ඔව් මම අතුල ශ්‍රී ගමගේ ගේ නංගි – ලක්මාලි ගමගේ

375

සියපත් පොකුරෙන් පස්සේ හැමෝම මාව හොයන්න ගත්තා

ඇය නමින් ලක්මාලි ගමගේ. හැබැයි මේ නම ඔබට නුහුරු නුපුරුදු වෙන්න පුළුවන්. නමුත් අතුල ශ්‍රී ගමගේ කිව්වහම නම් ඔබ හොඳින් දන්නවා ඇති. අද අපේ කථානායිකාව අතුල ශ්‍රී ගමගේ ගේ නැගණිය. ඇය අයියා වගේ දැන් ගායනයට යොමුවෙන්න පටන් අරගෙන. ඇත්තටම ලක්මාලි ගමගේ මෙච්චර කල් කොහේද හිටියේ. මොනවද කළේ. ඇයි මේ ගමනට ප්‍රමාද වුණේ. එහි තතු දැනගන්න අපි ලක්මාලිගේ හඬ අවදි කළා.

ලක්මාලි ගමගේ කියන්නේ කවුද කියලා මුලින්ම කතා කළොත්?

  • ලක්මාලි ගමගේ කියන්නේ සහෝදරයන් තුන් දෙනෙක් සහ සහෝදරියන් තුන්දෙනක් අතර හැදුණු පවුලක බාලම නංගී. ඒ කියන්නේ මම පවුලේ හත් වැනියා. මගේ ගම කළුතර රෙමුණාගොඩ. මගේ තාත්තාගේ ගම තමයි කළුතර. මගේ අම්මා නාවල. අක්කලා තුන් දෙනයි. අයියලා තුන්දෙනයි එක්ක තමා එකට හැදුනේ වැඩුණේ. පහු වෙද්දී එයාලා කොළඹට ආවා. මමයි පොඩි අයියයි විතරයි කළුතර හිටියේ. ඊට පස්සේ අපිත් ආවා. දැනට මම අතුරුගිරියේ පදිංචිය. මම විවාහකයි. දැන් මගේ සිහිනය තමයි සංගීතයෙන් ඉදිරියට එන එක. ඒ වෙනුවෙන් මම ගොඩාක් මහන්සිවෙලා වැඩ කරනවා.
ඔව් මම අතුල ශ්‍රී ගමගේ ගේ නංගි - ලක්මාලි ගමගේ

පාසල් කාලයේ සංගීතය විෂයක් විදිහට හැදෑරුවාද ?

ඔව්. මම පාසල් කාලයේදී සංගීතය වගේම නැටුම් විෂයත් හැදෑරුවා. විශේෂයෙන්ම සංගීතයට මගේ ලොකු ලැදියාවක් තිබුණා. මම දහම් පාසලේ දී සහ පාසලේදී ඕනෑම දෙයකදී ගීතයක් ගායනා කරන එක පුරුද්දක් කරගෙනයි හටියේ. මගේ පාසල වුණේ බොලොස්සගම මහා විද්‍යාලයයි. ජීවිතේ කවදාවත්ම පාසල් කාලය අමතක වෙන්නේ නෑ. සංගීතයේ මුල්ම හෝඩිය මම ඉගෙන ගන්නේ එතැනින්. පසුව මම මර්වින් පෙරේරා සර් යටතේ සංගීතය හැදෑරුවා. පසුව ලයනල් රන්වල සර් යටතේ ජන සංගීතය හැදෑරුවා. කොළඹට ආවට පස්සේ මම ලයනල් අල්ගම සර් යටතේ සංගීතය හැදෑරුවා.

ඔව් මම අතුල ශ්‍රී ගමගේ ගේ නංගි - ලක්මාලි ගමගේ

ඇයි මේ සංගීතය විෂයක් විදිහට තෝරා ගන්න හිතුවේ?

ඒකට ප්‍රධානතම හේතුවක් වුණේ මගේ අයියා. මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. නිවසේදී අපට නිතරම ගීත ඇහෙනවා. ඒ වගේම මගේ මවගේ පවුලේ අය සංගීතයට සම්බන්ධයි. මිල්ටන් මල්ලවාරච්චි කියන අසහාය ගායකයා අපේ ඥාතීන් වෙනවා. ඔහු විවාහ වී සිටි ස්වර්ණා මල්ලවාරච්චි කියන්නේ මගේ ලොකු අම්මාගේ දුව. ඒකත් එක් හේතුවක් තමයි.

අයියා සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා කිව්වා. කවුද ඒ ?

මගේ අයියා තමයි ජනප්‍රිය ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ.

ඔව් මම අතුල ශ්‍රී ගමගේ ගේ නංගි - ලක්මාලි ගමගේ

ඔබගේ අයියා ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඒ කියන්නේ ඔබටත් ඒ සහජ හැකියාව ඇති?

ඔව්. අයියාගේ හැකියාවන් මටත් පිහිටලා තිබෙනවා කියලා ගොඩාක් අය කියනවා. ඒ වගේම අයියා ක්‍ෂේත්‍රයේ ඉන්න නිසා ආසාවෙන් හිටියා මේ ක්‍ෂේත්‍රයට එන්න. අයියා ඉස්සර මියුසිකල් ෂෝ වලට යද්දී” ටීවී එකේ සිංදු කියද්දී මම ආසාවෙන් බලාගෙන හිටියා. එහෙම සිංදු කියලා ගෙදර ඇවිත් අයියා මගෙන් අහනවා සින්දු කිව්වා හොඳයි ද කියලා. මට මතකයි ඉස්සර අයියාගේ සින්දු ටීවී එකේ යද්දී අපේ අම්මාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා.

ඇයි මෙච්චර කාලයක් නිහඬව හිටියේ ?

මම හිතන්නේ අපේ ජීවිතයේ ඕනෑම දෙයකට කාලයක් එන්න ඕනෑ. මට දැන් ඒ කාලය ඇවිත් කියා මම හිතනවා. ඒ වගේම මගේ අම්මා ඒ කාලේ කැමැති වුණේ නෑ මම සංගීත ක්ෂේත්‍රයට එනවාට. ඒ මම ගැහුනු දරුවෙක් නිසා වෙන්න ඇති. ඒත් පසුකාලෙකදී මගේ දක්ෂතාව මත අද වන විට මම යම් ගමනක් ඇවිත් තිබෙනවා. හැබැයි එහෙම එන්නේ මගේ අයියාගේ උදව් ඇතිව නම් නෙමෙයි. මම තනියෙන් ඉදිරියට එන්නේ. ඒකට ගොඩාක් උදව් කළා මුහුණු පොතේ සිටින මගේ යහළුවන්.

මේ වන විට එළි දක්වා තිබෙන නිර්මාණ?

මම මුහුණු පොතේ අපේ ජනප්‍රිය ගායිකාවන්ගේ ගීත ගායනා කළා. එහිදී මගේ යහළුවන් නිතරම කියපු දෙයක් තිබෙනවා” ලක්මාලි ඔයා තමන්ගේම කියලා ගීතයක් ගායනා කරන්න කියලා. ඒ වගේම මගේ ගුරුවරයෙක් වුණු ඩෙනිස්ටර් පෙරේරා මහතාගෙන් ඇහැව්වා මට සිංදුවක් කරලා දෙන්න පුළුවන් ද කියලා. ඒ හරහායි කෝඩුකාරී නිර්මාණය වෙන්නේ. පදමාලාව ඩිලාන් රුද්‍රිගූගේ. මේ වන විට මෙම ගීතය යූ ටියුබ් නාලිකාවල සහ ගුවන්විදුලි නාලිකාවලද ප්‍රචාරය වෙනවා.

ඊට අමතරව නව නිර්මාණයන් කරලා නැද්ද?

ඔව්. අලුත් ගීතයක් සඳහා ආරාධනයක් ලැබිලා තිබෙනවා. ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ප්‍රවීණ ගායකයකු සමග. එයත් ළඟදීම එළිදැක්වීමට හැකිවෙයි. මම හිතුවේ නෑ එවැනි ප්‍රවීණයෙක් සමග මට ගීත ගායනා කරන්න ලැබෙයි කියලා.

ඔබ ගුවන් විදුලි සංස්ථාවේ සරල ශ්‍රේණියේ ගායිකාවක් විදිහටත් වැඩ කරනවා නේද?

ඔව්. මම ගුවන් විදුලි සංස්ථාවේ සරල ශ්‍රේණියේ ගායන ශිල්පිණියක් ලෙසත් කටයුතු කරනවා. ඒ කටයුතුවලත් මම දැනට නිරත වෙනවා.

මේ ගමන එන්න ඔබට ලැබුණු සහයෝගය මොන වගේද?

රනිල් මල්ලවාරච්චි තමයි මාව මුලින්ම රූපවාහිනී වැඩසටහනට අරන් ගියේ අයි.ටී.එන්. එකේ සියපත් පොකුර වැඩ සටහනට. එදා ඔහු සමග ගායනා කළ ඒ ගීතයෙන් පස්සේ මා ගැන ගොඩාක් අය හොයන්න පටන් ගත්තා. ඒ හරහායි කෝඩුකාරී නිර්මාණය වෙන්නේ.

ඔබ මෙපමණ කාලයක් නිහඬව සිටීම අපරාධයක් කියලා හිතෙන්නේ නැතිද?

ඇත්තටම අපරාධයක් කියලා හිතෙනවා දැන්නම්. මම ටීවී එකේ සංගීත වැඩසටහන් බලද්දී” සංගීත සංදර්ශන බලද්දී” හැම වෙලාවකම මගේ ඇස්වලට කඳුළු එනවා” මට හැකියාව තිබියදීත් ඇයි මට අවස්ථාවක් නොලැබෙන්නේ කියලා. මට අධිෂ්ඨානයක් තිබුණා දවසක මම ඒ හීනය සැබෑ කර ගන්නවා කියලා. දැන් ඒ හීනය සැබෑ වෙමින් තියෙනවා මට ඒ ගැන හරිම සතුටුයි.

පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් ?

මම විවාහකයි. ඔහුගේ නම නිශාන්ත. ඒ වගේම අපේ පවුල ගැන කිව්වොත් මගේ අම්මා ගෙදර ගෘහනියන් වෙද්දී තාත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියාවක් කළා. පහු කාලීනව මුළු පවුලේම බර කරට ගත්තේ වැඩිමහල්ම අක්කා. කාන්ති ගමගේ.

එදා වගේමයි එයා අදටත්. ඒ වගේම මගේ දෙවැනි අයියා ප්‍රියන්ත එයා විදේශගත වෙලා ඉන්නේ. ඒ අයියා මට ගොඩාක් උදව් කරනවා මේ සංගීත ගමනට. මගේ ලොකු අයියා වගේම මගේ පොඩි අයියා සමන් එයාටත් ගීත ගායනා කරන්න පුළුවන්. ඔහුත් ගුවන්විදුලි සංස්ථාවේ ගායකයෙක්. මදු” සහ ධම්මි අක්කලා දෙන්නත් මම යන ගමනට දිරියක්. ඉතින් අපේ පවුලේ සහෝදරයෝ හැම කෙනෙක්ම හරීම සතුටින් ඉන්නවා.

ඔබ මේ වෙනකොට සංගීතය හදාරනවාද?

දැනට සුනෙත් වල්පොල සර් යටතේ සහ ප්‍රියනාත් රත්නායකයන්ගේ ඇකඩමියේ සංගීත වැඩකටයුතු කරගෙන යනවා. මේ සියලු දේවල් එක්ක මගේ ජීවිතේ මේ වෙන හැමදේම ගැන නිහතමානීව සතුටු වෙනවා. මගේ ලොකු හීනයක් තිබුණා කවදා හරි මම අයියා වගේ වෙනවා කියලා. දැන් ඒ හීනය හැබෑවෙමින් පවතිනවා.

අකිත පෙරේරා
ඡායා – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment