සාමූහිකත්වයෙන් සිහින ජයගත් ආර්ජන්ටිනාව

52

පසුගිය සතියේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිමාවට පත්වුණා. මෙවර එහි ශූරතාව හිමිවුණේ ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමට. සාමාන්‍යයෙන් ලෝකයේ වෙසෙන පාපන්දු ලෝලීන්ගෙන් අතිබහුතරයක් ප්‍රිය කරන රටවල් දෙකක් තමයි බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව කියන්නේ.

මේ රටවල් දෙකම පාපන්දු සම්බන්ධව විශාල පුරාවෘත්තයන් උසුලාගෙන සිටින රටවල් දෙකක්.

මෙවරත් ලෝකය පුරා අති විශාල පිරිසක් බලාපොරොත්තු දල්වාගෙන සිටියේ ආර්ජන්ටිනාව ලෝක කුසලානය ජයග්‍රහණය කරාවි කියලා. ඒ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත්වෙමින් ආර්ජන්ටිනා කණ්ඩායම ලෝක කුසලානය ජයග්‍රහණය කළා.

පාපන්දු කියන්නේ කණ්ඩායම් ක්‍රීඩාවක්. කණ්ඩායම් ක්‍රීඩාවක ජයග්‍රහණය උදෙසා සාමූහික ප්‍රයත්නය අත්‍යවශ්‍ය වෙනවා.

කණ්ඩායමක් හැටියට වඩාත්ම වදින්න වදින්න ක්‍රීඩා කළ කණ්ඩායම ජයග්‍රහණය අත්පත් කරගන්නවා. මෙවරත් සුපුරුදු විදිහට සිද්ධ වුණේ එය..

මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණි ආර්ජන්ටිනා කණ්ඩායම සතුව ප්‍රධාන පෙළේ ධනාත්මක කාරණා රාශියක් ම තිබුණා. එයිනුත් සුවිශේෂී වුණේ ආර්ජන්ටිනාවට නායකත්වය දුන් ලියොනාල් මැසී.

ඔහු එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ අග්‍රගණ්‍යම පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස බොහෝදෙනා හඳුන්වනවා. යම් යම් රටවල් තමන්ගේ ප්‍රමුඛතම ක්‍රීඩකයා ඉදිරියට යොමු කරගෙන ජයග්‍රහණ සොයාගෙන යද්දී ආර්ජන්ටිනාව ඊට වඩා වෙනස් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ජයග්‍රහණයට පියවර තැබුවා. මැසී ඔවුන්ගේ ප්‍රධානතම තුරුම්පුව වුණත් ඔවුන් බොහෝවිට ගෝලයක් ලබා ගනිද්දී සාමූහික ප්‍රයත්නයට අවතීර්ණ වුණා.

ඒ වගේම ආර්ජන්ටිනා කණ්ඩායමේ ගෝල රකින්නා ඔවුන්ගේ ජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් සපයා දුන්නා. අවස්ථා දෙකකදී තීරණාත්මක දඬුවම් පහර එළඹුණු විට ආර්ජන්ටිනාවේ දැල් රකින්නා විසින් තමන්ගේ රට සුරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යන්න උපකාර කළා.

ලියොනාල් මැසීට දැන් අවුරුදු තිස් හයක් වෙනවා.

මේ ගෙවමින් තිබෙන්නේ ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසන් කාලය. හැබැයි ඔහු පිටිපස අති දක්ෂ නවක ක්‍රීඩකයන් රාශියක්ම බිහිකොට තිබෙනවා. මෙවර ලෝක කුසලාන තරගාවලියේ දී ආර්ජන්ටිනාව වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ නව යොවුන් ක්‍රීඩකයන් මැසීගේ සෙවනැල්ල යට ගොඩ නැගුණු චරිත.

ඔහු ආර්ජන්ටිනා කණ්ඩායමට අනාගතය වෙනුවෙන් සුවිශේෂී ආයෝජන රැසක් උදාකර දී තිබෙනවා. පුංචි පුංචි මැසිලා කිහිපදෙනෙක් ඔහුව පූර්වාදර්ශ කරගෙන ඉදිරියට පැමිණෙමින් ඉන්නවා.

ආර්ජන්ටිනාවේ පුහුණුකරු ලයනොල් ස්කොලෝනි.

ඔහු මැරඩෝනා සමග කෙටිකලක් මැද පෙළ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක්.

අහම්බෙන් වගේ ආර්ජන්ටිනා කණ්ඩායමේ පුහුණුකරු ධුරය ඔහුට හිමි වෙද්දී මැරඩෝනා වැනි ලෝක පූජිත ක්‍රීඩකයන් ප්‍රකාශ කොට සිටියේ “ට්‍රැෆික් රාළහාමි කෙනෙක්ට සුදුසු අයෙක්ට ආර්ජන්ටිනාව පුහුණු කරන්න බාර දීලා” කියලයි.

මේ කිසිවක් පිළිබඳව මායිම් නොකර ස්කොලෝනි සෙමින් සීරුවේ තමන්ගෙ කණ්ඩායම එක්ක අපූරු ගමනක් පැමිණියා.

ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ මුල් තරග කිහිපය දිගින් දිගට පැරදුනත් ක්‍රමානුකූලව ඔහු කණ්ඩායමට සාමූහිකත්වයේ අගය එන්නත් කළා.

ඇත්තටම ඒ එන්නත අපූරුවට වැඩ කරන්න පටන් ගත්තා.

2021 ප්‍රමුඛ පෙළේ Copa Amerika තරගාවලියේ ජයග්‍රහණය කරමින් ආර්ජන්ටිනාව තමන්ගේ පෙරළිකාර ගමන ආරම්භ කළා. ඔවුන් ලෝක කුසලානයට පැමිණෙන විට අඛණ්ඩව තරග තිස් හයක් ජයග්‍රහණය කොට අවසන්.

නමුත් ඔවුන් ලෝක කුසලානයේදී මුහුණ දුන් පළමු තරගය සෞදි අරාබියට එරෙහිව පරාජයට පත්වුණා. ආර්ජන්ටිනාවේ ගමන අවසන් කියලා ලෝකය පුරා ඉන්න බොහෝ විචාරකයන් කියන්න පටන් ගත්තා.

නමුත් ආපහු ඔවුන් අළු මතින් නැගිට්ටා. වෙනත් රටවල් මැසීව අධ්‍යනය කරමින් මැසී ට එරෙහිව ක්‍රියාත්මක වෙනවිට ආර්ජන්ටිනා පුහුණුකරු අලුත් උපායක් යොදා ගත්තා. ඒ තමයි නව යොවුන් ක්‍රීඩකයන්ගෙන් මැසීට අවශ්‍ය ශක්තිය ලබා දීම.

අවසානයේ දී, ඔවුන් ඉතිහාසය වෙනස් කළා. සාමූහික කණ්ඩායම් හැඟීමක අවසානය විජයග්‍රහණය යන්න යථාර්ථයක් බවට පත් වුණා.

මැසී ප්‍රමුඛ ආර්ජන්ටිනාව ලෝක ශූරයන් බවට පත්වුණා.

අනාගත ලෝකය හුදකලා මනුස්සයෙක්ගේ අතින් නිර්මාණය කරන්න පුළුවන් තත්ත්වයක තිබෙනවා යැයි කවුරුන් හෝ විශ්වාස කරනවා නම් එය මිථ්‍යාවක්.

සාමූහික ප්‍රයත්නයකින් තොරව අනාගත පැවැත්මක් ලෝකයට හෝ රටකට හෝ පවතින්නට විදිහක් නැහැ.

අද මුළු ලෝකයම එකම හුයකින් බැඳී අවසන්. එයින් මිදී වෙන්වෙන සෑම රටකටම උරුම වී තිබෙන්නේ ඛේදවාචකයක්.

ජයග්‍රහණය සොයා යන සෑම රටකටම ලෝකයත් සමග අත්වැල් බැඳගත යුතුව තිබෙනවා.

පුද්ගල ප්‍රතිරූප වන්දනාව වෙනුවට, සාමූහිකත්වය සමඟ මිශ්‍ර වුණු වැඩපිළිවෙළවල් සමගින් රටකට වේවා ලෝකයට වේවා යහපත් අනාගතයක් තිබෙනවා.

අදහස් ගැටෙන්නට දීමත් ඒ හරහා ගොඩ නැගෙන නිවැරදි අදහස් වලට ඉදිරියට යෑමට ඉඩ දීමත් යථාර්ථයක්.

ඒකාධිපති, තනි පුද්ගල මානසිකත්වයකින් රටක් ගොඩනගන්නට බැරි බවට, ඉතිහාසයේ බොහෝ රටවල වගේම අපේ රටේත් ඕනෑ තරම් උදාහරණ දකින්නට තිබෙනවා.

කට වචනය නියෝගය යැයි කී පාලකයන් රට තල්ලු කළේ බංකොලොත් බව වෙත.

“එන්න අපි වැඩ කරමු” කියා සාමූහිකව සහ ප්‍රායෝගිකව ක්‍රියා කළ නායකයන් සිටින බොහෝ රටවල් ගියේ ජයග්‍රහණය වෙත.

ආර්ජන්ටිනාව බංකොළොත් රටක්. ඒ බංකොලොත් රටේ පාලකයන්ට ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම ම අපූරු පාඩමක් කියා දී තිබෙනවා. ඒ පාඩම මෙන්න මේකයි.

“ජයග්‍රහණය ඇත්තේ සාමූහිකත්වය තුළයි”

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment