්ස් සහ එංගල්ස්ගේ අදහස් සංවර්ධනය කරමින් සමාජවාදය නිරායාසයෙන්ම කොමියුනිස්ට්වාදය බවට විකාශය වන බව ඔහු පෙන්වා දුන්නේය.

1917 ඔක්තෝබර් 10 වැනිදා පක්‍ෂ රැස්වීමකදී සන්නද්ධ නැගිටීම පිළිබඳ ප්‍රශ්නය සාකච්ඡා කෙරිණ. නිර්ධන පංතිය සහ දුප්පත් ගොවීන් විසින් බලය ඇල්ලීම සඳහා සුදුසු මොහොත උදාවී ඇතැයි පෙන්නුම් කරන වාර්තාවක් ලෙනින් විසින් ඉදිරිපත් කරන ලදී. සන්නද්ධ නැගිටීම පිළිබඳ ලෙනින්ගේ ඓතිහාසික යෝජනාව මධ්‍යම කාරක සභාව විසින් සම්මත කරන ලදී. කාමෙනෙව් හා සිනොව්යෙව් යෝජනාවට විරුද්ධ වූහ. පක්ෂය ලෙනින්ගේ ක්‍රියාමාර්ගය පිළිගත් අතර ලෙනින්ගේ යෝජනා එහි ප්‍රායෝගික වැඩකටයුතුවල මුල්ගල වශයෙන් සැලකීය. මෙම රැස්වීමේදී කැරැල්ලේ දේශපාලන නායකත්වය දැරීම සඳහා ලෙනින්ගේ නායකත්වයෙන් යුතු දේශපාලන මණ්ඩලයක් තෝරා ගන්නා ලදී.

ඔක්තෝබර් 16 වැනිදා ලෙනින් කම්කරු සංවිධානවල නියෝජිතයන් සමග ඒකාබද්ධ කොට පවත්වන ලද මධ්‍යම කාරක සභාවේ පුළුල් රැස්වීමක් ඇමතීය. බලය අල්ලා ගැනීමේ කැරැල්ල වහාම ආරම්භ කළ යුතු යැයි ඔහු අවධාරණය කළේය. රැස්වීමේ බහුතරය ලෙනින්ට සහයෝගය දැක්වූහ. මෙම රැස්වීමේදී කැරැල්ල මෙහෙයවීමට මධ්‍යම විප්ලවීය යුද මණ්ඩලයක් තෝරා ගන්නා ලදී. මෙය ඒ. එස්. බුබිනොව්, එස්. ඊ. ජෙෂින්ස්කි, වයි. එම්. ස්වෙර්ද්ලොව්, ජේ. වී ස්ටාලින් සහ එම්. එස්. උරිට්ස්කි ගෙන් සමන්විත විය.

කැරැල්ල කල් දැමීමට ඉදිරිපත් කරන ලද සියලුම තර්ක ලෙනින් තරයේ ප්‍රතික්ෂේප කළේය. ධනේශ්වර පංතිය මෙම ප්‍රමාදයේ වාසිය විප්ලවීය බලවේග විනාශ කර දැමීමට ඉවහල් කරගනු ඇතැයි ඔහු කීවේය. පක්ෂ ක්‍රියාකාරීන් හා හමුදා නායකයන් රහසිගතව මුණගැසුණු ඔහු ළඟ එන සටන් සඳහා සූදානම් කිරීමේ කටයුතු පරීක්ෂා කළේය. කැරැල්ල සඳහා හමුදා හා තාක්ෂණික සූදානම් කිරීම අධීක්ෂණය කළ ඔහු අවවාද හා උපදෙස් දුනි.

පක්ෂ සංවිධානවලට සන්නද්ධ අරගල සඳහා සූදානම් වීමට ආධාර කිරීම් වස් පක්‍ෂ මධ්‍යම කාරක සභා නියෝජිතයන් ප්‍රදේශවලට පිටත් කර හරින ලදී. අති විශේෂ ශක්තියකින් හා විශ්වාසයකින් යුතුව, ලෙනින් පක්‍ෂ සාමාජිකයන් ඒකරාශී කොට ඔවුන් අවසාන සටන සඳහා සූදානම් කළේය. නිතරම බහුජනතාව මධ්‍යයේම සහ ඔවුන්ගේ

අරගලයෙහි නායකත්වයෙහි සිටිමින් පක්ෂය දස ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, ගොවීන් සහ යුද භටයන් විප්ලවයේ එක්සත් හමුදාවට ඒකරාශී කිරීමට සමත් විය.

ට්‍රොට්ස්කි සන්නද්ධ නැගිටීම ගැන සෝවියට් සභාවල දෙවන සමුළුව කැඳවන තෙක් කල්දමන ලෙස කියා සිටියේය. ලෙනින් මෙම තත්ත්වයට තරයේ විරුද්ධ විය.

සෝවියට් සභාවල සම්මේලනය තෙක් බලා සිටීම පල් මෝඩකමක් නැතිනම් හුදු පාවාදීමක් යැයි ලෙනින් සඳහන් කළේය.

මිනිස් ඉතිහාසයේ නව යුගයක් ඇරඹූ 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය

සන්නද්ධ නැගිටීම

සන්නද්ධ නැගිටීම 1917 ඔක්තෝබර් 25 වැනි දාට යොදාගෙන තිබූ සෝවියට් සභාවල දෙවන සමුළුව ආරම්භවීමට පෙර පටන්ගත යුතුය යැයි ද එදිනට විප්ලවයට තීරණාත්මක ප්‍රහාරයක් එල්ල කිරීමට සැරසෙමින් සිටින, ප්‍රතිවිප්ලවවාදී බලවේගවලට ඉස්සර විය යුතු යැයිද ලෙනින් අවධාරණයෙන් කියා සිටියේය. යුද්ධ මධ්‍යස්ථානයෙහි නියෝගය අනුව රතු හමුදාව හා යුද භටයෝ පුවත්පත් කාර්යාලය සිය ආරක්ෂාව යටතට ගත් අතර කැරැල්ලේ මූලස්ථානය පිහිටි ස්මෝල්නි ආයතනය මුර කිරීම සඳහා ඒ අවට භටයන් රැඳවූහ.

ආණ්ඩුව නේවා ගංගාව හරහා ඇති පාලම ඔසවා, එමගින් කම්කරුවන්ගේ විප්ලවීය බලවේග බෙදා ඔවුන් වෙන්කොට පහරදීමට අදහස් කරන බව සැලවූ වහාම ලෙනින් ස්මොල්නියට යෑමට තීරණය කළේය. ඔක්තෝබර් 24 වැනිදා මහ රෑ සිය ජීවිතය පරදුවට තබමින් ධනපති ආණ්ඩුවේ කොසැක් සහ කැඩෙට් හමුදා විසින් මුර සංචාරයේ යෙදුන පෙට්‍රොග්‍රෑඩ් නගරයේ පාළු වීදි දිගේ ලෙනින් ස්මොල්නියට ගියේය. එහි ගොස් කෙළින්ම විප්ලවය මෙහෙයවීම භාර ගත්තේය. “රතු භටයෝ කම්කරු නියෝජිතයෝ සහ හමුදා භටයෝ උපදෙස් ලබා ගැනීමට සෑම පෙදෙසකින්ම පැමිණියෝය. කම්හල් සහ මෝල්වලටත් පක්‍ෂ ප්‍රාදේශීය සංවිධාන සහ හමුදා ඒකකවලටත් කැරැල්ල ආරම්භ කිරීමට නියෝග යවන ලදී. සැලසුමෙන් පිළියෙල කර තිබූ පරිදි රතු භට කණ්ඩායම් වැදගත් ස්ථාන හා නගරයට පිවිසෙන ස්ථාන අල්ලා ගැනීමට පටන් ගත්හ. නගරයට පිවිසෙන ස්ථාන බොල්ටික් නාවික කණ්ඩායමේ නාවිකයන් හා විප්ලවීය ඒකක විසින් ද කම්හල් හා මෝල් රතු භටයන් විසින් ද මුර කරන ලදී.

කැරැල්ල සම්පූර්ණයෙන්ම ලෙනින්ගේ උපදෙස්වලට අනුකූලව, සැබෑ යුද හමුදා නිශ්චිතතාවයකින් හා දක්ෂතාවකින් යුතුව සිදු කෙරිණ. සටන් ඒකක උසස් මට්ටමක සංවිධානයකින්, විනයකින් හා සම්බන්ධිකරණයකින් ක්‍රියා කළේය. රාත්‍රිය මුළුල්ලෙහිම ලෙනින් කැරැල්ලේ ප්‍රගතිය පිළිබඳ වාර්තා ලබාගනිමින් උපදෙස් නිකුත් කළේය. ඔක්තෝබර් 25 වැනිදා පරණ ජූලියස් සීසර් කැලැන්ඩරයට අනුව (නොවැම්බර් 07) උදේ වන විට මධ්‍යම දුරකථන හුවමාරු මධ්‍යස්ථානය, විදුලි සංදේශ කාර්යාලය, ගුවන්විදුලි මධ්‍යස්ථානය, නේවා ගඟ හරහා තිබූ පාලම, දුම්රිය පොළවල් සහ අගනුවර පිහිටි සියලු වැදගත් රජයේ කාර්යාල කැරැලිකාර කම්කරුවන්, යුද භටයන් හා නාවිකයන් විසින් අල්ලා ගනු ලැබ තිබුණි.

එදින උදේ පෙට්‍රොග්‍රෑඩ් කම්කරු හා සොල්දාදු නියෝජිතයන්ගේ විප්ලවීය යුද්ධ කමිටුව වෙනුවෙන් ලෙනින් විසින් රුසියාවේ පුරවැසියන් වෙත ලියන ලද ඓතිහාසික ප්‍රකාශය නිකුත් කරන ලදී. තාවකාලික ආණ්ඩුව බලයෙන් පහකර ඇති බවත් රාජ්‍ය බලය සෝවියට් සභා අතට පත්වී ඇති බවත් ජනතාව විසින් සටන් වැද දිනා ගැනීමට බලාපොරොත්තු වූ අභිප්‍රාය ජයග්‍රහණය කර ඇති බවත් එයින් දැනුම් දෙන ලදී. පස්වරු 2.30ට පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව එහි ඓතිහාසික රැස්වීම පැවැත්වීය. ශාලාව තුළට ලෙනින්ගේ පිවිසීම ඝෝෂාකාරී උද්‍යෝගයක දර්ශනයක් ජනිත කළේය.

සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය හා සෝවියට් බලය ඉදිරියේ ඇති කර්තව්‍යයන් පිළිබඳ ඓතිහාසික කතාවක් කළ ඔහු රුසියාවේ සමාජවාදය ජයග්‍රහණය කරන්නේ යැයි සිය විශ්වාසය පළ කළේය. “අද සිට රුසියන් ඉතිහාසයේ නව යුගයක් පටන්ගනී. එසේම මෙය, තුන්වෙනි රුසියන් විප්ලවය, අවසානයේදී සමාජවාදයේ ජයග්‍රහණය කරා ගමන් කළ යුතු බව ඔහු කීය. ඔක්තෝබර් 25 වැනි දින රාත්‍රියේ තාවකාලික ආණ්ඩුවක ඇමතිවරුන් රැස්වී සිටී. හිම මාලිගය වහාම අල්ලා ගන්නා ලෙස ලෙනින් නියෝග කළේය. “අව්රෝරා” නෞකාවෙන් නිකුත් වූ ඓතිහාසික වෙඩි ප්‍රහාරයෙන් හිම මාලිගයට පහර දීමේ සංඥාව දෙන ලදී. විප්ලවීය හමුදා ඒකක ක්‍ෂණිකව දරුණු ප්‍රහාරයකින් හිම මාලිගාව අල්ලා ගත්හ. ධනේශ්වර ආණ්ඩුවේ අන්තිම ආරක්ෂක පවුර බිඳ වැටුණි. ධනපති ආණ්ඩුවේ අගමැති කිරෙන්ස්කි කාන්තාවක් මෙන් වෙස් මාරුකර ගෙන ගොස් ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රැකවරණය ලබා ගත්තේය.

ලෙනින්ගේ නායකත්වයෙන් බොල්ෂෙවික් පක්ෂය රුසියාවේ ජනතාව ඔවුන්ගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය කරා මෙහෙය වීය. ඔක්තෝබර් ජයග්‍රහණය මාක්ස් ලෙනින්වාදයේ ජයග්‍රහණය විය. එය බොල්ෂෙවික් ලෙනින්වාදීන් වසර ගණනාවක් මුළුල්ලේ ගෙනගිය දුෂ්කර අප්‍රතිහත කාර්ය භාරයේ වීරෝධාර දැඩි අරගලයේ ප්‍රතිඵලය විය. විප්ලවීය මාක්ස්වාදී පක්ෂයක් විසින් මෙහෙයවනු ලැබූ විට කම්කරු පංතිය සහ දුප්පත් ගොවීන් කොතරම් දැවැන්ත බලවේගයක් ද යන්න ඔක්තෝබර් සමාජවාදී විප්ලවය මුළුමහත් ලෝකයේම ජනතාවන්ට ප්‍රදර්ශනය කළේය.

එය සැබෑ ජනතා විප්ලවයක් විය. එය රුසියාවේ ධනේශ්වර ක්‍රමය අවසන් කළේය. මිනිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්ධන පංතියේ දේශපාලන ආධිපත්‍ය ස්ථාපිත කළේය. කම්කරුවන්ගේ හා ගොවීන්ගේ රාජ්‍යයක් නිර්මාණය කළේය. ඔක්තෝබර් විප්ලවය හුදෙක්ම දේශපාලන බලය මාරු කිරීමක් නොවේ. එය රුසියාවේ ජනතාවගේ ජීවිතයේ ගැඹුරු සමාජ ආර්ථික පෙරළියක් ජනිත කළේය. එය රටෙහි විප්ලවීය නිර්මාණයක ආරම්භය සහ නව සමාජවාදී සමාජයක් ගොඩනැගීම සනිටුහන් කළේය.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණය මිනිස් සංහතියේ ඉතිහාසයේ නව පිටුවක් පෙරළීය. එය සාර් අධිරාජ්‍ය බිඳ වැටීමේ හා සමාජවාදය ජයග්‍රහණය කිරීමේ නව යුගය ආරම්භ කළේය. ඔක්තෝබර් විප්ලවය විසින් ලෝකයේ යටත් විජිත ක්‍රමය බිඳ දැමීම හා ජාතීන්ගේ නිදහස ජාතික විමුක්ති අරගලයේ ජයග්‍රහණයන් සඳහා අතිවිශේෂ කාර්ය භාරයක් ඉටු කළේය.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය විසින් පෘථිවි තලයෙන් හයෙන් එකක් වන රටක කම්කරුවන්, දුප්පත් ගොවීන්, සොල්දාදුවන් හා නිර්ධන පංතියේ බුද්ධිමතුන්ගේ පාලන බලය ස්ථාපිත කරනු ලැබුවේය.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ සිදුවීම් විස්තර කරමින් ලොව හෙල්ලූ දස දවසක් නමින් කෘතියක් ලියූ ඇමෙරිකානු ප්‍රසිද්ධ ලේඛක ජෝන්රීඩ්ගේ එම කෘතියේ පෙරවදනෙහි මෙසේ සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් සමාජවාදී විප්ලවය පිළිබඳ මෙම සටහන සමාප්ත කරන්න ඉතාමත් උචිතය. සෝවියට් ආණ්ඩුවට සම්පූර්ණයෙන්ම අවුරුද්දක් ගත වී ඇති මෙකල පවා බොල්ෂෙවික් කැරැල්ල පිළිබඳව විවිධ අදහස් පළ කෙරේ. හැබැයි එය මානව සංහතිය විසින් මෙතෙක් දරන ලද විශිෂ්ටතම ප්‍රයත්නයයි.

තවද එය වැඩ කරන ජනතාවගේ පැතුම් සමුදාය මත්තෙහි සියල්ල පරදුවට තබා වැඩ කරන ජනතාව පෙරටු කරගෙන ඉතිහාසය තුළට කඩා වැදුණු ප්‍රයත්නයකි.

විශාල වතු ගොවියන් අතර බෙදා දීමට ඒ වන විටත් ක්‍රියාකර තිබුණි. කම්කරුවන් කර්මාන්ත ශාලා පාලනය කිරීමට වෘත්තීය සමිති කම්හල් කමිටු ගොඩනගා ඇත.

කෙනකු බොල්ෂෙවික් වාදය සහ කොමියුනිස්ට්වාදය ගැන කුමක් සිතුවත් සමාජවාදී ඔක්තෝබර් විප්ලවය මානව ඉතිහාසයේ විශිෂ්ටතම සිද්ධීන්ගෙන් අති විශිෂ්ට එකක් බව අවිවාදයෙන් පිළිගත යුතුය.

ඔක්තෝබර් සමාජවාදී විප්ලවයේ වැදගත්කම

ඔක්තෝබර් විප්ලවය මිනිස් ඉතිහාසයේ සිදුවූ අනිකුත් විප්ලව වලට වඩා වෙනස් වන්නේ එය කම්කරු පංතිය දුප්පත් ගොවීන් මගින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන බලය දිනාගත් බැවිනි. ඔවුන්ගේ දේශපාලන බලයේ ස්වරූපය වූයේ සෝවියට් සභාවන්ය. එය දේශපාලන පක්ෂයක නිර්මාණයක් නොව 1905 රුසියානු විප්ලවය සමයේදී කම්කරුවන් විසින් නිර්මාණය කර ජනතාව විසින් ඉදිරිපත් කරන ලද පාලන ක්‍රමයකි. කම්කරු පංති දේශපාලන බලය පිහිටුවීමේ මග ජාත්‍යන්තර නිර්ධන පංතියට පෙන්වූයේ ද ඔක්තෝබර් විප්ලවය විසිනි.

අධිරාජ්‍යවාදයෙන් හා යටත් විජිතවාදයෙන් පෑගී සිටි ලෝක ජනතාවට ජාතික හා සමාජ විමුක්තියට මග හා ජනතාව අතර සහෝදරත්වය පෙන්වා දුන්නේ ඔක්තෝබර් විප්ලවය විසිනි. සැලසුම් සහගත ආර්ථික ක්‍රමය බිහිවූයේ ද ජාතීන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා කිසිම ජාතියකට වරප්‍රසාද දීමෙන් තොරව සියලුම ජාතීන්ට සමාන ලෙස සැලකීමත්, වැඩ කරන ජනතාවට පැය 8ක වැඩ දිනයක් ලබාදීම, ගැබිනි මව්වරුන්ට සති 16ක නිවාඩුවක් ලබාදීම, වැඩ කිරීමට නොහැකි කම්කරුවන්ට පූර්ණ සමාජ සුරක්ෂිතභාවය ලබාදීම, නිවාස පහසුකම්, නොමිලේ සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ප්‍රථම වතාවට ලබා දුන්නේ ඔක්තෝබර් විප්ලවයෙන් බිහිවූ සෝවියට් පාලනය විසිනි.

එස්. සුදසිංහ
නියෝජ්‍ය ප්‍රධාන ලේකම්
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය

advertistmentadvertistment
advertistmentadvertistment